අප්‍රේල් 14 දා රාජ්‍යකාරක රවි මේෂ රාශියට නව ආර්ථික ප්‍රබෝධයක්

අප්‍රේල් 7, 2023

ව්‍යාපාර ක්ෂේත්‍රයට හොඳ කාලයක් උදාවේ

අධ්‍යාපනයේ පවතින ඌනතා අවම කෙරේ

සෞඛ්‍ය අංශයේ දියුණුවක්

 

වසරේ පළමු සූර්ය ග්‍රහණය සුබ නැකැත් ග්‍රහ මාරු සමඟ බක් මස උදාවේ

2023 අපේ‍්‍රල් මස 14 වැනි සිකුරාදා සවස 22 පැයට ලෝක පාලක සූර්ය දිව්‍ය රාජතෙම කුජ හිමි මේෂ රාශිගතව සිංහාසනාරූඪව ඔටුනු පලඳියි. මෙතැන් සිට 2023 මැයි මස 15 වැනි දින දහවල් දක්වා “අස්විද, බෙරණ, කැති පෙද ගන්වා එළු රැස” කීවාසේ කේතු හිමි අස්විද හා සිකුරු හිමි බෙරණ නැකැත් සම්පූර්ණව හා රවි හිමි කැති නැකතේ පළමු පාදයට හසුවන ප්‍රදේශ සම්පූර්ණ වන පරිදි ගමන් කරන බව කිව යුතුවා සේම තත්කාල ග්‍රහ තත්වයද විමසා බලමු. තත්කාල ලග්නය සිංහයයි. 12 වැන්න හිමි සඳු විපරිත යෝග බලය ඇතිව 6 වැන්නේද සෙනසුරු “සස” යෝග සහිතව දිග්බලයෙන් යුතුව සත් වැන්නේ කුම්භ රාශියේද ගුරු විපරීත යෝග බලැතිව අට වැන්නේ මීනයේ නෙප්චූන් සමඟද රවි, මේෂ රාශියේ උච්ච බල සහිතව බුධ හා යුරේනස් සමඟ භාග්‍යස්ථානයේද සිකුරු, වෘෂභ රැසේ කර්මස්ථානාධිපතිව හා අඟහරු 11 වැන්නේ මිථුන රැසෙහි උපචය ස්ථානගතවද සිටියි. තත්කාල ග්‍රහ පිහිටීම් සියල්ලම වාගේ බලවත්ව සිටී. මෙම තත්ත්වයන් ගැන සලකා බැලීමේදී රට වැසියනට ඉතා යහපත් කාලයක් උදාකර දෙන බව කිව හැකිය.

පසුගිය කාලයේ ගත කළ දුෂ්කර ජීවන තත්ත්වයන් යථා තත්ත්වයට පත් කෙරෙමින් රටෙහි සියලු ජන කොටස්වලට සහනය ගෙන දෙන බව පෙනේ. නව ආර්ථික රටාවක් ඇති කෙරේ. ව්‍යාපාර ක්ෂේත්‍රයට හොඳ කාලයක් උදාවේ. අධ්‍යාපනයේ පවතින ඌනතා අවම කෙරේ. සෞඛ්‍ය අංශයේ දියුණුවක් ඇතිවේ. එසේ වුවත් හදිසි මරණ, ජලාශි‍්‍රත මරණ, විපත්, මාර්ග අනතුරුවල අඩුවක් දක්නට නැත. කැබිනට් සංශෝධන සහ නව නීති සම්පාදනය වේ.

මේෂ

පස්වැන්නාධිපති රවි උච්ච ක්ෂේත්‍රව ලග්නයේ ගමන් කිරීම තම අපේක්ෂාවන් බලාත්මක කෙරේ. ආර්ථික තත්ත්වය ඉහළ යයි. අධ්‍යයන කටයුතුවල නිරත වූවන් ඉන් මහඟු ඵල ලබයි. පවුලේ දියුණුව ඇතිවේ.

වෘෂභ

4 වැන්නාධිපති රවි 12 වැන්නේ ගෝචරව හැසිරීම කේන්ද්‍ර හිමියනට ශුභපල දානය කෙරේ. මෙතෙක් අතපසු වූ වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ වේ. ඉඩකඩම් ප්‍රශ්න, නිවාස ප්‍රශ්න විසඳේ. යාන වාහන ලාබද ගෙන දේ.

මිථුන

රවි 3 වැන්න අධිපතිවේ. 10 වැන්නේ දෝෂ භංග කරමින් ගමන් කරයි. විදේශ ගමන් අපේක්ෂා කළ අයට ඒවා ඉටු කරදේ. සිතෙහි යටපත් කරගෙන සිටි කරුණු කාරණා සිද්ධ වේ. ආදායම් තත්ත්වය සතුටුදායක වේ.

කටක

දෙවැන්න අධිපති රවි 10 වැන්න කර්මස්ථානගතව හැසිරීම තම යහපත පිණිසම ක්‍රියාත්මක වේ. මුදල් යොදවා කරන ව්‍යාපාරවලින් වැඩි ලාභ ලබයි. පවුලේ දියුණුව සැලසේ.

සිංහ

ලග්නාධිපති රවි 9 වැන්නේ ධර්මස්ථානගතවීම ඉතා යහපත් වේ. දෙස් විදෙස් සංචාර ගමන් යෙදේ. රැකියා, ව්‍යාපාර, දියුණුූ වේ. භාග්‍යය, වාසනාව ගෙන දේ. අභිමතාර්ථ සපල කෙරේ.

කන්‍යා

12 වැන්නාධිපති රවි විපරීත යෝග බලැතිව අට වැන්නේ ගමන එතරම් නරක නැත. තම සිතැඟි පරිදි කටයුතු සම්පාදනය වේ. පවුලේ වැඩ කටයුතුවලදී ඉවසීමෙන් ක්‍රියා කරන්න. ධාර්මික ජීවිතය වාසනාව ගෙනේ.

තුලා

11 වැන්න බාධක ස්ථානය වුවත් රවි උච්චව සත් වැන්නේ ගමන බාධක මැඩගෙන තම ජීවිත ගමන ගෙන යාමට හැකිවේ. හවුල් ව්‍යාපාර ඇරැඹීමට හැකිවේ. විදේශීය සහ සම්බන්ධතා ඇතිවේ. අභියෝගවලට මුහුණදී ඉදිරිය ගැන සිතා ක්‍රියා කරන්න.

වෘශ්චික

කර්මස්ථානාධිපති 6 වැන්නේ උපචය ස්ථාන ගතවීම තම ඥාති වර්ගයා ගේ ගෞරවාදරයට ලක්ව සාර්ථක ජීවන ගමනකට පමුණුවයි. රැකීරක්ෂා, ව්‍යාපාර දියුණුව ගැන සිතන්න. ලාභ සත්කාර ලැබේ. භූමිය සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය වේ.

ධනු

ධර්මස්ථානය හෙවත් භාග්‍යස්ථානයට අධිපති රවි පස්වැන්නේ බුධ හා එක්ව යාම ධර්මකර්මාධිපති යෝගය ලබා සිටී. මේ කාලය තුළ ධනු ලග්නයෙන් ජනිතවන දරුවන්ටද ධර්මකර්ම රාජයෝගය හිමිවේ. ඒ අය භාග්‍යය ළඟා කර ගනී. උසස් ඉගෙනීමකට ද හිමිකම් කියයි.

මකර

අටවැන්නට අධිපතිකම් කියන රවි 4 වැන්නේ උච්චවීම දිගාසිරි ලැබීමට වාසනාව ළංකර ගනී. ඉගෙනීමෙන් පොහොසත් වේ. පොළව සම්බන්ධ දෙයින් වාසනාව උදාකර ගනී. දැහැමි ජීවිතය අනාගත සිහින සැබෑ කර ගනී.

කුම්භ

සත්වැන්නට අධිපති කියන රවි කුම්භ රැස හිමි ශනිගේ පියා වේ. මේ දෙපළ සතුරු වුවත් දෙදෙනාම බලවත් බැවින් ලාභ සත්කාර පහසුවෙන් ලබා ගනී දැයි තීරණ නොගෙන ජීවිත ගමන සාර්ථක කරගන්න.

මීන

6 වැන්නාධිපති වුවත් ලග්නාධිපතිගේ මිත්‍රයා බැවින් රවි මේෂ රාශි ගතවීම ශුභඵල දානය කරයි. විදේශ ධනය ලබා දේ. ව්‍යාපාර වැඩි දියුණු කර ගනී. තම සහෝදර පක්ෂයටද හිතකර වේ. පවුලේ කටයුතුවලදී සාමය ගැන පළමුව සිතන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.