මධුර නොවූ මධුමේහය

දෙසැම්බර් 20, 2024

දියවැඩියාව, ලොව පුරා ව්‍යාප්ත පොදු සෞඛ්‍ය ගැටලුවක් බවට උත්සන්නව ඇත. රුධිරයේ අධික සීනි තත්ත්වය අඛණ්ඩව පැවතීම මඟින් ඇස්, වකුගඩු, ස්නායු සහ රුධිර නාල පද්ධතිවලට මෙය දරුණු ලෙස බලපානු ඇත.

 

ශ්‍රී ලංකාව තුළ පස් දෙනකුගෙන් එක් අයකු පමණ රුධිරයේ අධික සීනි තත්ත්වයෙන් පීඩා විඳිමින් හෝ අවදානමෙන් සිටින අතර, මෙය සැහැල්ලුවෙන් සිතිය යුතු කරුණක් නොවේ. කට පරිස්සම් කරගන්න පුළුවන්නම්, කට හරියට භාවිත කරන්න හැකි නම් සුවකර ගන්න හැකි රෝගයකි.

දියවැඩියා රෝගීන්ට දෘෂ්ටි විශේෂඥයකු හෝ අක්ෂි වෛද්‍යවරයකු වැනි අක්ෂි සෞඛ්‍ය වෘත්තිකයකු මඟින් සෑම වසරකම තම ඇස් පරීක්ෂා කර ගැනීම වැදගත් වේ. මෙයින් අදහස් කරන්නේ රෝගයේ ඕනෑම සලකුණක් කලින් හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළ හැකි බවයි.

 

දියවැඩියාව නිසා ඇතිවන අක්ෂි ආබාධ

ඇසේ සුද සහ ග්ලුකෝමා ඇතුළු තවත් සමහර අක්ෂි රෝග දියවැඩියාව සමඟ දැඩි සම්බන්ධයක් ඇත. දියවැඩියා රෙටිනෝපති යනු දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් තුළ ඇතිවන තත්ත්වයක් වන අතර එය දෘෂ්ටිවිතානය පෝෂණය කරන කුඩා ලේ නහරවලට හානි වීමෙන් ඇතිවන ප්‍රතිඵලයකි. ඒවා මඟින් රුධිරය සහ අනෙකුත් තරල කාන්දු වන අතර එමඟින් දෘෂ්ටිවිතානයේ පටක ඉදිමීම සහ නිසි පරිදි රුධිරය සැපයීමට බාධා ඇතිවේ.

 

දියවැඩියාව යනු කුමක්ද?

ඔබේ ශරීරයට ඔබේ රුධිරයේ ඇති ග්ලූකෝස් (සීනි වර්ගයක්) මට්ටම නියාමනය කිරීමට නොහැකි වූ විට දියවැඩියාව ඇතිවේ.

දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම නිරන්තරයෙන් ඉහළ අගයක පවතින අතර එය කාලයක් යනවිට රුධිර නාලවලට හානි කරයි. හානියට පත් රුධිරවාහිනී තරල හා ප්‍රෝටීන් කාන්දු වන අතර අත්‍යවශ්‍ය ඔක්සිජන් ලබාදීමට අපොහොසත් වේ. එය අවට අවයවවලටද හානි කරයි.

 

ඩයබිටික් රෙටිනොපති යනු කුමක්ද?

දියවැඩියා රෙටිනෝපති (DR) හටගන්නේ දියවැඩියාවෙන් රුධිර වාහිනීවලට සිදුවන හානිය දෘෂ්ටිවිතානය ලෙස හැඳින්වෙන ආලෝකය රූප බවට පත්කරන ඇසේ පිටුපස තට්ටුවට බලපාන විටය.

ව්‍යායාම කරනවිට මේ රෝගය වළක්වා ගැනීම සඳහා කළ හැකි ප්‍රතිකර්ම මෙසේය

අමතර ආහාර වශයෙන් එළවළු හා පලතුරු වැඩිපුර ගැනීම වඩාත් යෝග්‍යය.

අලුතින් ව්‍යායාම කිරීමට පටන් ගන්නා රෝගීන් හැකි සෑමවිටම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ව්‍යායාමයට පෙර රෝග ලක්ෂණයක් දැනේනම් පමා නොකර වෛද්‍ය උපදෙස් ගන්න.

 

දියවැඩියා රෝග ලක්ෂණ

නිතර නිතර මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව, තොල කට වියළීම, අධික පිපාසය, සම වියළීම, ශරීරයේ අප්‍රාණික බව, ශරීරයේ බර අඩු බව, අධික කුසගින්න, ලිංගාශි‍්‍රත කැසීම, ඇඟපත වේදනාව, ඇස් පෙනීම දුර්වල වීම, විදුරුමස් ආසාදන, පාදවල හිරිවැටීම, චර්ම රෝග ඇතිවීම.

 

විහරණ උපදෙස්

ටෙනිස්, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩාවල යෙදීම, දුම්පානයෙන් ඈත්වීම, පිරිසුදු වාතය ආශ්වාස කිරීම මූත්‍රා සහ රුධිර පරීක්ෂාවට නිතර යොමුවීම, මිහිරි සංගීතයට සවන් දීම, සතුට ඇස්වැසිල්ල පසුබිම් වූ දිවියක් ගෙවීම.

විශේෂයෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහත වැටෙනවිට ඇතිවන ලක්ෂණ පිළිබඳ රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අය සහ ඉතාම ළඟ යහළුවන් දැනුම්වත්ව සිටීම ඉතාම සුදුසුය.

 

රෝග ලක්ෂණ

දහඩිය දැමීම

අධික කුසගින්න

ඇඟ වෙවුලීම

ඇස් පෙනීම බොඳවීම

කරකැවිල්ල

ඇඟ සීතල වීම

අප්‍රාණික බවක් දැනීම

රෝගියාට නොදැනෙන අවට සිටින තමා ඇසුරු කරන අයට පහත සඳහන් ලක්ෂණ දැකිය හැකිය. රෝගියා නිතර කෝපවීම, සුදුමැලි වීම, නිදිමත ගතියෙන් පසුවීම, අධික දහඩිය දැමීම සිහි මුර්ජා වීම.

 

මේ ගැටලු ඇතිවූ විට පහත ප්‍රතිකාර සුදුසුය

පමා නොකර සීනි හෝ ග්ලූකෝස් තේ හැඳි දෙකක් ජලයේ දිය කර පානය කරන්න. හදිසි අවස්ථාවක් නම් දිය නොකට කටට දමන්න.

ග්ලූකෝස් සහිත ලොසින්ජර් පෙති කෑමට දෙන්න. සිහිමඳ ගතියෙන් පවතීනම් දිව යටට ග්ලූකෝස් කුඩු සුළු ප්‍රමාණයක් දමන්න. පමා නොකර ළඟම ඇති රෝහලට රෝගියා රැගෙන යා යුතුය.

 

ව්‍යායාම කළ යුත්තේ කෙසේද?

නිතිපතා ව්‍යායාම කිරීම සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා අත්‍යවශ්‍යය. වේගයෙන් ඇවිදීම සාමාන්‍යයෙන් ඕනෑම රෝගියකුට කළ හැකි සරල ව්‍යායාමයකි.

ව්‍යායාම කිරීමේදී රෝගියා මතක තබාගත යුතු කරුණු කිහිපයක් වේ.

ව්‍යායාම කිරීමට පටන් ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

දියවැඩියාව හෝ අධිරුධිර පීඩනයෙන් පෙළෙන රෝගියකු තම රෝගී තත්ත්වය ගැන දන්නා පුද්ගලයකු සමඟ ව්‍යායාම කිරීම වඩාත් සුදුසු වේ.

දියවැඩියාව, හදවත් රෝග, අධිරුධිර පීඩනය වැනි රෝගවලින් පෙළෙන අයට ව්‍යායාම කිරීමේදී රෝගියා දැනගත යුතු කරුණු කිහිපයක් වේ.

හිස් බඩ ව්‍යායාම නොකළ යුතුයි.

දියවැඩියා රෝගයට ඉන්සියුලින් ගන්නා කෙනකු නම් එන්නත් ගත් විගස ව්‍යායාම නොකළ යුතුය. පාද ගැන සැලකිල්ලක් නොමැතිව ව්‍යායාම නොකළ යුතුය. පාදයට හිර පාවහන් පැලඳීම සුදුසු නැති අතර පාවහන් නොමැතිව ව්‍යායාම නොකළ යුතුය.

 

දියවැඩියාව වැලඳීමට හේතු

බොහෝවිට සුවපහසු ආසනවල සුවය විඳීම, වැඩි වශයෙන් නින්දට ලොල්වීම, හකුරු මිශ්‍ර කැවිලි වර්ග නිතර නිතර ආහාරයට ගැනීම, සෙම උපදවන ආහාර වර්ග අනුභවයට ගැනීම, විහරණයන්හි යෙදීම (විහරණයන්හි යෙදීම යන්නෙන් සඳහන් වන්නේ යම් රෝගාබාධාවලදී පරෙස්සම් නොවීමය. උදාහරණ වශයෙන් පීනසය හෝ සෙම් සහිත කැස්ස වැනි රෝගයක් තිබෙනවිට වැස්සට තෙමීම වැනි ක්‍රියාවන්)

 

දියවැඩියාවට තේ, කෝපි අගුණ ද?

ගුණ අගුණ කෙසේ වුවත් තේ, කෝපි වෙනුවට වරකා පත්‍ර පැණි තෝර මුල්, මාදං ඇට, අරළු, බුළු, නෙල්ලි, හීන් නිදිකුම්බා, වල් කොත්තමල්ලි යන මේවායින් කුමක් හෝ එක් වර්ගයක් ගෙන තම්බා බීමට ගැනීම යහපත්ය. කරවිල යුෂ පානය ද ඉතාම යෝග්‍යය.

 

සුදුසු ආහාර

කෝවක්කා කොළ මැල්ලුම, තෙබු කොළ, කරපිංචා එකට දමා මැල්ලුම හෝ සම්බෝලය, මැල්ල කොළ, මාදං පොතු, වෙනිවැල්ගැට, මදටිය කොළ මැල්ලුම, මුරුංගා කොළ, නෙල්ලි, ඇඹරැල්ලා, පොලොස්. නිවුඩු හාලේ බත්, මස්බැද්ද කොළ, කරවිල රසකිඳ, ඉරිවේරිය, සුදුහඳුන් එකට දමා තම්බා බීම සුදුසුය.

 

සුදුසු කෂාය

අරළු, බුළු, නෙල්ලි, මාදං පොතු, අමුකහ, රණවරා, ආඩතෝඩා මුල්, අළු කෙසෙල් අල, අට්ටික්කා පොතු, නුග මුල්, බැබිල මුල් කළං 12 යි, මණ්චාඩි 8 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳවා පෙරා බොන්න. උදය, සවස අඩු කෝප්ප 1/2 බැඟින් ගන්න.

මාදං පොතු, වෙනිවැල් ගැට, අරළු, නෙල්ලි, වියළි කහ, ඉඟිනි ඇට, එන්සාල්, ඇහැටු කරල් කළං 1 මංචාඩි 8 බැඟින් ගෙන පත අට එකට සිඳවා උදේට භාගයයි, සවසට භාගයයි ගන්න.

කරවිල, දියවැඩියාව ඉතා හොඳින් පාලනය කරන එළවළුවකි. පිසගත් කරවිල මෙන්ම කරවිල යුෂ ස්වල්පයක් සතියකට දින 2ක් පමණ පානය කරන්න.

කුරුඳු කුඩු ස්වල්පයක් උණුසුම් වතුර කෝප්පයකට මිශ්‍ර කර පානය කරන්න. දිනපතා දින කිහිපයක් මේ කුරුඳු පානය කිරීම සුදුසුය.

දියවැඩියා රෝගියෙක් සුවකරන්න නම් වඩාත් වැදගත් වන්නේ රෝගියාට කට පරිස්සම් කරගන්න පුළුවන් වීමය. අනිවාර්යයෙන්ම පිටි සහිත ආහාරවලින් වැළකී සිටිය යුතුයි. එහෙත් අපට බත් කෑමට සිදුවේ. ඒ නිසා අපට සැමවිටම රතු නිවුඩ්ඩ සහිත සහල්වලින් පිසූ බත් ආහාරයට ගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම වේල් තුනම බත් නොකා මුං ඇට, කවුපි, කඩල වැනි ධාන්‍යයක් භාවිත කරන්න පුළුවන්නම් එක වේලකට වඩාත් සුදුසුය. විශේෂයෙන් කොළ මැල්ලුමක් සමඟ ආහාරයට ගන්නවා නම් වඩාත් සුදුසුය.

බෞද්ධ ප්‍රජාව පන්සලට යා යුත්තේ පාවහන් නොමැතිවය. මේ තත්ත්වය දියවැඩියා රෝගියකුට නම් හිතකර නොවන්නේය. මෝටර් බයිසිකල්වල ගමන් කරන්නන්ගේ දෙපා රත්වීමකට ගොදුරුවන අවස්ථා ඇත. එම රත්වීමෙන් තම දෙපා ආරක්ෂා කරගත යුතුය. අධිකව රත්වුණ පොළොවේ පාවහන් නොමැතිව ඇවිදීම ද නොකළ යුතුය. දෙපාවල සහ යටිපතුලේ තුවාල හටගත් රෝගීහු ඒ ගැන නොතකා පාවහන් නොමැතිව ගමන් කරයි. එම නිසා තුවාලයෙන් විෂබීජ ශරීරගත වීමේ අවසාන ප්‍රතිඵලය දෙපා අහිමිවීමය.

නිසි ප්‍රතිකාර නොකළහොත් තවදුරටත් ඇතිවන සංකූලතා නිසා පෙනීම අඩුවී අන්ධභාවයට හේතු විය හැකිය.

මුල් කාලයේ රෝග ලක්ෂණ නොමැති අතර කාලයත් සමඟ දියවැඩියාව නරක අතට හැරෙන අතර පෙනීම නැතිවීම සහ අන්ධභාවයට හේතු වේ. සමහර රෝග ලක්ෂණ නම් පෙනීම නොපැහැදිලි වීම, වලාකුළු, මකුළු දැල් වැනි කුඩා කැබලි පාවීම, රාත්‍රියේදී පෙනීමේ අපහසුව, වර්ණවත්ව පෙනීම ඇති විය හැකිය.

 

උපදෙස්

කායික රෝග විශේෂඥ

රවි ජයවර්ධන

 

උපදෙස්

ආයුර්වේද වෛද්‍ය

ඉවෝන් නිර්මලා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.