මිථුන-කන්‍යා-ධනු-මීන ලග්න හිමියන්ට නීචභංග රාජයෝග බලය

ලග්න රැසකට සුබපල
මාර්තු 10, 2023

 

බුධ 16 දා මීන රාශි ගත වන විට රවිද එහි පැමිණ සිටියි. ගුරු ග්‍රහයා තම ස්වක්ෂේත්‍ර බල සහිතව මීනයේ ය. බුධට නීච රාශිය මීනයයි. ගුරු මීනයේ බැවින් බුධ ගුරු නීච භංග රාජයෝගයක් උදාකරමින් ලග්න හතරකට මෙම රාජයෝග බලය ලබා දෙයි. මිථුන, කන්‍යා, ධනු, මීන එම ලග්න හතරයි. මාර්තු 31 දක්වා ඉහත ලග්නවලින් ජනිත වන දරු දැරියනට මෙම රාජයෝග බලය ලබාදේ.

මෙම තත්කාල අවස්ථාවේ සිකුරු හිමි වෘෂභ ලග්නයත් වර්ගෝත්තම වෘෂභ නවාංශකයත් උදාව පවතී. තත්කාල ග්‍රහ පිහිටීම මධ්‍යස්ථව තිබේ. රජය අපේක්ෂා කරන විදේශාධාර මාර්තු මස අගදී හෝ අප්‍රේල් මාසයේ දී ලැබීමට නියමිතයි. විදේශ රටවල අනුග්‍රහය ද ලැබේ. අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල සේවා සඳහා අලුත් නීති ක්‍රියාත්මක වේ.

මේෂ

බුධගෙන් හා ගුරුගෙන් යෙදෙන රාජයෝග බලය ජන්මියාට හිතකර වේ. සහෝදර පක්ෂයට එතරම් ශුභ නැත. විදේශ ගමන්වලට හොඳයි. විදෙස් ධනයද ලැබේ. විවාහ මංගල කටයුතු ගැන ද ශුභ ආරංචි ලැබේ. ආදායම් තත්ත්වය ඉහළ යයි.

වෘෂභ

11 වැන්නේ රවි, බුධ, ගුරු යෝගය යෙදේ. ආදායම පිළිබඳව පෙන්වන ස්ථානයයි. මේ නිසා තමා කරන කියන රැකියා දියුණුව ඇතිවේ. වෙළඳ ව්‍යාපාරවලටද ඉතා හොඳයි. එසේම අධ්‍යාපන කටයුතුද තරග විභාග ජයද දියුණුවට පත්වේ. පවුලේ කටයුතුවලදී දෙවරක් සිතා බලා ක්‍රියා කරන්න. ඉක්මන් තීරණ නොගන්න. ඉවසිලිවන්තව තම දියුණුවට ක්‍රියා කරන්න.

මිථුන

ලග්නාධිපති හා හතරවැන්නාධිපති බුධ රාජයෝග සමඟින් 10 වැන්නේ බලවත් වීමෙන් කර්මස්ථානාධිපති හා එක්ව ගමන් කිරීමත් විශේෂිත වෙයි. කලාතුරකින් ලැබිය හැකි මෙම ග්‍රහ පිහිටීමේ බලය මාර්තු 31 තෙක් ජන්මලාභය ලබන දරුවන්ට ද ජීවිතයේ ඉහළ ගමනකට උපකාර වේ. උසස් අධ්‍යාපනයක් ලබා රටේ ප්‍රභූන් අතරට එක් වෙයි. උසස් රැකියා ලැබීමටත් හේතුයි. කලබල නොවී ඉවසිලිවන්තව ඉදිරිගමන සාර්ථක කර ගන්න.

කටක

9 වැන්නේ යෙදෙන මෙම නීච භංග රාජ යෝගය තමාගේ අනාගත සිහින සැබෑ කරවයි. විදේශීය අධ්‍යාපනය පවා ලැබීමට මං පෙත් විවරකර දෙයි. විදේශ ගමන් අපේක්ෂාවෙන් සිටින අයට මේ කාලය ඉතා ශුභයි. අනුන් හා කරන වැඩකටයුතු, යාන වාහන ගමන් පිළිබඳ සැළකිලිමත් වන්න. තම ආගම දහම මූලික කරගෙන ජීවන ගමන සාර්ථක කර ගන්න.

සිංහ

8 වැන්නේ යෝගය යෙදෙන අතර බුධ 11 - 2 අධිපති වෙයි. ගුරු මෙහි විපරිත යෝගයයි. රවි ලග්නාධිපති ය. අට මාරකස්ථානය වුවත් විවාහයෙන් පසුව තමන් ගෙවන ජීවිතය පිළිබඳව ද සැඟවුණ වස්තු ගැන ද පොළොව සම්බන්ධ ලාභ ගැන ද විද්‍යමාන වේ. මේ අනුව තම දියුණුව තමාම සලසා ගත යුතු වේ. තමා අපේක්ෂා කරන ව්‍යාපාර දියුණුව ද සලසා ගත හැකි වේ.

කන්‍යා

සත්වැන්නේ යෙදෙන යෝගය ඉතා ප්‍රබල ලෙස තම ජීවිතය සාර්ථකව ගෙන යාමට මඟ සලසයි. එසේම, බලාපොරොත්තු වන ලෙස ඉගෙනීම ද සපුරාලයි. අන් අයගේ ගෞරවාදරයට පත්වේ. සැලකුම් ලබයි. ආර්ථික තත්ත්වය ඉහළ යයි. උසස්වීම් ලබයි. තරග විභාග ජය ලබයි. හවුල් ව්‍යාපාර දියුණු කරවයි. පවුලේ කටයුතුවලදී ඉවසිලිවන්ත වන්න.

තුලා

6 වැන්න ආශි‍්‍රතව යෙදෙන රාජයෝගය මධ්‍යස්ථ ප්‍රතිපල ගෙන දෙයි. බුධ 9 - 12 අධිපති වේ. මෙහිදී විපරිත යෝග දෙකක් යෙදේ. 6 වැන්නාධිපති ගුරුගෙන් හා 12 අධිපති බුධගෙන් එම යෝග බල ලබාදෙයි. තම ඥාතීන් අතර ප්‍රමුඛතාවය ගන්නා අතරම ප්‍රභූන්ගෙන් සැලකිලි ලැබීමත් අපේක්ෂා කළ හැක. මවුපස ඥාති සංග්‍රහ ද ලැබේ.

වෘශ්චික

5 වැන්නේ යෙදෙන රවි, බුධ, ගුරු යෝගය ප්‍රශංසනීය වේ. තමා බලාපොරොත්තු වන පරිදි දියුණුව කරා පියවර තැබිය හැක. අධ්‍යාපන කටයුතු ඉහළ තලයකට ගෙන යා හැක. පෙර පින් මතුවන කාලයයි. පුණ්‍ය කටයුතුවල නිතර නිරත වීම දිවි ගමනට මහෝපකාරී වේ.

ධනු

රාජයෝග සහිතව 4 වැන්නට බුධ පැමිණීම හිතකර වේ. මෙහිදී යෙදෙන ග්‍රහ බලය තම අපේක්ෂාවන් සපල කරදෙන අතරම ගේ දොර ඉඩකඩම් ලාභ බන්දු මිත්‍රාදීන්ගේ ලාභ ඇතිකරදෙයි. මාර්තු 31 තෙක් උපදින දරුවන්හටද නීච භංග රාජයෝග බලය ලබාදෙයි.

මකර

3 වැන්න වික්‍රමස්ථානයයි. සහෝදර පක්ෂයටද ශුභයි. තම ශක්තිය, සිතේ ධෛර්යය, යොදා දියුණුව ගැන උනන්දු වන්න. අපේක්ෂිත දේ ලෙහෙසියෙන් ඉටුකරගත හැක. විදේශ ගමන්වලටද යහපත් වේ.

කුම්භ

දෙවැන්නට බුධ පැමිණ රාජයෝග බලය ලබාදීම තම පවුල් ජීවිතය සාර්ථකර ගැනීමට පුළුවන් වේ. අපේක්ෂිත පරිදි ධන ලාභ ගෙන දෙයි. අභිමානවත් ලෙස ජීවන රිය පදවාගත හැකිවේ.

මීන

කලාතුරකින් ලැබෙන යෝග බල ශක්තිය අනුව ජීවිතයට සතුට ගෙන දෙන පරිදි ජීවන ගමන් මඟ පිළිසකර වේ. විදේශ සම්පත් ද හිමිවේ. නව සිතුවිලි තම ගමන්මග වෙනස් කරවයි. අලුත් බලාපොරොත්තු සාර්ථක වේ. උසස් අධ්‍යාපනය ලබාදේ.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - වැලිගම

කේ.එච්. ධනපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.