අද බුධ මේෂ රාශියට

මාර්තු 31, 2023

කුජ-ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි ගුරු බුධ ශුක්‍ර සංයෝගය පංච මහා පුරුෂ යෝග බලයෙන් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි සතරට සස යෝග බලයද ආශ්‍රිතව ඥානකාරක බුධ මේෂයට සංක්‍රමණය විය.

උත්තරායනය වසන්ත සෘතුවෙහි මීන රවි 17 භාග බක්මහේ පුර දසවක තිථිය ලත් බුධ දින මේෂ රාශිය මේෂ නවාංශකය අස්විද 1පාදය පෙරදැරිව පස්වරු 03.12ට ඥාණකාරක බුධ අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය සිද්ධ වන්නේය.

අඟහරු හිමි මේෂ රාශියෙහි සිකුරු ගේ සංක්‍රමණ තත්ත්වය ලග්නගතව ද ශ්‍රී ලාංකේය රවි හිමි සිංහ ජනරජ රාශියෙහි නමවැන්න වූ භාග්‍යය ස්ථානගතවීම මාන්දි ග්‍රහයා ලෙස අඟහරු උදා වීම ද සිකුරු, ලංකා රාශි සටහනෙහි මෙන්ම විශ්ව රාශි සටහනෙහි බාධක ග්‍රහයා ලෙසට ද විසි දෙවැනි මාරක දෙර්කානාධිපති ග්‍රහයා ලෙසටද යෙදීමට අමතරව බුධ සිකුරු සංයෝගය විස්මිත විපර්යාස රැසකට මුහුණ දීමට සිදුවන කාලසීමාවක් රැගෙන එනු ලබන්නේය.

කුජ ශනි උදාරාශි ෂඩ්කෝණ දෘෂ්ටිය තුළින් වැඩ කරන සමස්ත සාමාන්‍ය ජනතාවට සෙනසුරුගෙන් යුක්තිය නීතිය සාධාරණතාවය ඉටුවන බව පෙනේ.

රාජ්‍ය යාන්ත්‍රණ කටයුතු විස්මිත බවකින් ධෛර්යවන්තව සිදුවන කාලසීමාවකි. අභිරහස් කුමන්ත්‍රණ පරාජය කරමින් ඉදිරියට යන බවක් බොහෝ දුරට විද්‍යාමාන වේ.

රවි ගුරු සංයෝගය ආශ්‍රිතව රටේ ජනතාව දේශානුරාගයෙන් පෙරමුණ ගෙන ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් කරයි. දේශපාලන ක්ෂේත්‍රයෙහි ක්‍රියාකාරකම් රැසක් සක්‍රීය වෙනු ලබයි.

බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියාත්මක වීම ගිලිහී ගියහොත් පොදුවේ සමාජ පෙරළියක් දැඩි අයුරින් සිද්ධ වීමට ඉඩකඩ ඇත. මෙම ග්‍රහචාරය ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය.

 

මේෂ රාශිය

බොහෝ දුරට නාමික, නිර්නාමික සොර සතුරු බලවේග සමඟ අනපේක්ෂිතව දැඩි මානසික කම්පන රැසකට මුහුණ දීමට සිදුවෙයි. සමාරම්භක මෙන්ම අතරමග නවතා තිබූ කාර්යභාරයන් තවදුරටත් ප්‍රමාද අවහිර බාධක දුෂ්කරතාවන්ට පාත්‍ර වනු ලබයි. එනිසා කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයකි.

 

වෘෂභ රාශිය

සස යෝග බලැති දහ වැන්න වූ කර්මස්ථානය ශක්තිමත් වීමෙන් ලද ග්‍රහ බලය තුළින් රැකියා, විවාහ, අධ්‍යාපන, උසස්වීම්, විදෙස්ගත වීම් සමඟ පදිංචියේ අසිරිමත් බවක් ද ඉතාම තෘප්තිකර බවක් ද විද්‍යමාන කෙරෙයි. බොහෝ ලැබීම් සහිත ප්‍රීතිමත් කාලයකි.

 

මිථුන රාශිය

අයස්ථානය වූ එකොළොස්වැන්නේ ඥානකාරක බුධ සංක්‍රමණය වීමෙන් ඔබට ප්‍රභූ ජනතාව ඇසුරු කිරීමටත් උසස්වීම්, විජයග්‍රහණයන් ලැබීම සඳහා සුදුසු කාල පරාසයකි. සමාජගත ක්‍රියාකාරකම් අභිබවා ස්වකීය තත්ත්වය ඉස්මතු කෙරෙන කාලයකි. වාසනාව ගෙනෙන කාලයකි.

 

කටක රාශිය

අභිරහස් කුමන්ත්‍රණකාරීන් අභිබවා යමින් තම මානසිකත්වය දියුණු කරගත හැක. ජීවන ගමන් මඟෙහි නවතාවයක්, නව ගමන් මගක් ඔබ කෙරෙහි පිළිබිඹු කෙරෙනු ඇත. උසස් ප්‍රභූ ජනයාගේ මත ඔබගේ මතිමතාන්තර සමඟ බොහෝ දුරට ගැළපෙනු ඇත.

 

සිංහ රාශිය

කොතරම් දුරට ඔබගේ භාග්‍ය වාසනාව දියුණුව කෙරෙහි බාධක හමු වුවද සියල්ල අභිබවා වාසනාවේ රුවන් දොරටුව විවෘත ව ජයග්‍රාහීබවට පාත්‍ර කෙරෙනු ඇත. ඔබගේ දියුණුවට භාග්‍යයට සස යෝග බලය බලපානු පෙනේ.

 

කන්‍යා රාශිය

බොහෝ දුරට දැඩි දුෂ්කරතාවයන් මර්දනය කෙරෙමින් පදිංචි භූමිය නිවාසය ආශ්‍රිත වූ කරුණු කාරණා විජයග්‍රාහී බවට නැඹුරු කරගත හැක. දිගුකාලීන නිර්නාමික-නාමික සොර සතුරු බලවේග රෝගාබාධක පලායනු පෙනී යයි. උත්සාහය උනන්දුව වැඩි දියුණු වෙයි.

 

තුලා රාශිය

යුග දිවිය -සම්බන්ධතා -විවාහය -දරු දැරියන්- අධ්‍යාපනය ආශ්‍රිතව නව පිබිදීමක් සිදුවිය හැක. උසස් ප්‍රභූ ජනයා ඇසුරට ලැබේ. බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියා කිරීමෙන් රැකියා ආදායම් මාර්ග ඉතාම සතුටුදායක කරගත හැක.

 

වෘශ්චික රාශිය

පදිංචියෙහි සුවිශේෂී අලංකාර බවක් ගෙන දෙයි. නවතාවයකින් පදිංචිය ආලෝකමත් වෙයි. රැකියා ආදායම් මාර්ග තැන්පත් ධනය දේපළ වස්තුව දියුණු කරගත හැක. නව ජීවන රටාවකට මානසිකත්වය පෙර⁣ළෙයි.

 

ධනු රාශිය

බොහෝ දුරට සොර සතුරු බලවේග යටපත් වී යයි. දිගුකාලීන වූ සිතැඟියාවන් ඉටුවනු පෙනෙයි. සොර සතුරු බලවේග පදිංචි ස්ථාන තුළින් දූරින්භූත කෙරෙයි. නව සිතැඟියාවන් මල්ඵල ගැන්වෙනු ලබයි. ආදායම් තත්ත්වය යහපත් වෙයි.

 

මකර රාශිය

දේපළ වස්තුව මෙන්ම නිර්මාණශීලී කටයුතු වර්ධනය කෙරෙයි. බාහිර බලවේග මර්දනය වෙයි. රැකීරක්ෂා ආදායම් මාර්ග කෙරෙහි සතුරු බලවේග වර්ධනය විය හැකි බැවින් පරිස්සමෙන් කටයුතු කළ යුතු කාලයකි.

 

කුම්භ රාශිය

දිගුකාලීන අරමුණු සඵල කෙරේ. කෘෂිකාර්මික කාර්මික ක්ෂේත්‍රයන්හි ප්‍රාණවත් බවක් ළඟා කෙරෙයි. ස්ථාවර ක්‍රියාකාරකම්හි සාර්ථකත්වයක් පෙන්නුම් කෙරෙයි.

 

මීන රාශිය

පදිංචි ස්ථානයේ නව ප්‍රතිසංස්කරණ කළමනාකාරණයක් සිදුවෙයි. දියුණුව උදා කෙරෙයි. නව නිර්මාණ දායකත්වයක් පිළිබිඹු කෙරෙයි. සුබවාදී කාලසීමාවක් වෙයි.

 

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.