රවි – මීන රාශිගත වීමෙන් ඇරැඹෙන කෝණ මාසය ඔබට යහපත් ද?

නව නිවාස ඉදිකිරීමේදී අත්හල යුතු කෝණ මාස
මාර්තු 10, 2023

 

රවි ග්‍රහයා හෙවත් සූර්යයා මිථුන, කන්‍යා,ධනු,මීන රාශි වල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. පුරාතනයේ සිටම මෙම කෝණ මාසවලදී නව නිවාස තැනීම ආරම්භ කිරීම, විවාහ මංගල කටයුතු සිදුකිරීම, අසුබ සහගත බව සඳහන් වේ. එයින් නොයෙක් විපත් කරදර ඇති කරන බව ඡ්‍යෝතිෂයේ සඳහන් වේ. පුරාණ මයිමතය හෙවත් ගෙබිම් ශාස්ත්‍රයේ මෙසේ සඳහන් වේ.

 

ධනු රැසට දිවයුරු

ගිය මස ගෙයක් තැනුවර

එගෙයි පැමිණි සොර

දිළිඳු කරවයි ඉසුරු නැතිකර

 

 

 

කෝණ මාස ලබන අයුරු මෙසේය.

ජුනි 15 සිට ජූලි 16 දක්වා රවි, මිථුන රාශියේ ගමන් කරයි. එය මිථුනරවිය වේ. කෝණ මාසයකි. නව නිවාස වැඩ ආරම්භයට සුදුසු නැත. මරණ ආදි කරදර ඇතිවේ. සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා රවි කන්‍යා රාශියේ ගමන් කරයි. එය කන්‍යාරවිය වේ. කෝණ මාසයකි. රෝග පීඩා කරදර ඇතිවේ.

දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා රවි ධනු, රාශියේ ගමන් කරයි. එය ධනු රවිය වේ. කෝණ මාසයකි. නොයෙක් විධියේ හානි පැමිණේ.

මාර්තු 15 සිට අපේ‍්‍රල් 13 දක්වා රවි, මීන රාශියේ ගමන් කරයි. එය මීන රවිය වේ. කෝණ මාසයකි. නා නා විධ භය ඇතිවේ. මේ අනුව මෙහි සඳහන් කෝණ මාසවල අලුතින් නිවාස සෑදීම ආරම්භ කිරීමට, විවාහ මංගල කටයුතුවලට සුබ නැත.

2023 මාර්තු 15 සිට අපේ‍්‍රල් 13 දක්වා පවතින මීන රවිය තුළ පවතින ග්‍රහබලපෑම් අනුව ඒ ඒ ලග්නවලට බලපාන පලාපල මෙසේ සඳහන් කරමු.

 

මේෂ ලග්නය

 

සහෝදර සහෝදරියන්ගේ කටයුතුවලට ඇඟිලි නොගසා කටයුතු කළ යුතුය. උරුම හිමිකම් ආදිය ලැබීමේ වාසනාව පවතී. ඉගෙන ගන්නා අය විනෝද කටයුතුවලින් ඈත්වී කටයුතු කළ යුතුය. නැතිනම් ඉගෙනීම කඩාකප්පල් වේ. ගින්නෙන්, විදුලියෙන් ආරක්ෂා විය යුතුය. හදිසි අනතුරු ගැන සැලකිලිමත් විය යුතුය. වියදම් වැඩිවේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. ලාබ ප්‍රයෝජන ද අත්වේ. සතුරු කරදරවලින් වස්තුව ආරක්ෂා කරගත යුතුය.

 

වෘෂභ ලග්නය

 

ආත්ම ගෞරවය ආරක්ෂා වන ලෙස කටයුතු කළ යුතුª මාසයකි. නඩුහබ සුදුසු නැත. විදේශ ගමන් යෙදුනද ප්‍රතිඵල අඩුවීමට ඉඩ තිබේ. හිතේ තද අදහස් ද ඇතිවේ. වියදම් වැඩිවේ. සෙම් දෝෂ ජලයෙන් අගුණ ඇතිවේ. යම්කිසි දක්ෂ කමක් නිසා ප්‍රසිද්ධියද ඇතිවේ. මවු රටදී කරන රැකියා ආදි කටයුතු දියුණු වේ. නිලතල බලය හිමිවේ. ස්ත්‍රී පක්ෂයෙන් කරදර බාධා ඇතිවේ. අනුන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වීමට ද ඉඩ තිබේ.

 

මිථුන ලග්නය

 

රැකියා කටයුතු කරන කියන කටයුතු සම්බන්ධව යම් යම් දුර්වලතා ඇතිවිය හැක. ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතුය. හිතේ අසහන ගති ඇති විය හැක. ආදායම් ලැබුවත් එය මදි ලෙස හැඟේ. අවුරුදු කාලය වන විට එම තත්ත්වය මඟ හැරී යයි. අනතුරු පීඩාවලින් ආරක්ෂා විය යුතුය.

 

කටක ලග්නය

 

ඇස්වහ කටවහ දෝෂ ඇතිවේ. ස්ත්‍රින්ගෙන් බිය ඇතිවේ. විදේශ ගමන් වන්දනා ගමන් යෙදීමට ඉඩ තිබේ. ව්‍යාපාර වෙළෙඳ කටයුතු කරන අයගේ එම කටයුතු දියුණුූවේ. ආර්ථිකය ස්ථාවර වෙයි. සෙනසුරු දශා තිබෙන අයට අෂ්ටම ඒරාෂ්ටකය පවතී.

 

සිංහ ලග්නය

 

තරමක් අසුබදායක වේ. සතුරු කරදර කුමන්ත්‍රණ නිසා පීඩා ඇතිවිය හැක. දියුණුව අඩුකම පල නොදීම ඇතිවේ. උෂ්ණ රෝග පීඩා ඇති විය හැක. බලාපොරොත්තු නොවූ ලෙස ධනය ලැබීමට ද ඉඩ තිබේ. පොළොවෙන් ලැබීම් මෙන්ම වගා කටයුතුවලින්ද ලැබීම් යෙදිය හැක.

 

කන්‍යා ලග්නය

 

මානසික සහනගති අඩුවේ. හිතුවක්කාර ගතිපැවතුම් කතාබහ නිසා ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ. ව්‍යාපාර කටයුතුවලට බාධා ඇතිවේ. විරුද්ධවාදීකම් යෙදිය හැක. පීනස අර්ශස්වැනි රෝග ඇති අයගේ එම රෝග පීඩා යළි මතුවිය හැක. හිසේ පීඩාද ඇතිවේ.

 

තුලා ලග්නය

 

ප්‍රසිද්ධිය නම්බුව ලබන වැඩ කටයුතුවලට ඉදිරිපත් වේ. වෙනත් කටයුතුවලට ඉදිරිපත්වීමට අදි මදි කරයි. හවුලේ කරන කටයුතු සාර්ථක වේ. ආත්ම ගෞරවයට හානි ඇති විය හැක. උදරගත උෂ්ණ රෝග පීඩා ඇතිවිය හැක.

 

වෘශ්චික ලග්නය

 

ලේ දෝෂ රෝග පීඩා උෂ්ණ රෝග පීඩා යෙදිය හැක. වැටීම් තැළීම් අනතුරු පීඩා ගැන සැලකිලිමත් විය යුතුය. රහස් සතුරු කරදරද ඇති විය හැක. ගමන් බිමන් යෙදේ. බලාපොරොත්තු සාර්ථක නොවීම නිසා හිතේ අසහන ඇති විය හැක. අපහාස ඇතිවීමටද ඉඩ තිබේ.

 

ධනු ලග්නය

 

පලදීමක් ඇතිවන අතර කාරුණික ගුණ යහපත් ගතිගුණ ඇති කරයි. විවිධ අංශ පිළිබඳ දැනුම අවබෝධය ඇති කරයි. සිතුම්පැතුම් අදහස් සාර්ථක වෙයි. කීර්තිය , ප්‍රසිද්ධිය ඇතිවේ. උෂ්ණාධික රෝග පීඩාද යෙදිය හැක. ධනු ලග්නයට රවිගේ ගමන අයහපත් නැත.

 

මකර ලග්නය

 

ධනයට යම්යම් බාධා ඇති වුවත් රැකියා ව්‍යාපාර කටයුතුවල දියුණුව ඇති කරයි. ඇස්වල අමාරු දත්වල රෝග යෙදිය හැක. තම කටයුතු උපාය සහගතව සාර්ථක කරගත හැක. විශාල වැඩ කිරීමට යාමෙන් අපහසුතාවයන්ට පත්විය හැක. අත්වල,කන්වලද පීඩා ඇතිවිය හැක.

 

කුම්භ ලග්නය

 

දුක සැප දෙකම එකසේ විඳ දරා ගැනීමේ ශක්තිය ඇතිවේ. තම කටයුතු සාර්ථකව කරගෙන යා හැක. ගෞරව නිලතල ලැබේ. රැකියා කටයුතු දියුණුූ වේ. ඇස්වල රෝග පීඩා මෙන්ම නිතර නිදිමත ගතිද ඇති විය හැක.

 

මීන ලග්නය

 

තීක්ෂණ බුද්ධිය ඇතිවන අතර, සමාජයට පි‍්‍රයවේ. උසස් අයගේ ආධාර උපකාරයෙන් රැකියා දියුණුව ඇතිවේ. හිතේ ධෛර්ය අඩුවීමට ඉඩ තිබේ. සතුරු කරදර මෙන්ම උෂ්ණාධික රෝග පීඩාද ඇතිවිය හැක.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.