සූර්ය දිව්‍ය රාජතෙම ගුරු හිමි ධනුවට සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයක්

දෙසැම්බර් 9, 2022

සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවලට සුබදායක තත්ත්වයක්

 

කලාවට හිතකාමී අයට කලා ස්ථානවලට අපල දායකයි

 

නළු නිළියන්ට අගුණ කාලයක්

 

ග්‍රහ මඬුල්ලේ රජු රවි ග්‍රහයා ධනු රාශියට පැමිණීම ලබන දෙසැම්බර් 16 වැනි දින සිදුවෙයි. එසේ පැමිණෙන රවි ග්‍රහයා 2023 ජනවාරි මස 14 වැනි දින දක්වා එහි රැඳී සිටියි. ඒ අනුව රවි ග්‍රහයා “මුල, පුවසල, තුරුසල පෙදෙත් ධනු රැස” කීවාසේ කේතු හිමි මුල නැකත කිවි හිමි පුවසල නැකත හා රවි හිමි උත්‍රසල නැකතේ මුල් පාදය යන නැකැත් 09 තුළ ගමන් කරනු ඇත. රවිට ගුරු මිත්‍ර වේ. උපදෙස් ලබා දෙන්නේ ඔහුය. වරද කළවුන්ට දඬුවම් දී මෙහිද නොපැකිළෙයි. තත්කාලය ශනි හිමි මකර රාශිය යි. අංශකය මිථුනයි. තත්කාල ග්‍රහ පිහිටීම ගැන සැලකිලිමත් වීමේදී පැවැසිය හැක්කේ තත්කාල ග්‍රහ පිහිටීම් එතරම් බලවත් නොවනු බවයි. හොඳට වඩා නරක වැඩිවන කාලයකි. කලාවට හිතකාමී අයට, කලා ස්ථානවලට අපල දායක කාලයකි. ඒ අනුව නැටුම්, ගැයුම්, විද්‍යා ස්ථානවලට හානි විය හැකි කාලයකි. නළු නිළියන්ටද අගුණ කාලයක් වන අතර හදිසි මරණ අසන්නට ලැබිය හැකිය. ස්ත්‍රීන්ට ද මෙම කාලය අසුබ පල ගෙන දිය හැක. ස්ත්‍රී මරණ අධික වන කාලයකි. පාරසරික විපත් ඇති විය හැකිය. මේ තත්ත්වය මෙසේ වෙත් දී සෞඛ්‍ය හා අධ්‍යාපනය අංශවලට සුබදායක තත්ත්වයක් ඇති වන බව පෙනේ. සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවලට ආධාර උපකාර මෙන්ම පාසල් උපකරණ, පොත්පත් සඳහා සහන ලැබෙන බවක් පෙනේ.

මේ සමඟම සමාජය දෙස විමසිලිමත් වීමේදී පෙනෙන්නේ මහජන කැලඹිලි විරෝධාකල්පවලටද මේ කාලසීමාවේ ඉඩක් හිමිවන බවයි. විරෝධතා ඇතිවන අතර රටේ වංචාකාරී ප්‍රයෝග ක්‍රියා උත්සන්න වීමේ ඉඩකඩ පවතී. මෙහිදී මහජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයක් වන්නේය. දුම්රිය සේවා, විදුලිය, ආශි‍්‍රත ප්‍රශ්න පැන නැඟිය හැකිය. පතල් කර්මාන්තය හා විශාල ගොඩනැඟිලි ආශි‍්‍රත ඛේදවාචක ඇති විය හැක. මේ නිසා පරිස්සමට මුල්තැන දීම මේ කාලසීමාවේදී කළ යුතුය.

මෙම ග්‍රහමාරුව ඔබේ ලග්නයට කෙසේදැයි විමසා බලමු.

මේෂ

රවි 9 වැන්නට පැමිණේ. ධර්මස්ථානය හා භාග්‍යස්ථානය එහිම වේ. විශාල ලෙස භාග්‍යය ළඟාකර දෙයි. මිත්‍ර රවි ගුරුගේ රාශියේදී තම අභිමතාර්ථ සපල කර දෙයි. ලග්නයේ රාහු ඉවසීමෙන් කටයුතු කිරීමෙන් අශුභපල නොදේ. දරුවකුගේ විදේශ ගමනකට මඟ පාදයි.

වෘෂභ

අට වැන්නට 4 අධිපති රවි යාම තරමක් දුරට ජීවිත ගමන වෙනස් කරවයි. පවුල් ජීවිතයේදී එන මතභේදකාරි තත්වයන් පාලනය කර ගන්න. යාන වාහන ගමන්වලින් පරිස්සම් වන්න.

මිථුන

ලග්නාධිපති සමඟ හා සිකුරු සමඟ රවි යෝගව හත්වැන්නට පැමිණීම නරක නැත. තමා අපේක්ෂා කරන දේ ඒ ආකාරයෙන්ම ඉටුවේ. විවාහ මංගල කටයුතුවලටද යහපති. ආයෝජනාදියට ශුභයි.

කටක

ලග්නපති දෙවැන්නේ හැසිරෙන අවස්ථාවේ හය වැන්නට පැමිණ 2 අධිපති රවි ඥාතීන් අතර ප්‍රසිද්ධියට පත් කරවයි. සෙනසුරුද බලවත්ව හත් වැන්නේ වෙයි. තම භූමිය පිළිබඳව සැලකිලිමත් වන්න. සතුරු උපද්‍රවවලට ඉඩ ඇත.

සිංහ

ලග්නපති රවි 5 වැන්නට පැමිණීම යහපත් වේ. අධ්‍යාපන කටයුතුවලින් ඉහළ ප්‍රතිඵල ලබයි. විදෙස් ධනය ලැබේ. ඇතැම් අවස්ථාවලදී සිත් තැවුල් පීඩා විය හැක. මැදහත් පිළිවෙතින් කල් ගෙවා ජීවිතය සාර්ථක කරගන්න.

කන්‍යා

4 වැන්නට රවි පැමිණේ. ලග්නපති බුධ හා සිකුරු සමඟ ගමන ශුභදායක වේ. විදේශීය සහ සබඳතා ගොඩනඟා ගනී. අලුත් ආර්ථික මාර්ගවලට යහපත්ය. බන්දුමිත්‍රාදීන්ගේ සහයෝගයද ලැබේ. යාන වාහන ඉඩකඩම් සම්බන්ධව ද ඵලදායි වේ.

තුලා

තුන්වැන්න වූ වික්‍රමස්ථානයට රවි පැමිණීම වික්‍රමාන්විතව ජීවන ගමන සාර්ථකව ගෙන යාමට බාධක මැද්දේ වුවද පිටුවහලක් වේ. සහෝදර පක්ෂයේද උදවු ඇතිව දියුණුව සැලසේ. ස්ථානගතව සුළු සුළු දෝෂ මතුවිය හැක.

වෘශ්චික

දෙවැන්නට 10 අධිපති රවි පැමිණීම පවුලේ දියුණුවට ද ආර්ථික ලාභද ගෙන දේ. මුදල් යොදවා කෙරෙන ව්‍යාපාරදී කටයුතුවලින්ද ලාබ වැඩි කෙරේ. පවුලේ කටයුතු ගැන මීට වඩා උනන්දු වන්න.

ධනු

ධර්ම කර්මාධිපති රවි බුධ දෙපළම ලග්නයට පැමිණීම ඉතා ප්‍රශස්ථනීයයි. ප්‍රභූවරුන්ගේ ලාභ සත්කාර හිමි වේ. ගරු සැලකිලි ලැබේ. සිතුම් පැතුම් සපල වේ. මෙතෙක් අවිවාහකව සිටියේ නම් මංගල කටයුතුවලටද මංපෙත් විවර වේ.

මකර

ලග්නපති ශනි ලග්නගතව සිටිය ද 12 වැන්නේ රවි ගමන නරක නැත. රවි විපරීත යෝගයි. විදේශ ගමන්ද, විදේශ ධනය ලැබීමට ද හේතුයි. ආර්ථික තත්ත්වය දුර්වල වීමටද ඉඩ තිබෙන්නේ තම ආත්මාර්ථකාමී බව නිසාමයි. වැරැදි වැඩ නොකොට සිටියොත් ගමන සාර්ථක වේ.

කුම්භ

11 වැන්නේ ගමන් මාර්ගය යහපත් වේ. සිතාගෙන සිටින කාරණා මුදුන්පත් වේ. විදේශ ගමන්ද හොඳින් කෙරේ. දැඩි ලෝභය අත්හැර තම දියුණුව පිණිස ක්‍රියා කරන්න. මුදල් යොදවා කරන ව්‍යාපාරාදියෙන් දියුණුවේ.

මීන

මිත්‍ර රවි 10 වැන්නේ දිග්බල සහිතව තම දියුණුව පිණිස වැඩ සලසාලයි. රැකියා දියණුව මෙන්ම උසස්වීම්වලට ද හේතුයි. නව ව්‍යාපාරාදියෙන් පොහොසත් වේ. උසස් අයගේ කීර්ති ප්‍රශංසා ලැබේ.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - වැලිගම

කේ.එච්. ධනපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.