වැස්ස සමඟ පැතිරයන මී උණ

ජුනි 24, 2022

වෙල් උණ,මඩඋණ යනුවෙන් ගම්බද ජනතාව හඳුන්වනු ලබන මී උණ රෝගය මීයන්ගෙන් මනුෂ්‍යයන්ට වැලඳෙන භයානක රෝගයකි. කුඹුරු හා ආශි‍්‍රත වගා කටයුතුවල යෙදෙන කුණු ගොඩවල් ඉවත් කිරීමේ නිරතවන මැණික් පතල්, ඇළදොළවල් ආශි‍්‍රත රැකියාවේ යෙදෙන අයට මී උණ රෝගය වැලඳීමේ හැකියාව පවතී.

 

විෂබීජ ජලයට මුසුවීම

ජලය ආශි‍්‍රතව ගැවසෙන මීයන්ගේ මුත්‍රාවල තිබෙන විෂබීජ ජලයට මුසුවීමෙන් ඒවා මිනිස් සිරුරට ඇතුළු වීමෙන් රෝගය වැලඳේ. මිනිස් සිරුරට මෙම විෂබීජය බෙහෙවින් ඇතුළු වන්නේ පාදයෙනි. පා ආවරණ නොමැතිව මෙවැනි දියකඩිතිවල බැස සිටින අයට මී උණ වැලඳේ. තමන්ගේ පාදවල සුළු හෝ සීරීමක් අලුත් තුවාලයක් පැවතියහොත් ඒ හරහා මෙම බැක්ටීරියාව ශරීරගත වේ. විශේෂයෙන් ගංවතුර තත්ත්වයෙන් පසුවද මී උණ පැතිරයාමේ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී. රෝග කාරක බැක්ටීරියාව ශරීරගත වී දින හතක් හෝ දින දාහතරක කාලයක් තුළ රෝග ලක්ෂණ පහළ වේ. ආසාදිත වූවන් බොහෝ දෙනකුට කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව පසුවිය හැකිය.

 

රෝග ලක්ෂණ

මී උණ වැලඳීමේ රෝග ලක්ෂණ අතර අධික හිසරදය, උණ, ඇස් රතු වීම, මස්පිඬුවල වේදනාව , තෙහෙට්ටු ගතිය , කෑම අරුචිය ආදි ලක්ෂණ ප්‍රධාන වශයෙන් පෙන්නුම් කෙරේ. මීට අමතරව අක්මාව හා වසා ග්‍රන්ථි ඉදිමීමත් සමේ ලප මතුවීමත් පලු දැමීමත් ඇතිවේ. එසේ සිදු වන්නේ බැක්ටීරියා ශරීරගත වී රුධිරය තුළ ගණනය වීමෙන් පසුව ආරම්භවන ප්‍රථම ලක්ෂණ තුළදීය. රෝගය උත්සන්න වූ අවස්ථාවේදී මූත්‍රා පිටවීම අඩුවේ. වකුගඩු අකර්මණ්‍ය වේ. අක්මාවද අකර්මණ්‍ය වේ. මෙවැනි තත්ත්වයකට පත් වීමට ප්‍රථම ප්‍රතිකාරවලට යොමු විය යුතුය. ඒ කුඹුරු ඇළදොළ දියකඩිතිවල සහ ඉහත සඳහන් ස්ථානවල ගැවසීමෙන් උණක් හෝ අනෙකුත් රෝග ලක්ෂණ ඇතිවූ වහාම නැතහොත් යම් සැකයක් ඇතොත් ඒ ගැන බලා නොසිටිමිනි. මීයන් ගැන නොදන්නා කෙනකු නැත. ඒ වැඩි වශයෙන් ගෘහ ආශි‍්‍රතව හා වගාබිම්වල වාසය කරන බැවිනි.

මීයන් සපා කෑමෙන් උග්‍ර විෂක් ශරීර ගත වේ. මීඋණ මෙන්ම මහාමාරිය බෝවන්නේ ද මීයන්ගෙනි. විෂ වෛද්‍යානුකූලව මීයන්ගේ විෂ ප්‍රභේද දහඅටක් ඇති බව පෙන්වා දී ඇත. ඒ සෑම එකකින්ම පෙන්වා දී ඇත්තේ මීයා උග්‍ර විෂ සහිත බවයි. එබැවින් මීයන් ගැවසෙන ස්ථාන ගැන වඩාත් ප්‍රවේශම් විය යුතුය. වර්ෂාව අධිකව පවතින කාලයේදී ගංවතුර පවතින විට පරිසරයට රෝගකාරක බැක්ටීරියාව මුදාහැරීමට ඇති ඉඩකඩ වැඩි බැවින් වතුර එක්රැස්ව පවතින විටත් එම ස්ථානවල සහ ගංවතුරට බැස වැඩි වේලාවක් සිටීමත් අනතුරුදායකය.

මී උණ වළක්වා ගැනීමට

කුඹුරු අවට මීයන් ගැවසෙන ස්ථාන සොයා බලා ශුද්ධ පවිත්‍ර කළ යුතුය. පුරන් වූ කුඹුරු යළි ගොවිතැන් කිරීමට සකස් කිරීමේදී කුඹුරට බැසීමට පෙර එහි ගැවසෙන මීයන් නැති කිරීමට කටයුතු කළ යුතුය. කුඹුරේ පමණක් නොව කුඹුර අවට පරිසරයද ශුද්ධ පවිත්‍ර කොට බිම්ගුල් වසා දැමිය යුතුය. එමෙන්ම කුඹුර ආශි‍්‍රතව ගොඩගසා ඇති කොළ රොඩු කල්ගතවී දිරාපත්ව තෙත ගතියෙන් පවතී නම් ඉතා ප්‍රවේසමෙන් ඒවා ඉවත්කොට සුද්ධ පවිත්‍ර කළ යුතුය.

 

ආරක්ෂාවීම

සීරීම් හා තුවාල ඇති අය කුඹුරු වැඩ කිරීමේදී වඩාත් ආරක්ෂා විය යුතුය. උදැල්ල මිටේ අපිරිසුදු ජලය හා මඩතැවරී ඇති විට උදැල්ල කරමත උරේ තබාගෙන යෑමෙන් හා උදැල්ල අල්ලාගෙන යෑමෙන් වැළකිය යුතුය. කුඹුරු වැඩෙහි යෙදෙන වෙනත් වගාවන්හි නිරතවන මංමාවත්වල කුණු කසළ සහ වතු කුණුකසළ ඉවත් කරන මාර්ග කානු පද්ධතිය පිරිසිදු කරන වැලිගොඩ බාන වෘත්තීයේ යෙදී සිටින පොකුණු, වැව්, ඇළ මාර්ග ශුද්ධ පවිත්‍ර කරන අත්හැර දැමූ මැණික් පතල් ආශි‍්‍රතව වැඩකරන සත්ත්ව ගොවිපළවල සේවය කරන වැව් ඇළදොළෙහි මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින පිරිසට මී උණ රෝගය වැලඳීමේ ඉඩකඩ බෙහෙවින් වැඩිය. සමේ සීරීම් තුවාල මෙන්ම ඇස්, කන් නාසයේ හෝ මුඛයේ ශ්ලේෂ්මල පටල ඔස්සේ මෙම වයිරසය ශරීරගත විය හැකිය.

ගොදුරු විය හැකි අය

විශේෂයෙන් කුඹුරු වැඩ කරන අය ආරක්ෂාවීම වැදගත්ය. නිරන්තරයෙන්ම තෙත හා මඩ සහිත පොළොව ආශි‍්‍රතව අපිරිසුදු ජලය පෑගෙන කටයුතුවල යෙදෙන අයද ප්‍රවේසම් විය යුතුය. වගා වැඩෙහි හා කුඹුරු වැඩෙහි නිරත ගොවි මහත්වරු බොහෝ දෙනකු බුලත් විට සැපීමෙන් පසු දියකඩිතිවලින් කට සෝදා ගැනීමට පුරුදුව සිටිති. එය ඉතා අනතුරුදායක බැවින් එම පුරුදුවලින් ඉවත්ව සිටීමට තරයේ සිතට ගත යුතුය. ජලය එක් රැස්වන ස්ථානවල හා තෙත් මඩ සහිත ස්ථානවල සිටීමට සිදු වුව හොත් ඉන් ඉවත් වූ වහාම පිරිසුදු ජලයෙන් සබන් ගා අත්පා සෝදා ගත යුතුය. එමෙන්ම උතුරවා නිවාගත් ජලය බීමට ද අමතක නොකළ යුතුය. මී උණ රෝගය බැක්ටීරියාවක් මඟින් සෑදෙන රෝගයකි. මීයන් ඌරුමීයන් මීගවයින්, ගවයින් වැනි සතුන්ට ද මෙම බැක්ටීරියාව ආසාදනය ඇති විය හැකි අතර එම සතුන්ගේ වකුගඩු ආශි‍්‍රතව ජීවත්වන එම බැක්ටීරියාව මූත්‍රා සමඟ පරිසරයට නිදහස් වෙයි.

බෝවන සතුන්

නවතම පර්යේෂණවලට අනුව ලෙස්ටොස්පයිරා බැක්ටීරියාව ගවයන්, ඌරන්, එළුවන් වැනි සතුන්ට ද ආසාදනය වන බව සොයාගෙන ඇත. මෙම භයානක රෝගයෙන් වැළකීමට නම් සතුන්ගේ මූත්‍රාවලින් අපවිත්‍ර වන මීගුල් ඇති ස්ථානවල ගොවිකටයුතුවල නිරත නොවිය යුතුයි. තෙත හෝ මඩ පස් ඇති ස්ථානවල ගැවසීමේදී හෝ ගමන් යෑමේදී පාවහන් පැලදීමට අමතක නොකළ යුතුය.

 

රෝගයේ භයානක බව

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මී විෂද ජංගම විෂ පදාර්ථයකි. එය ශරීර ගත වීමෙන් සිරුර ඉදිමෙයි. සම විවරණ වෙයි. වමනය හා අරුචිය උද්ගත වෙයි. සිරුරේ තැනින් තැන මී පැටවුන්ට සමාන පලු නැගෙයි. සිහිමුළා වෙයි. මුල්වරට සාමාන්‍ය උණක් හට ගැනෙයි. දාහය ඇති වෙයි. මුවෙන් සෙම බේරෙයි. ලේ වමනය ඇතිවන අතර කන් බිහිරි වේ. මෙය එතරම්ම භයානක රෝගයකි. ඉන් වැළකීමට කටයුතු කිරීම ඔබ සතුය.

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

සටහන - බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.