වයස් භේදයක් නැති තුනටියේ වේදනාව නොසලකා හරින්න එපා

ජුනි 21, 2024

 

තුනටිය ප්‍රදේශයේ එහෙමත් නැතිනම් කොන්දේ පහළ ප්‍රදේශයේ හටගන්නා වේදනාව අද බොහෝ දෙනා පීඩා විඳීන තත්වයක්. කොඳු ඇට පේළියේ පහළ ප්‍රදේශය(Lumbar Spine )  සහ කොඳු ඇට පේළිය ශ්‍රෝණියට සම්බන්ධ කරන Sacroiliac Joint ප්‍රදේශය තුනටියට අයත් වෙනවා.

තුනටිය ආශ්‍රිත වේදනාව රෝග තත්වයක් නොවන අතර එම ප්‍රදේශයේ හටගන්නා යම් රෝගී තත්ත්වයක හෝ එම ප්‍රදේශයට සිදුවන අනතුරකට අදාළ රෝග ලක්ෂණයක් ලෙසට සැලකීම වඩාත් යෝග්‍ය වෙනවා.

ලොව පුරා ජීවත්වන පුද්ගලයන් සැලකීමේදී මිලියන 619ක ප්‍රමාණයක් තුනටිය වේදනාවෙන් පෙළෙන අතර අකර්මණ්‍යතාවයන් ඇතිවීමට ප්‍රධානතම හේතුව වනවා. මේ අකර්මණ්‍යතාවයන් ඇතිවීම නිසා තුනටියේ වේදනාව වැලඳුණු පුද්ගලයින්ට තමන්ගේ රැකියා කටයුතු නිසි පරිදි කර ගැනීමට නොහැකිවීම නිසා මෙමඟින් ඇතිවන ආර්ථික හා සමාජයේ බලපෑමද ඉතාම ඉහළයි. තුනටියේ වේදනාව සඳහා බලපාන විවිධ හේතු කාරණා මොනවාදැයි යන්න දැන් විමසා බලමු.

කොඳු ඇට පේළියේ අස්ථි සහ සන්ධිවලට සිදුවන අනතුරු/රෝගාබාධ

කොඳු ඇට පේළියේ පහළ ප්‍රදේශයේ සන්ධි ගෙවී ගොස් ප්‍රදායික තත්ත්වයක් ඇතිවීමෙන් හටගන්නා  Lumbar Spondylosis  රෝගී තත්ත්වය.

කොදු ඇට පේළියේ පහළ ප්‍රදේශයේ සන්ධි අතර පවතින අන්තර් කශේරුක මඬල ලිස්සා යාමේ තත්ත්වය හෙවත් Lumbar Disc Herniation .

ඉහතින් දක්වා ඇති මේ තත්ත්වයන් දෙකේම තුනටිය ආශ්‍රිතව ඇතිවන වේදනාවට අමතරව එක් කකුලක හෝ කකුල් දෙකේම පිටුපසින් පහළට විහිදෙන වේදනාව සහ හිරිවැටීමේ තත්ත්වයක් හෙවත් Sciatica හෝ ගෘදසි තත්ත්වයන්ද ඇතිවන්නට පුළුවන්.

කොඳු ඇට පේළියේ පහළ ප්‍රදේශයේ කශේරුකා අතර පවතින සම්බන්ධතා බිඳී ඉන් ඉහළට කොටස ඉදිරියට තල්ලු වී යාමේ තත්ත්වය හෙවත් Lumbar Spondylolisthesis  නම් රෝග තත්ත්වය.

කොඳු ඇට පේළියේ පහළ කෙළවර කශේරුකාවන්ට සිදුවන පීඩන බග්න හෙවත් Stress Fractures.

ඉරියවු නිවැරැදිව පැවැත්වා ගැනීමේ ගැටලු නිසා ඇතිවන කොඳු ඇට පේළියේ පහළ කෙළවරේ සන්ධි තදවීම්(Stiffness )

තුනටිය ප්‍රදේශයේ පහළින් පවතින සාපේක්ෂව විශාල සන්ධියක් වන Sacroiliac  සන්ධියට ඇතිවන ප්‍රදායික තත්ත්වයන්, ආසාදන සහ ක්‍රියාකාරීත්වයට අදාළ ගැටලු(  Sacroiliac Dysfunctions)
 

තුනටිය ආශ්‍රිත මාංශ පේශී සහ මෘදුපටකවලට ඇතිවන රෝගාබාධ සහ අනතුරු

තුනටිය ආශ්‍රිතව මාංශ පේශී තැලීමට සහ ඉරීමට ලක්වීම. මෙය ක්‍රීඩකයන් සහ ව්‍යායාම කරන පුද්ගලයන් අතර සුලභවේ.

කොඳු ඇට පේළියේ පහළ ප්‍රදේශයේ පවතින බන්ධනීවලට ඇතිවන ප්‍රදාහයික තත්ත්වයන් සහ අනතුරු.

උකුල් සන්ධියේ Joint Capsule එක නැමැති මෘදු පටක ස්ථරයට ඇතිවන අනතුරු සහ ප්‍රදාහයික තත්ත්වයන්

උකුල ආශ්‍රිතව පවතින මාංශ පේශීවල සිදුවන තැලීම්, ඉරීම් සහ ප්‍රදාහයික තත්ත්වයන්

Sacroiliac සන්ධිය ආශ්‍රිතව පවතින බන්ධනීවල ඇතිවන ප්‍රදාහයික තත්ත්වයන්

කොදු ඇට පේළියේ පහළ සහ මැද ප්‍රදේශයේ ඇතිවන ප්‍රේරිත ලක්ෂ හෙවත් Trigger Points .

කොඳු ඇට පේළිය ආශ්‍රිත මධ්‍ය ස්නායු පද්ධතියට සහ පර්යන්ත ස්නායුවලට සිදුවන අනතුරු සහ රෝගාබාධ

සුෂුම්නාවට සිදුවන විවිධ වර්ගයේ පීඩන ඇතිවීම් සහ අනතුරු

Sciatic  ස්නායුවට ඇතිවන  Interdual වර්ගයේ පීඩන.

Sciatic ස්නායුවට ඇතිවන Extradural  වර්ගයේ පීඩන

ශරීරයේ පහළ ගාත්‍රවලට ස්නායු සැපයුම ලබා දෙන ඉචජපචත ර්‍ථතඥයභඵ නම් ස්නායු ප්‍රථානයේ පර්යන්ත ස්නායුවලට සිදුවන අනතුරු.

මීට අමතරව නිවෙසේදී සහ රැකියා කරන ස්ථානයේදී ඇතිවන වැදීම්, වැටීම් සහ තැලීම් නිසාද, ක්‍රීඩා හෝ ව්‍යායාම සිදුකරන විට ඇතිවන අනතුරු නිසාද, එදිනෙදා ජීවිතයේදී කරන ක්‍රියාකාරකම්වලදී නිවැරැදිව ඉරියවු පවත්වා නොගැනීම නිසා සහ රිය අනතුරු හේතුවෙන්ද තුනටිය ප්‍රදේශයට ඇතිවන පීඩනය සහ බලපෑම නිසාද වේදනාවන් හටගන්නට පුළුවන්.

ඔබ කාන්තාවක් නම් ගර්භිණී අවස්ථාවේදී ක්‍රියාකාරීවන හෝමෝනවල හේතු නිසා සහ ක්‍රමයෙන් උදරය විශාල වීම හේතු කොට ගෙන ශරීරයේ Biomechanicsවෙනස්වීම නිසාද තුනටියේ වේදනාව ඇතිවන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී දරුවන් බිහිකිරීමෙන් පසුවද මේ වේදනාවන් දිගටම පැවතීමේ හැකියාවක් තිබෙනවා. ඔබ තරබාරු බවෙන් පෙළෙන පුද්ගලයකු නම් සාමාන්‍ය පුද්ගලයකුට වඩා තුනටිය ආශ්‍රිත වේදනාව ඇතිවීමට ඉඩකඩක් පවතිනවා. ඔබ කරන රැකියා කටයුතුවලදී වැඩි වේලාවක් එක තැන වාඩි වී ලියන කියන වැඩ හෝ පරිගණක ආශ්‍රිතව දවසේ වැඩි වේලාවක් වාඩිවී කටයුතු කරනවා නම් ඔබටත් තුනටියේ වේදනාව හට ගැනීමට වැඩ ඉඩකඩක් පවතිනවා. ඔබ ගුරු වෘත්තිය වැනි දවසේ වැඩි වේලාවක් සිටගෙන සිටීම ඉරියව්වෙන් රැකියාව සිදු කරනවා නම් එවිටද තුනටියේ වේදනාව ඇතිවීම ඉඩකඩ වැඩියි.

ඔබට ඕනෑම වර්ගයක තුනටියේ වේදනාවක් කෙටි කාලීනව හෝ දීර්ඝකාලීනව වැළඳී තිබෙනවා නම් කිසිම විටක නොසලකා හැරීම සුදුසු වන්නේ නෑ. නිවැරැදිව ප්‍රතිකාර නොකරන සෑම අවස්ථාවකදීම තුනටියේ වේදනාව උග්‍ර වීමටත් එම වේදනාව ඇතිවීමට බලපාන රෝගී තත්ත්වය තවදුරටත් වැඩිවීමටත් හැකියාව පවතිනවා. නිවැරදි සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරයකු හමුවේ සිදුකරන පාරම්පරික තෛල ප්‍රතිකාර/ තැවුම් ප්‍රතිකාර සහ පත්තු ප්‍රතිකාර මඟින් මුල් අවස්ථාවේම හඳුනාගත් තුනටියේ වේදනාව සම්පූර්ණයෙන්ම සුව කර ගන්නට පුළුවන්. ස්නායු ආශ්‍රිතව පවතින තුනටියේ වේදනාවලදී චීන කටු වෛද්‍ය ප්‍රතිකාරද ඉතාම වැදගත් වනවා. ඔබ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාරවලට යන තෙක් තුනටියේ වේදනාව පවතිනවා නම් නිවසේදී පහතින් දක්වා තිබෙන ප්‍රථමාදධාර මගින් රෝගය පාලනය කර ගැනීම සිදුකරන්නට පුළුවන්.

ප්‍රථමාධාර

අනවශ්‍ය පරිදි සිටගෙන සිටීම, ඇවිදීම, බර එසවීම සහ පඩිපෙළවල් නැගීම වැනි ක්‍රියාකාරකම් හැකිතාක් අඩු කරන්න.

තුනටියේ වේදනාව පවතින ස්ථානයට වරකට මිනිත්තු 15ක පමණ කාලයක් පැය තුනකට වරක් Ice තැබීම සිදු කරන්න.

රාත්‍රියේ නිදා ගැනීම සඳහා තද මතුපිටක් හෝ පොළොව භාවිතා කරන්න.

ත්‍රී රෝද රථ සහ යතුරුපැදිවල ගමන් කිරීම හැකිතාක් අඩු කරන්න.

ඔබ කාන්තාවක් නම් අඩිය සහ විලුඹ උස පාවහන් පැලඳීම හැකිතාක් අවම කරන්න.

නිවසේදී සහ රැකියා ස්ථානයේදී වැඩ කටයුතු කිරීමේදී සිටගෙන සිටීමට සිදුවනවා නම් එක දිගට සිටගෙන නොසිට මිනිත්තු 40කට වරක් හෝ වාඩිවී විවේකය ලබාගන්න.

තුනටියේ වේදනාව පවතින ඕනෑම අවස්ථාවක වේදනාවත් සමඟ ව්‍යායාම හෝ අධික මහන්සි වී වැඩ කටයුතු කිරීම නවත්වන්න.

නිවැරැදි ප්‍රතිකාරවලට හැකි ඉක්මනින් යොමු වීම් මගින් තුනටිය ආශ්‍රිත වේදනාවන් පහසුවෙන්ම සුව කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙන බව සෑම විටම මතක තබා ගන්න.

 

පාරම්පරික සර්වාංග කැඩුම් බිදුම්

විශේෂ වෛද්‍ය

ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.