කායික මානසික සුවයට රේ-කී ප්‍රතිකාර (විශ්ව ශක්ති ප්‍රතිකාර)

දෙසැම්බර් 4, 2020

මූලික රේකී ප්‍රතිකාර ක්‍රමය පුහුණුවීමට ගුරු ඇසුර අවශ්‍ය කෙරේ. නමුත් නව ප්‍රවණතාවයක් ලෙස සමහරු තනිවම රේ කී හදාරති. මෙහිදී පළමුකොට භාවනා ක්‍රම මගින් කුණ්ඩලිනී ශක්තිය අවධි කරනු ලැබේ. අනතුරුව රේකී ශාස්ත්‍රයේ දක්වා ඇති ආකාරයට ශක්ති ප්‍රදානය කරනු ලබයි.

පුද්ගලයාට වැලදෙන විවිධ කායික රෝග මෙන්ම මානසික රෝග සුවකරගැනීම සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම ඖෂධ භාවිතයක් නොමැතිව කෙරෙන විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිත කරයි. විශේෂයෙන් ඇලෝපති ඖෂධවල ඇති අතුරු ආබාධවල පවත්නා හානිකර තත්ත්වය නිසාම ඖෂධ නොමැති ප්‍රතිකාරයන් කෙරෙහි නවීන ලෝකය වැඩි අවධානයක් යොමුකර ඇත.

 

රේ – කී සුව කිරීමේ කලාව

මෙය ජපානයේ පැවති දේශීය සුවකිරීමේ ක්‍රමයකි. අධි මානසික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෙය හඳුන්වයි. මෙම ක්‍රමයට වසර දහසක පමණ ඉතිහාසයක් ඇත. සෙන් බෞද්ධාගමේ භාවනා ක්‍රම ප්‍රගුණ කළ යෝගීන් විසින් පුහුණුූ කරන ලද මේ රෝග සුවකිරීමේ ක්‍රමය පසුකාලීනව සුවකිරීමේ රහසක් ලෙස තබාගැනීමට උත්සාහ දරා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම රේකී ක්‍රමය ලෝකයෙන් අතුරුදන්විය. නූතන රේකී විද්‍යාවේ ආරම්භය ජපානයේ විසූ ක්‍රිස්තු ලබ්ධික බටහිර වෛද්‍යවරයෙකුගේ අප්‍රතිහත ධෛර්ය නිසා සිදුවිය. ඔහු උපතින් ක්‍රිස්තු බැතිමතෙකු වුවද භාවනාක්‍රමවලට දැඩි ඇල්මක් දැක්විය . බටහිර වෛද්‍ය ක්‍රමයේ සීමාවන් පවතින බව දුටු හෙතෙම පුරාණ ජපන් වෛද්‍ය තාක්ෂණය වෙත යොමු වූයේය. එහෙත් ඒ ඉපැරණි ක්‍රමවේදය උපදවාගෙන රෝග සුවකිරීමට ඔහු ඉටා ගත්තේය. දැඩි අධිෂ්ඨානය හා අප්‍රතිහත ධෛර්ය නිසා ඔහුට ඔහුගේ ඉලක්කය ජයගැනීමට හැකිවිය.

දිනක් ඔහු කන්දක් මුදුනට වී භාවනා කරමින් සිටියේය. එක් වරම සිතට හා කයට පුදුම සැහැල්ලුවක් දැනුනි. ඒ හා සමඟම ඈත අහසේ සිට අකුණූ සැරයක් වැනි ආලෝක කදම්භයක් පැමිණ ඔහුගේ හිස තුළට ඇතුළු විය. ඒත් සමඟම සිහි විසඥවූ ඔහුට දිගු වේලාවකට පසුව සිහිය එළඹුණි. පුදුමයකට මෙන් ජපාන සුවකිරීමේ ක්‍රමය පිළිබඳ සියලු රහස් ඔහුගේ සිත තුළට ඇතුළු වී තිබුණි. මෙයින් උද්දාමයට පත් ඔහු පිස්සෙකු මෙන් මහ මඟ දිගේ දිව ගියේය. මඟදී හමුවන සියලු රෝගීන් වෙත ගොස් චිත්ත ශක්තිය ප්‍රදානය කළේය. පුදුමයකට මෙන් අසාධ්‍ය රෝගීන් පවා සැණකින් සුවය ලැබිණි. රේ – කී යනුවෙන් නම තබනු ලැබූ මෙම අපූරු ශිල්පය කෙටිකලකින් ලොව පුරා ප්‍රචලිත විය.

රේ – කී මූලධර්ම

රේ– කී යනු ජපන් වචන දෙකක එකතුවකි. රේ- යනු ප්‍රදානය කිරීමයි. කී- යනු විශ්ව ශක්තියයි. රේ– කී යනු විශ්ව ශක්තිය ප්‍රදානය කිරීමයි. මෙහි විශ්ව ශක්තිය යනු විශ්වයේ අපරිමිත අවකාශය පුරා පැතිර ඇතැයි සැලකෙන අදෘශ්‍යමාන ශක්ති විශේෂයකි. සිරුරේ ජෛව ක්‍රියා පාලනය කිරීම සඳහා මේ කල්පිත ශක්තිය යොදා ගැනෙන බව විශ්වාස කරයි. රේකී ශාස්ත්‍රයේ අරමුණ රෝග සුවකිරීමයි. එබැවින් රෝගියෙකු වෙත විශ්ව ශක්තිය ප්‍රදානය කිරීමක් මෙහිදී සිදු වෙයි. ශක්තිය ප්‍රදානය කරන්නා ඒ සම්බන්ධව මනාව පුහුණු වූ අයෙකි. ඔහු රෝගියාට විභව ශක්තිය යොමුකරයි. ප්‍රදානය කරන්න විසින් තම ශක්තිය රෝගියාට ප්‍රදානය කිරීමක් මෙහිදී සිදු නොවන අතර විශ්ව ශක්තිය ඔහු හරහා රෝගියා වෙත යොමුකිරීම පමණක් සිදු වෙයි.

රේ -කී ප්‍රතිකාර ක්‍රම

රේ කී ප්‍රතිකාර ක්‍රම 02 කි

 

1.ළඟ සිට සුව කිරීම – ළඟ සිටින රෝගියෙකු වෙත ශක්තිය ප්‍රදානය කිරීම

2.දුර සිට සුවකිරීම – දුර සිටින රෝගියෙකු වෙත ශක්තිය ප්‍රදානය කිරීම සුව කෙරෙන ආකාරය

රේ කී සුව කිරීමේ තාක්ෂණික ක්‍රම 03 කි.

1.ස්ථානීය සුව කිරීම

කිසියම් ආබාධයක් ශරීරයේ යම් ස්ථානයකට සීමාවී පවතීනම් එම ස්ථානය වෙත ශක්තිය ලබාදීම

2.මුළු ශරීරයම සුවකිරීම

සිරුරේම ක්‍රියාකාරිත්වය නිවැරදි කිරීමට අවශ්‍ය අවස්ථාවලදී මුළු සිරුර වෙත ශක්තිය ලබාදීම

3.මිශ්‍ර සුව කිරීමේ ක්‍රමය

ආබාධය පවතිනුයේ සිරුරේ එක් ස්ථානයක වුවද මුළු සිරුරේම ක්‍රියාකාරිත්වය ඊට බලපෑ හැකිය. මෙවැනි අවස්ථාවල අඩාල ස්ථානයටත් මුළු ශරීරයටත් ශක්තිය ලබාදෙයි.

 

සුවකිරීමේ අනුපිළිවෙල

රේ -කී ප්‍රතිකාරය කරනු ලබන්නා රෝගියාගේ ශරීරය අසලින් දෑත් ඉහළට හා පහළට මෙහෙයවා ශක්තිය ලබාදෙයි.

1.පළමුව රෝගියා උස් ඇඳක උඩුබැලි අතට සතපවනු ලබයි.

2.දායකයා (වෛද්‍යවරයා) රෝගියා අසල දකුණු පැත්තේ සිට ගනී.

3.තමාගේ වම් අත තම තුනටිය පිටුපස මත තබා ගන්න

4.දකුණු අත රෝගියාගෙන් අඟල් 6-9 අතර දුර ප්‍රමාණයක් සිටින සේ අහල පහළට හරවා රෝගියාගේ හිසේ සිට දෙපතුල දක්වා ගෙනයයි. 5.මෙම ක්‍රියාවලිය කීපසැරයක් සිදුකරනු ලබයි.

 

ශක්ති ප්‍රදානය

සුව කිරීමේ දෙවන අදියර වන රෝගියාට අමතර ශක්තිය ලබාදීම මෙහිදී සිදුකෙරේ. රෝගියාගේ උකුළේ සිට ඉහළට හිස දක්වා රිද්මයානු කූලව අත ගෙනියයි. මේ අවස්ථාවේ මූලාධාර නම් ශක්ති මධ්‍යස්ථානය හරහා රෝගියාගේ සිරුර තුළට විශ්ව ශක්තිය ඇතුළු වේ.

 

ස්ථානීයව සුවකිරීම්

රෝගියාගේ රෝගී ස්ථානයට එක එල්ලේ අත්ල තබාගෙන සිටීමෙන් ශක්තිප්‍රදානය සිදුකෙරෙයි. මීට අමතරව හිස, පපුව, උදරය, කොන්ද යන ස්ථානවල අත්ල තබාගෙන සිටීමෙන් අඩාල පද්ධතීන් උද්දීපනය වේ.

 

රේ -කී ශිල්පියෙකු වන හැටි

මූලික රේකී ප්‍රතිකාර ක්‍රමය පුහුණුවීමට ගුරු ඇසුර අවශ්‍ය කෙරේ. නමුත් නව ප්‍රවණතාවයක් ලෙස සමහරු තනිවම රේ කී හදාරති. මෙහිදී පළමුකොට භාවනා ක්‍රම මගින් කුණ්ඩලිනී ශක්තිය අවධි කරනු ලැබේ. අනතුරුව රේකී ශාස්ත්‍රයේ දක්වා ඇති ආකාරයට ශක්ති ප්‍රදානය කරනු ලබයි.

 

ශ්‍රී ලංකාව තුළ රේ - කී ප්‍රතිකාර

ජපානයෙන් ආරම්භ වූ රේ - කී සුවකිරීමේ ක්‍රම ශිල්පය ශ්‍රී ලංකාවේද විවිධ නම් වලින් විවිධ ස්වරූපයෙන් දක්නට ලැබේ. රේකී නමින්ද විශ්ව ශක්ති ප්‍රතිකාර යන නම් වලින්ද නොමිලේ සේවාවක් ලෙස ලබාගැනීමට අවස්ථාව ඇත. රෝග වලට ප්‍රතිකාර කරන අතරට වුවද අමතර සුවකිරීමේ ක්‍රමයක් ලෙස මෙය භාවිත කිරීමෙන් රෝග සුවය ඉක්මන් කර ගත හැකි බව මේ පිළිබඳ හදාරන්නන්ගේ මතයයි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.