වයස් භේදයක් නැති දණහිස් වේදනාව

(Meniscus Injuries)
දෙසැම්බර් 6, 2024

 

දණහිස සන්ධියට ඇතිවන අනතුරුවලින් සන්ධිය ආශ්‍රිතව පවතින විවිධ මෘදු පටක වර්ග හානි වන්නට පුළුවන්. එලෙස හානිවන ප්‍රධානතම මෘදු පටක ව්‍යුහයක් ලෙස දණහිස් සන්ධිය ඇතුළත පවතින Meniscus නම් කොටස දක්වන්නට පුළුවන්.

 

Meniscus ව්‍යුහය

ඔබගේ දණහිස් සන්ධිය සෑදී තිබෙන්නේ ඉහළින් කලව අස්ථියත් පහළින් ජංගාස්ථියත් එකතු වීමෙනි. මේ අස්ථි දෙක අතර පවතින කුහරය පුරවමින් ජංගාස්ථියේ සන්ධි මතුපිට මත කාටිලේජවලින් C අකුරක හැඩයට පවතින ආකාරයට නිර්මාණය වී තිබෙනවා. එක් දණහිස් සන්ධියක් සැලකීමේදී සන්ධියේ ඇතුළු පත්තෙන් (Media  Meniscus ) සහ සන්ධියේ පිට පැත්තෙන් (LateralMeniscus ) ලෙස මේ ආකාරයට ව්‍යුහ දෙකක් පවතිනවා. ශරීරයේ විශාලතම බර දරන සන්ධිය වන දණහිස් සන්ධිය හරහා සෑම විටකම අධික බර ප්‍රමාණයක් ගමන් කිරීම සිදුවනවා. මෙලෙස බර ගමන් කිරීම නිසා දණහිසන්ධියට ඇතිවන කම්පන අවශෝෂණය කර ගැනීමට මේ Meniscus නම් ව්‍යුහ හේතු වනවා. මේ ව්‍යුහ මඟින් නිවැරදිව කම්පන අවශෝෂණය කර ගැනීම සිදු නොවන විට දණහිස් සන්ධිය ආශ්‍රිතව පවතින කාටිලේජවලට හානි සිදුවීමේ හැකියාව පවතිනවා. ඔබේ දණහිස පොළොව හා සම්බන්ධ වී සිරුරේ බර ගමන් කරමින් තිබෙන විට දණහිසට එල්ල වන බාහිර පීඩනයක් හෝ බලපෑමක් හේතුවෙන් සන්ධිය කරකැවීම හෝ ඇඹරීම නිසා Meniscus නම් කොටසට හානි සිදුවන්නට පුළුවන්. මේ ආකාරයට අනතුරු සිදුවිය හැකි අවස්ථා ලෙස පහත අවස්ථා පිළිබඳ සැලකිලිමත් වන්න .

දණහිස මත එල්ලවන පීඩනය මඟින් Meniscus හානි වීම

ක්‍රීඩා කටයුතුවලදී දණහිස මතට පිට පැත්තෙන් පීඩනයක් එල්ල වීම.

ක්‍රීඩා කටයුතුවලදී දණහිස මතට ඇතුළු පැත්තෙන් පීඩනයක් එල්ල වීම.

පඩිපෙළ නැගීමේදී සහ බැසීමේදී සිදුවන වැටීම්වලදී දණහිස ඇඹරීම හෝ කරකැවීම .

පොළොවේ පවතින වලක් හෝ අවපාතයකට වැටෙන අවස්ථාවලදී දණහිස ඇඹරීම .

උඩකින් වැටීමේදී දණහිස් පොළොවේ වදින විට කරකැවීම හෝ ඇඹරීම .

රිය අනතුරුවලදී දණහිසට එක එල්ලේ පීඩනය එල්ලවීම. මෙහිදී අස්ථි බිඳීම් සහ සන්ධි විස්ථාපනය සමඟම Meniscus අනතුරු ඇතිවිය හැකියි.

ක්‍රමයෙන් ගෙවී යාම මඟින් Meniscus හානි වීම

වයසට යෑමත් සමඟ Meniscus නම් කොටස වැඩි වශයෙන් ගෙවී යාමට ලක්වේ. මේ ගෙවීයාම නිසාද එම කොටස අනතුරට පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ට සිදුවන Meniscus හානිවීම්වලට ප්‍රධානතම හේතුවන්නේ මෙයයි.

Meniscus අනතුරක රෝග ලක්ෂණ වේදනාව

දණහිස නමන, දිගහරින සහ කරකවන අවස්ථාවලදී වේදනාව වැඩිවේ.

ඉදිමීම

දණහිස වටා මධ්‍ය ප්‍රමාණයක ඉදිමීමේ ස්වභාවයක් ඇතිවේ. මෙය පැය කිහිපයක් පැවතිය හැකි අතර දණහිසෙහි තද ස්වභාවයක් ඇති කිරීමටද හේතු වේ.

දණහිස ආශ්‍රිත සියලුම චලන සිදුකිරීම අපහසු වේ.

දණහිස චලනය කිරීමට සූදානම් වන අවස්ථාවේදී එය අගුළු වැටුණු හෙවත් Lock  වුණු ස්වභාවයක් ඇති කරයි.

දණහිස චලනය කිරීමට උත්සාහ ගැනීමේදී දණහිස එකිනෙක ඇතිල්වෙන ස්වභාවයක් ඇතිවන අතර අනතුර ඇතිවීමෙන් පසුව ‘පොප්’ ශබ්දයක් ඇතිවිය හැකිය.

දණහිස ආශ්‍රිත මාංශ පේශි දුර්වලතාවය

අනතුරට පත් වූ දණහිස නිවැරදිව පොළොවේ තබා බර දීම හෝ ඇවිදීම කළ නොහැකි වීම.

ඉහත ආකාරයේ රෝග ලක්ෂණ දක්නට ලැබුණත් සමහර අවස්ථාවලදී කිසිදු රෝග ලක්ෂණයක් ප්‍රකාශ කිරීමකින් තොරව ද Meniscus හානි වීම් සිදුවෙන්නට පුළුවන්. එම නිසා දණහිසට බලපෑමක් ඇතිවන ආකාරයට සිදුවී තිබෙන ඕනෑම අනතුරකදී සැලකිලිමත් වීම අතිශය වැදගත් වේ. සංඛ්‍යාලේඛනවලට අනුව දණහිසට සිදුවිය හැකි අනතුරුවලින් දෙවැනි ස්ථානයට ගැනෙන මේ අනතුරු 12%-14% අතර සුලභතාවයකින් ලොව පුරාම සිදුවනවා. සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයන් ලක්ෂයකගෙන් 61-65ත් අතර ප්‍රමාණයක් මේ අනතුරුවලින් පීඩා විඳීනවා. කාන්තාවන්ට වඩා පිරිමින්ට මේ අනතුරුව ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ක්‍රමයෙන් දණහිස ගෙවී යාම නිසා සිදුවන Meniscus හානි වීම් වයස අවුරුදු 40ත් 60ත් අතර වියේ පසුවන පුද්ගලයන්ට වඩාත් සුලභව ඇතිවන්නට පුළුවන්.එම නිසා ඔබ එම වයසේ පසුවෙන පුද්ගලයකු නම් දණහිසෙහි ඇතිවන වේදනාවන් සහ දණහිසට ඇතිවන සුළු අනතුරු පිළිබඳව නොසලකා හැර සිටීම කිසිසේත්ම සුදුසු වන්නේ නෑ. මේ Meniscus හානිවීම් ආකාර කිහිපයකටම සිදුවන්නට පුළුවන්. විවිධ වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණයන්ට අනුව එම වර්ග කිරීම් සිදුකෙරෙනවා. සාමාන්‍යයෙන් තරුණ වයසේ පුද්ගලයන් සැලකීමේදී ක්‍රීඩා සහ කාය වර්ධන ව්‍යායාම සිදු කරන්නන් අතර මේ තත්ත්වය ඇති වීමට වැඩි සුලභතාවයක් පවතිනවා. එමනිසා තරුණ වයසේ පසුවන ඔබ ක්‍රීඩා හා ව්‍යායාම අතරතුරදී සහ ඉන් පසුව දණහිසට ඇතිවන වේදනාවන් සහ වෙනත් අපහසුතා පිළිබඳව සෑම විටම අවධානයෙන් සිටීම ඉතා වැදගත්.

මේ Meniscus හානි වීම් සඳහා නිවැරැදිව ප්‍රතිකාර නොකළ විට එම ව්‍යුහය ක්‍රමයෙන් විනාශ වී යන අතර එම නිසා දණහිස සන්ධියේ පවතින කාටිලේජ් කොටස නිරාවරණය වීම සිදුවී එම කොටස ගෙවී යාමද ක්‍රමයෙන් වේගවත් වනවා. මේ නිසා පසුකාලීනව දණහිසෙහි සන්ධි ප්‍රදාහයික තත්ත්වය ඇති විය හැකි අතර එම නිසා මැදි වයසට එළඹීමත් සමඟ ඔබගේ දෙපාවල සහ දණහිස්වල ක්‍රියාකාරීත්වය දැඩි ලෙස අඩපණ වන්නට පුළුවන්. වෛද්‍යවරයෙකු ලෙස Meniscus හානි වීම නිවැරදිව රෝග විනිශ්චය කර ගැනීම ඉතා වැදගත්.

වර්තමානය වන විට පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරුන් බොහෝ විට මේ හානි වීම් නිවැරදිව රෝග විනිශ්චය කර කරගන්නේ නෑ. එම නිසා කිසිදු විටක නිවැරදි ප්‍රතිකර්මයක්ද කිරීමට නොහැකි වෙනවා. රෝග විනිශ්චය සඳහා රෝගියාගේ සායනික ඉතිහාසය, අනතුර සිදුවී ඇති ආකාරය සහ විදහා දක්වන රෝග ලක්ෂණ පිළිබඳව නිවැරදිව අවධානය යොමු කළ යුතු වනවා. බොහෝ විට දණහිස් ආශ්‍රිතව පවතින ඉදිමීමේ තත්වය නිසා සායනික පරීක්ෂාව මදක් අපහසු වන්නට පුළුවන්. Meniscus හානි වීම තහවුරු කර ගැනීම සඳහා MRI  පරීක්ෂණ වර්තා බොහෝ විට උපයෝගී කරගත හැකි අතර දණහිසට සිදුවී තිබෙන අනෙකුත් අස්ථි සහ සන්ධි ආශ්‍රිත ගැටලු පිළිබඳව නිවැරැදිව තක්සේරු කිරීම සඳහා Xray  පරීක්ෂණ වාර්තා ද උපයෝගී කරගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් Meniscus හානි වීම් සමඟම දණහිසෙහි පවතින බන්ධනී ද හානි විය හැකි නිසා රෝග විනිශ්චයේදී සහ ප්‍රතිකාර කිරීමේදී ඒ සඳහාද අවධානය යොමු කළ යුතු වනවා.

ප්‍රතිකාර

නිසි රෝග විනිශ්චයකින් පසුව ප්‍රතිකාර ආරම්භ කිරීම කළ යුතු වන අතර මේ සඳහා ප්‍රමුඛ වශයෙන්ම පාරම්පරික තෛල ප්‍රතිකාර සහ පත්තු ප්‍රතිකාරයන් භාවිත කරන්නට පුළුවන්. එමෙන්ම හානි වී තිබෙන Meniscus කොටසට අවශ්‍ය පෝෂණය ලබාදීම සඳහා කැඳ වර්ග සහ පාරම්පරික පෝෂණ අතිරේක භාවිත කරන්නට පුළුවන්. මේ ප්‍රතිකාරත් සමඟ දණහිසට විවේක ගැන්වීමද අනිවාර්යනේම සිදු කළ යුතුයි. මෙහිදී සිදුවී ඇති හානියේ ප්‍රමාණය අනුව සම්පූර්ණ පාදය බිම නොතබා සිටීමට ද රෝගියාට සිදුවීමට ඉඩකඩ පවතිනවා. සාමාන්‍ය වශයෙන් සිදුවී තිබෙන අනතුරේ ස්වභාවය අනුව සම්පූර්ණ සුවය ලබා ගැනීමට සති හතරත් සහ මාස කිහිපයක් වැනි කාලයක් ගතවන්නට පුළුවන්. එමනිසා හැකිතාක් ඉවසීමෙන් ප්‍රවේශමෙන් කටයුතු කිරීමේ වගකීම රෝගියා සතු වනවා. බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී බොහෝ විට ශල්‍යකර්ම මඟින් හානි වූ Meniscus කොටස ඉවත් කිරීම සිදු කළත් මූලික අවස්ථාවේම රෝගය හඳුනාගෙන ක්‍රමානුකූලව සිදු කරන පාරම්පරික ප්‍රතිකාර මඟින් ශල්‍යකර්මවලින් තොරව සුවය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ප්‍රථමාධාර

දණහිසට අනතුරක් සිදුවී තිබෙන විට ප්‍රතිකාර සඳහා රැගෙන යන තෙක් රෝගියාව දිගාකර තබන්න.

විළුඹට යටින් කොට්ටයක් වැනි යමක් තබා අනතුරට පත් වූ පාදය මඳක් ඉහලළට ඔසවා තබන්න.

අනතුරට ලක් වී ඇති දණහිස් සන්ධිය පෙර පරිදි නැවීම දිගහැරීම හෝ අතින් අල්ලා සෙලවීම සිදු නොකරන්න.

ප්‍රතිකාර සඳහා රැගෙන යන තෙක් අනතුරට ලක් වූ දණහිස සන්ධියට සෑම පැය දෙකකට වරක්ම මිනිත්තු පහළොවක් පමණක් අයිස් තැබීම සිදු කරන්න.

අනතුරට පත් වූ දණ හිස කිසිදු විටෙක උණු වතුරෙන් තැවීම සිදු නොකරන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.