ශරීරය සිසිල් කරන ඔසු ගුණ සපිරි පොල්පලා

ජුනි 21, 2019


ලංකාවේ සියලුම ප්‍රදේශවල හොඳින් වැඩෙන පොල්පලා ඖෂධයක් වශයෙන් ව්‍යංජනයක් වශයෙන් මැල්ලුමක් ලෙසත් පානය කරන බීමක් වශයෙනුත් කොළ කැඳක් වශයෙනුත් වියළීමෙන් තේ වෙනුවටත් ප්‍රයෝජනයට ගත හැකිය. විශ්මිත ගුණයෙන් පිරි පොල්පලා දේශීය ආහාරවේල් අතර මුල්පෙළේ ඇත.

විශේෂයෙන් මුත්‍ර රෝග නිවාරණය කිරීමට පොල්පලා මුල්තැනක් ගනී. මීට අමතරව ශරීරය සිසිල් කර තබා ගැනීමට හැකියාවක් මෙම ඔසුවෙන් ලබා දෙයි. ලංකාව තුළ වැඩෙන පොල්පලා වල ගුණය පළාත් අනුව තරමක් වෙනස්වේ. නමුත් සමස්තයක් වශයෙන් පොල්පලා ප්‍රයෝජනයට ගත හැක. අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මහියංගනය, හම්බන්තොට, කතරගම වැනි පළාත් තුළ පොළොවේ හටගන්නා පොල්පලා කඳ විශාලත්වයෙන් හටගනී. ගුණාත්මකතාවයෙන් ඉහළ මට්ටමක ඇත.

බදුල්ල, වැලිමඩ, දියතලාව, රත්නපුර, බලංගොඩ. හැටන්, බණ්ඩාරවෙල ප්‍රදේශවල හටගන්නා පොල්පලා නිරෝගිමත් ලෙස ගස වැඩුණත් ගුණය අඩු මට්ටමක ඇත. එයට හේතුව සීත ප්‍රදේශය තුළ වැඩීම බැවින් පොල්පලා වල ගුණය වැඩි වියළි කලාපවල වැඩෙන ගස්වල ඇතිවේ. සමහර ප්‍රදේශවල වැඩෙන පොල්පලා ගස ඉක්මණින් බීජ බිහිකරයි. ගහේ කඳ විශාල වශයෙන් හැදෙන්නේ නෑ. නමුත් රසයෙන් වැඩිවේ. වියළි කලාපවල වැඩෙන ගසේ රසය මදක් අඩුවට පිහිටයි.

පොල්පලා වලින් නිවාරනය කරන රෝගවලට ඔසුවක් වශයෙන් භාවිතා කරන ආකාරය මෙයින් පෙන්නා දෙන අතර එයින් ප්‍රයෝජනයක් අත්කරගන්න. මුත්‍රා ආසාදනයන් සඳහා සහ මුත්‍රාශයේ හටගන්නා ගල් සඳහා අමු පොල්පලා ගසක් සහමුලින් ගෙන සෝදා පිරිසුදු කර කුඩා කැබලි වලට කපා වතුර බෝතලයක් මැටි මුට්ටියකට දමා එයට කපාගත් පොල්පලා ටිකක් එකතුකර මද ගින්නේ තේ කෝප්ප පහක ප්‍රමාණයට ජලය රත්කර සිඳගන්න. රාත්‍රී ආහාරයට පසුව පැයක විතර කාලයක් ගත වු පසු පොල්පලා වතුර ටික පෙරාගෙන පානය කරන්න. දිනක් හැර දිනක් මේ විදිහට පාවිච්චිකර මුත්‍ර ආසාදන හා මුත්‍ර ගල් සෑදීම වළක්වා ගත හැක. මේ සඳහා විශාල වශයෙන් බටහිර ප්‍රතිකාර ගැනීමට පෙර දේශීය ප්‍රතිකාරයක් වන පොල්පලා ප්‍රතිකාරය කර සුවයක් උදාකරගන්න. මෙහි අතුරු ආබාධ කිසිවක් නැත.

ශරීරය සිසිල්තාවයක තබා ගැනීමට වියලි පොල්පලා තම්බා එම වතුර දවසට දෙවරක් විතරක් බැගින් පානය කරන්න. දින තුනකට වරක් කිරීමෙන් හිරුගෙන් ශරීරයට වන හානිය අවම කරගත හැක. සමේ තෙතමනය රඳවා තබා ගැනීම තුළින් හිරුගෙන් සමට වෙන හානිය අවම කර ගත හැක.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

දේශීය පාරම්පරික
වෛද්‍ය දේශබන්ධු ඩී.පී.ඒ. පාලින්ද

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.