වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
විභාගයට යන දූ දරුවන්ට සුබ-සෙත් කවිය
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/37_1.jpg?itok=8aMl6zZK)
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දැයේ දූ දරුවන්ගේ පෙර දිරි වඩනු පිණිස මේ සෙත් කවි පෙළ ඉදිරිපත් කෙරේ. සියලුම සිසු දරු දැරියන්ගේ මානසික ශක්තිය වර්ධනය පිණිසත්, කුසල ශක්තීන් ඉස්මතු වීම පිණිසත්, සතුට සැනසුම සහනය ශාන්තිය ගෙන දීමටත් මේ කවි හේතු වාසනා වනු ඇත.
මේ සෙත් කවි ගායනා කිරීමට ප්‍රථම නමස්කාර කර, තෙරුවන් සරණ යෑම මැනවි. අනතුරුව වන්දනාමාන කර, දෙවියන්ට පින් දීම කළ යුතුය.
මෙහි දියණියන් උදෙසා භාවිත කිරීමේදී පළමු කවියෙහි පුතනු යන්න වෙනුවට දියණියගෙ ලෙසත්, දෙවැනි කවියෙහි පුතනු වෙනුවට දුවගෙ ලෙසත්, තුන්වැනි කවියෙහි පුතු වෙනුවට දුව ලෙසත් යොදා ගැනීම මැනවි.
තවද මේ එක් කවියක් හත් වර බැගින් ගායනා කිරීම ප්‍රතිඵලදායි වන අතර, වාර 9ක් (දින 09 හෝ වරු 9) එකම වේලාවක් භාවිත කිරීම උචිතය. චක්‍රීය ලෙස කාලය සකසා ගැනීම හෙවත් පෙ.ව. 07.00 පස්වරු 07.00 ආදි ලෙස යොදා ගැනීම වඩාත් ඵලදායි වේ.
සෙත් කවි කියැවීමෙන් අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කර දරුවාට සෙත් පැතීම මැනවි.
ශ්‍රීමත් විෂ්ණු සුරිඳුනි
සකල සත වෙත මෙතැති සිතැතිව දිවැස දස අත නිබඳ පතුරන
නිමල අනුහස සපිරි කිතු හිමි විෂ්ණු සුරිඳුනි සසුන සුරකින
සඵල කරනට පුතනුගේ දිවි අපල වින සිඳ ආයු වඩමින
කුසල මතුකර ලියන සා පෙළ විභාගයෙ ජය උදා කළ මැන
ශ්‍රීමත් කදිර සුරිඳුනි
දසත රැඳි තෙද පතළ ජය ගොස අතර වැජඹෙන කතරගම බිම
සවත අනුහස තිලොව විහිදන කදිර සුරිඳුනි විසිර කිතු නම
පතිත කර මෙත පුතනු මන මත අසිරි පතමින පැහැර දොස නිම
සැපත ගෙන දුන මැනව සා පෙළ පවර ජයමග විවර කර සැම
ශ්‍රීමත් ගණේෂ්වර සුරිඳුනි
විදු රුවන ලෙස නිති පිදුම් ලන සැණින විසඳුම මනට ගෙන එන
සොඳුරු ගණපති සුරිඳ සිරි ලක නිබඳ සිසු හද අඹරෙ වැජඹෙන
නුදුරු සා පෙළ ලියන පුතු වෙත අපල සිඳ ලන දිවැස යොම මින
අඳුරු බල සිඳ මියුරු කර මන සසර කළ පින පුබුදු කළ මැන