ලස්සන මුහුණට වද දෙන කුරුලෑ වනසන පිළියම් මේ ලෙසිනා

ජූලි 3, 2020

පියකරු ලස්සන මුහුණක් කවුරුත් බලාපොරොත්තු වෙති. මුහුණේ පියකරු භාවයට ලස්සන භාවයට ඇතැම් විට මුහුණේ දක්නා කුරුලෑ බාධාකාරී වෙයි. මේ නිසා මුහුණේ දක්නා කුරුලෑ පිළිබඳව බොහෝ දෙනා සැලකිලිමත් වෙති. 

කුරුලෑ ද්විතීයික ලිංගික අවධියේ මුහුණේ හට ගනියි. ශරීරයේ පවත්නා අධික උෂ්ණ ගතිය, රත්පිත් ගතිය, තෙල් සහිත ආහාර ගැනීම, පැණිරස කෑම ආදී කරුණු රැසක් හේතුවන අතර සම ඉතා පවිත්‍රව තබා ගැනීම අතිශයින් වැදගත් බව සැළකිය යුතු වේ. 

අතිශයින් වැදගත් වන්නේ මුහුණ ඉතා පිරිසුදුව සෞම්‍යව පවත්වා ගැනීමයි. උදය හා රාත්‍රී නින්දට යාමට පෙර උණුසුම් දිය බඳුනකින් පිටවන හුමාලය විනාඩි 5 ක් 10 ක් පමණ කාලයක් අල්ලන්න. එහිදී මුහුණේ රඳා දූවිලි, කුණු, අපවිත්‍ර දෑ ඉවත් වෙයි. මුහුණ පැහැපත්ව පිරිසුදුව පවතී. උණු දියෙන් මුහුණ සේදීමෙන් මුහුණේ පියකරු බව දක්නට ලැබේ. විෂබීජ, දූලි සියල්ල නැතිවෙයි. 

පොල් මිටිකිරි ස්වල්පයක් ගන්න. එයට දෙහි ඇඹුල් යුෂ බිංදු 10 ක් පමණ මිශ්‍ර කරන්න. එය නින්දට පෙර මුහුණේ ගාන්න. උදේ උණුදියෙන් සෝදන්න. ඉන්පසු සුදු හඳුන් ස්වල්පයක් ඇල්දියෙන් අනා මුහුණේ ගාන්න. 

කොහොඹ දළු හා සියඹලා කොළ බඳුනකට දමා හොඳින් තම්බා හුමාලය මුහුණට ඇල්ලීම නිසා මුහුණේ පවිත්‍රතාවය ඇතිවී කුරුලෑ ආදිය හට නොගනියි. 

කලාඳුරු අලයක් දෙහි ඇඹුලෙන් අනා ගාන්න. 

අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, කටුකරෝසන, දුම්මැල්ල, හාතාවාරිය අල කලං එකයි මංචාඩි දහය බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා දින තුන හතරක් උදය සවස  පත බාගය බැගින් බොන්න. උදයට සහිඳ ලුණුද, සවසට සීනි ද අනුපානයේ යොදන්න. 

කොත්තමල්ලි, ලොත්සුඹුල්, වදකහ, සම ප්‍රමාණයක් ගෙන හොඳින් කුඩුකර ඇල්දියෙන් අඹරා කුරුලෑ තන්හි ආලේප කරන්න. පැය භාගයකට පමණ පසු දෙහි යුෂ මුසු කරගත් දියෙන් සෝදන්න.

ලොත්සුඹුල්, පිච්චමල්, වියළි කහ, සුදු හඳුන් කලං හතර බැගින් ගෙන වතුර පත අට එකට සිඳවා උදය හවස දින තුන හතරක් පත භාගය බැගින් බොන්න. 

රසකිඳ, ලොත්සුඹුල්, කලාඳුරු, පාවට්ටා මුල් කලං හතර බැගින් ගෙන වතුර පත අට එකට සිඳ උදේ සවස පානය කරන්න.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.