යෝග අභ්‍යාසවලින් ලැබෙන වාසි දහයක්

නොවැම්බර් 1, 2024

පුද්ගලයකුට සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යාම ඉතා අත්‍යවශ්‍යයි. අපශරීරයේ ශක්තිය වගේම අපගේ ශරීරයේ නම්‍යශීලී භාවය ඇතිකර ගැනීමට යෝග ව්‍යායාමවල නිරත වීම වර්තමානයේ ජනප්‍රිය ක්‍රියාකාරකමක් බවට පත්වී තිබෙනවා.

යෝග ව්‍යායාමවල ඇති සුවිශේෂත්වයක් වන්නේ එයඅතිශය නම්‍යශීලී, භාවනාවට ළැදි පුද්ගලයන්ට පමණක් නොව සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට කැමැති ඕනෑම කෙනකුට එය පුරුදු කළ හැකි වීමයි.

යෝග ව්‍යායාම පුහුණු වීමේදී එය විවිධාකාරයෙන් ප්‍රගුණ කිරීමට හැකියාව මෙන්ම ක්‍රම සහ විධි ක්‍රියාක්මක වී තිබෙනවා. එසේ යෝගවලට පුරුදු පුහුණු වීමෙන් ශාරීරික මෙන්ම මානසික ඒකාග්‍රතාවය මෙන්ම නම්‍යශීලීභාවය ලබාගත හැකියි. ඇතැම් යෝග වර්ග වෙන් වන්නේ සන්සුන්වීමටයි. සිත සන්සුන් වීම මෙන්ම කාය සංවරය ද ඇති කරන මේ යෝගා විවිධ ඉරියව් මඟින් පුරුදු පුහුණු කරවන්නන් වර්තමානයේ බොහෝ දක්නට ලැබෙනවා.

යෝගාවල ඉතිහාසය පුරාණ සෘෂිවරුන්ගේ සිට පැවතඑන්නක්. සෘෂිවරු ගැන පවසද්දී ඉන්දියාව විශේෂයි. දැනටත් ලෝකයේ යෝගා ගැන කීමේදී ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ ඉන්දියාවටයි. ඒ බව බටහිර රටවල ජනතාව ඉන්දියාවට පැමිණ යෝගාවල නිරත වීමට ගන්න උත්සාහයෙන් තහවුරු වනවා. ඔවුන් විශ්වාස කරන්නේ, යෝගාවල නිරත වීමෙන් ශාරීරික, මානසික හා චිත්තවේගී යහපැවැත්ම වර්ධනය වන බවයි.

සාම්ප්‍රදායික ඉන්දියානු යෝග පුහුණුව සෑම විටම උදෑසන හෝ සවස් කාලයේ එනම් මඳ එළිය ඇති ශීතල වෙලාවක කිරීම අනිවාර්ය වනවා. යෝග පුහුණුවේදී අවට පරිසරය මෙන්ම මනසේ ද පිරිසිදුකම ද අවශ්‍ය වනවා. එහිදී ඔබ තෝරාගන්නේ ඉතා සන්සුන් නිශ්ශබ්ද පරිසරයක් නම් එය ඉතාම වටිනවා. හිස්බඩ හෝ සුළු ආහාරයකින් පසු යෝගා පුහුණුව ආරම්භ කළ යුතු අතර යෝගා පුහුණු වීමේදී ආමාශය හා මූත්‍ර මාර්ගය හිස්ව තැබිය යුතුයි. යෝගා පුහුණුවට යෝගා මෙට්ටයක් හෝ නවන ලද රෙදි කැබැල්ලක යොදාගත හැකි අතර එය සඳහා සැහැල්ලු කපු ඇඳුමකින් සැරසීම වඩාත් යෝග්‍ය වනවා. මේ යෝග අභ්‍යාසවල නිරත වීම කිසිදු වයස් භේදයක් තොරව කළ හැකියි.

අප බොහෝ දෙනකුට යෝග අභ්‍යාස කිව සැණින් මතකයට නැඟෙන්නේ ශරීරයේ හැඩය සහ නම්‍යශීලී බව පවත්වා ගැනීමට උදවු වන ව්‍යායාමක් ලෙසයි. එහෙත් එතැනින් එහා ගිය තවත් ප්‍රතිපල රාශියක් නිවැරදිව යෝග අභ්‍යාස කිරීමෙන් ඔබට ලබා ගන්න පුළුවන් බව පර්යේෂකයන් සඳහන් කරනවා. ඕනෑම පුද්ගලයකුට නිරත විය හැකි ඉරියවු එනම් ආසන වර්ග මේ යෝගා සතුව තිබෙනවා. ඉතා සරල, පහසු මේ ඉරියව් මඟින් ඔබට ඇතිවන්නේ සුළුපටු ප්‍රතිඵල නම් නොවේ. නිරන්තරයෙන්ම යෝග පුහුණු කිරීම මඟින් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා ගන්න පුළුවන්.

ඉරියව් වැඩිදියුණු කරය‍ි

යෝග ආසන බොහොමයක් ඔබේ ශරීරය සෘජුව හා සමබරව පවත්වා ගනිමින් සිදු කළ යුතු ආකාරයට නිර්මාණය කර තිබෙනවා. ඔබේ ශරීරයේ ප්‍රබෝධමත් භාවය මෙයින් වැඩි වනවා. මෙමගින් ඉතාමත් ආකර්ෂණීය සිරුරක් ඔබට හිමි කරයි.

සිරුරේ නම්‍යශීලී බව පවත්වා ගැනීමට

යෝගා අභ්‍යාසවල ඇති ගැඹුරු ශ්වසන අභ්‍යාස සහ සෙමෙන් සිදුකරන චලනයන් රුධිර ගමනාගමනය ක්‍රමවත් කර, මාංශපේෂී ශක්තිමත් කිරීමටත් එකම ඉරියව්වක වැඩි වේලාවක් රැඳී සිටීමත්, සමබරතාව සහ ශරීර ශක්තිය ඇති කිරීමටත් හේතු වෙනවා. එනිසාම ඔබට ඇති වන කොන්ද, බෙල්ල ආශ්‍රිත කැක්කුම් නසාලනවා.

මාංශපේශිවල ශක්තිමත් බව වර්ධනයට

යෝග අභ්‍යාසවල යෙදීමෙන් දුර්වල මාංශ පේශී ශක්තිමත් වනවා. එමඟින් මාංශ පේශි නිතර වෙහෙසට පත් වීමද වළක්වනවා.

පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරයි

යෝගාවල නියැළීම ඔබේ ශරීරයේ ජීව ශක්තිය රඳවා ගැනීමට සහ යෝග්‍යතාවයෙන් තබා ගැනීමට උපකාරී වනවා. එහිදී සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට ඔබව පොලඹවන අතර ශරීරයේ පරිවෘත්තීය පද්ධතිය වැඩි දියුණු කරනවා. රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වනවා.

දියවැඩියා සමනය කරයි

යෝගාභ්‍යාස රුධිර සීනි මට්ටම අඩු කිරීමට පමණක් නොව අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමට සහ හිතකර කොලෙස්ටරෝල් වැඩි කිරීමටද උපකාරී වනවා.

රුධිර සංසරණය ක්‍රමවත් කරයි

දිනපතා යෝගවල නිරත වීමෙන් ඔබේ ශරීරයේ සියලු කොටස්වලට හොදින් රුධිරය සංසරණය වීම සිදුවනවා. මෙහිදී ශරී‍රයේ අනවශ්‍ය බර අඩු කරන අතර එමඟින් හදවත් රෝග ඇති වීමේ ප්‍රවණතාව ද අවම කර ගන්න පුළුවන්.

රෝග වළක්වාලයි

වර්තමානයේ බොහෝ දෙනකුට ඇති වන රෝගවලට ප්‍රධාන හේතුව වන්නේ මනසයි. යෝග ව්‍යායාම ප්‍රතිශක්තිකරණ පද්ධතියට හිතකර බලපෑමක් ඇතිකරනවා. එය රෝගවලට එරෙහිව සටන් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වනවා.

ආත්ම අභිමානය වැඩිකරයි

යෝග අභ්‍යාස හැදෑරීම තුළින් තමන් තමන්ට ආදරේ කිරීමට ද හුරු වනවා. ඔබේ ශරීරය සහ මනසේ ශක්තිමත්භාවය වැඩි කරන්න, ප්‍රබෝධමත් භාවයක් ලබා දෙන්න, සෘණාත්මක සිතිවිලි ඇති කිරීම වළක්වන්න නිරන්තරයෙන්ම යෝග අභ්‍යාසයේ නිරත වීම හේතු වනවා.

පෙනහලු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි

හුස්ම ගැනීමේ ව්‍යායාම බොහොමයක් පෙනහලු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන බව පර්යේෂකයන් සඳහන් කරනවා. ශ්වසන ආබාධ සුව කළ හැකි වන අතර එය ඔබේ පෙරහලුවල ධාරිතාවය ද වැඩි කරනවා.

සුව නින්දක් ලබාදෙයි

නිරන්තරයෙන් සහ ක්‍රමාණුකූලව ප්‍රගුණකරන ලද රටාවකට යෝග අභ්‍යාසවල නිරත වීමෙන් හොඳ නින්දක් ලැබීමට ශරීරය සහ මනස සූදානම් කිරීමටත් සුව නින්දක් ලබාදීමටත් හැකියාව තිබෙන බව පර්යේෂණ මඟින් තහවුරු කර තිබෙනවා.

වඩාත්ම වැදගත් කරුණ නම් යෝගවල යෙදීමෙන් ඔබට සැහැල්ලු මනසකින් කටයුතු කිරීමට හැකියාව ලැබීමයි. එමගින් මානසික ආතතිය, මානසික පීඩනය ඔබෙන් ඈත්ව යනවා. ඒ වෙනුවට සැහැල්ලුව පිරුණු නිරෝගිමත් මනසක් ඔබට දායාද වනවා.

ශරීර සෞඛ්‍යයට වඩාත් හිතකර ව්‍යායාම ක්‍රමයක් ලෙස යෝග ආසන පෙන්වා දෙන්න පුළුවන්. යෝග අභ්‍යාස කෙතරම් ප්‍රතිලාභ ගෙනාවත් ඔබ වර්තමානයේ තම සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට කරන ක්‍රියාකාරම් මත එයින් ලැබෙන ප්‍රතිලාභ එකිනෙකාට වෙනස් වනවා. ඒ නිසා ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත හෝ සුදුසුකම් ලත් යෝග උපදේශකවරයෙකුගේ අනුදැනුම යටතේ ඔබට වඩාත් සුදුසු යෝග අභ්‍යාසවල නිරත වීමෙන් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට හැකි වනවා. ඒ වගේම සෑම පුද්ගලයෙකුම තම දෛනික ජීවිතයේදී යෝග අභ්‍යාසවල නිරතවීම පුරුද්දක් කර ගැනීම වඩාත් යහපත් වනවා.

 

ඉන්දියාවේ යෝගා ආයුෂ් ආයතනයේ

උපදෙස් අනුව සකස් කළේ

ඉෂාරා විජේරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.