2022 අවසන් මොහොතේ බුධ - සිකුරු අධිවේගී ගමන් මඟක වනිතාවන්ට සුබපල රැගෙන

දෙසැම්බර් 2, 2022

බුධ-සිකුරු ධනු රාශි ගතවෙයි

ග්‍රහ මාරු රැසක් ග්‍රහ යුද්ධයක් වසරේ අවසන්

කෝණ මාසයක උදාව සමඟ උඳුවප් මස ඇරැඹේ

 

කුජ සිකුරු පරිවර්තන යෝගය

කුජ චන්ද්‍ර ෂඩ්කෝණ දෘෂ්ටි යෝගය

ගුරු චන්ද්‍ර ගජකේෂරී යෝග බලය

කුජ චන්ද්‍ර මංගල යෝගය

කුජ ශුක්‍ර පරිවර්තන යෝගය

රාහු, කේතු අර්ධ කාල සර්ප යෝගය

කුජ දීප්ත යෝගය ජන්මීන් හට ලබා දෙමින් බුද්ධි කාරක බුධ ග්‍රහයා 03 වැනිදාත් රසකාමී සිකුරු ග්‍රහයා 05 වැනිදාත් ධනු රාශියට පිවිසෙයි. මේ ග්‍රහගෝචරයට අනුව වනිතා පාර්ශ්වයට වාසනාවන්ත සුබපල අත්විඳිය හැකි කාලයක් උදා වන්නේ ය.

ධනු රාශිය මේෂ නවාංශකය මුල නැකත 01 පාදය ආශි‍්‍රතව දෙසැම්බර් 03 වැනි සඳු දින පෙරවරු 06.47 ට ඥානකාරක බුධ ග්‍රහයාත් 05 වැනි දා පස්වරු 05.58 ට සිකුරු ග්‍රහයත් සුරගුරු හෙවත් බ්‍රහස්පති හිමි ධනු රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මෙකී මොහොතෙහි ශ්‍රී ලාංකේය ජනරජ සිංහ රාශි ග්‍රහ සටහන ද විශ්ව රාශි සටහන වූ සෙන්පති කුජ හිමි මේෂ රාශි සටහන ද සමානුකූලව විමර්ශනයට ලක් කිරීම කාලීන වෙයි.

මෙම ග්‍රහ ගමනට අනුව සමාජය වෙලාගෙන පැවැති දැඩි නොසන්සුන්කාරී පෙරළිකාරී තත්ත්වයන් හා චින්තනමය තත්ත්වයන් ඉදිරියේ දී යටපත් වී යන බවක් විද්‍යාමාන වන්නේ ය. අර්ධ කාල සර්පයෝගය ආශි‍්‍රත කුජ දිප්ත යෝගය ද ප්‍රශස්ත මුහුණුවරකින් සමාජතලයේ උන්නතිය කෙරෙහි සාධනීයව බලපානු ලබන බව පෙනේ.

මෙම කාලසීමාවේ දී මකර, මේෂ, කටක, තුලා යන ලග්නවලින් උපත ලබන ජන්මීන් හට ශනි ස්වක්ෂේත්‍රබල සස යෝගය ද මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට බ්‍රහස්පති ස්වක්ෂේත්‍ර බල ගුරු හංස යෝගය ද උදාවන්නේ ය.

රවි හිමි සිංහ ජනරජ කේන්ද්‍ර රාශි සටහනට අනුව අඟහරු හිමි වෘශ්චික රාශි උදාවෙහි දී රවි සිකුරු සංයෝගය ලග්න ගතවීමෙන් අධි රසකාමී සම්පත් පහළවන කාලයක් උදාවෙන බව විද්‍යාමාන වෙයි. පරිවර්තන යෝග බලය පංච කාම සැප සම්පත් කෙරෙහි පොදු ජනතාව අසීමිත ලෙස ලොල්වීමට පෙළඹවීමක් ඇතිකරවන බවක් ග්‍රහණය වෙයි. ඒ අනුව මත්පැනට, මත්ද්‍රව්‍ය සඳහා ද තරුණ පරපුර වැඩි වශයෙන් නැඹුරු විය හැකි කාලයක් උදාවිය හැක. එයින් සමාජයේ මතභේද ආරවුල් ගැටුම් මෙන්ම මානසික පීඩාවන් ද මේ කාල සීමාවේ ඇති විය හැකි බව සිහිතබා ගත යුතු වේ. එනිසා ඒවායින් දුරස්ව කටයුතු කිරීම මැනවි. මාධ්‍යයේ මැවෙන ශෲංගාරාත්මක දසුන් කෙරෙහි, ආදර බන්ධන, අසම්මත බැඳීම් කෙරෙහි ද අසාමාන්‍ය ලෙස සමාජයේ යම් යම් කොටස් නැඹුරුවීමට මේ කාලසීමාවේ ඇති ඉඩකඩ වැඩිය. එනිසා යෞවන යෞවනියන් පිළිබඳ වඩා සැළකිලිමත් විය යුතු ය.

එලෙසම, විශ්ව මේෂ රාශිය හිමි කේන්දර සටහනෙහි 08 වැන්න වූ මෘත්‍යු ස්ථානගතව ද රසකාමී සම්පත් ලැබීම් ආශි‍්‍රත සමාජ ආකර්ෂණයක් ගොඩනැඟීමට හේතුවන කරුණු කාරණා ඇතිවන බව පෙනේ. කාව්‍යකරණය, කෙටිකතා, නවකතා ඇතුළු සාහිත්‍ය කටයුතු නැවුම් බවකින් යුතුව සමාජගතවන කාලවකවානුවක් බව පැවැසිය හැකිය. වත්මන් ශ්‍රී ලාංකේය රාජ්‍ය තන්ත්‍රය ද මහජන හිතසුව පිණිස වඩාත් නැඹුරුව කටයුතු කරන කාලවකවානුවක් වන බවද පැවැසිය හැකි ය. අධිකරණය, අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන් හි දියුණුවේ සක්‍රීය බවක් ඇතිවේ. ඒ සඳහා පහසුකම් හා සුබසාධනය හිමිවන කාලයකි. මේ අතර කාන්තාවන්ට සුබ කාලයක් උදාවනවා ඇත. ඔවුන් පිළිබඳ සුරක්ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය වනු ඇත. නමුත් රවි සිකුරු මහ දශා අතුරු දශා ගෙවමින් සිටින්නා වූ වනිතාවන් ආශි‍්‍රතව විවාහක අඹුසැමියන් අතර මතභේද, ආරවුල්, පෙම්සබඳතා බිඳවැටීම් මෙන්ම හිත් අමනාපකම් බලපෑ හැක්කේ රවි සිකුරු සංයෝගය ආශි‍්‍රතවය. එනිසා ඔවුන් ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි.

කොටින්ම කියතොත් බැරෑරුම් ලෙස ගෙවී ගිය ජීවිතවලට යම් ආකාරයක සහනදායී කාලයක් උදාවේ. නීතිගරුක පාලනයකට අඩිතාලම වැටෙන කාලයක්. ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට අවශ්‍ය පසුබිම ශක්තිමත් වීමද සිදුවේ. අනාගතය පිළිබඳ නිවැරැදි තීන්දු තීරණ ගත හැකි වේ. ජනතාව ද උද්‍යෝගිමත්ව කටයුතු කිරීමට පෙළඹේ. බලවත් රටවලින් උදව් උපකාර ලැබෙන කාලයකි. ජනතාව ඥානවන්තව කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලද හැකිවේ. මෙම තත්ත්වය ඔබේ ලග්නයට බලපාන්නේ මෙලෙසයි.

මේෂ - සිංහ ජනරාජ රාශි කේන්දරයට අනුව අඟහරු හිමි මේෂ රාශි හිමියන්ගේ පෞද්ගලික හෝ පොදු ජීවන රටාව මානසික පැවැත්ම දුර්වල කෙරෙන කාලයෙකි.

වෘෂභ - සිදුකරනු ලබන ක්‍රියාකාරකම්හිදී බොහෝ දුරට දූරදර්ශීව අවබෝධ ඥාණය විහිදුවා ක්‍රියාත්මකවීම කළ යුතුය. ආරම්භක කාර්ය භාරයන් දියුණුවට පාත්‍ර කරගත හැක.

මිථුන - හැකිතාක් දුරට ස්වකීය මනෝකාය ආශි‍්‍රතව තැම්පත් සංවේදශීලී පසුබිමකට නැඹුරුවීම උසස් ජීවන දර්ශනයකට ඒකායන ජය මාර්ගයකි.

කටක - රැකියා ආදායම් මාර්ග අභිරහස් කුමන්ත්‍රණ ඇතුළුව ශාරීරික හදිසි ආපදා විපත්ති කෙරෙහි දැඩි අවධානය යොමුවිය යුතු කාල පරාසයකි.

සිංහ - සබඳතා, අධ්‍යාපනය, දූදරු ප්‍රශ්න ගැටුම් නිර්මාණය විය හැක. උදරාබාධ, කොන්ද තුටිය ආශි‍්‍රත රෝගාබාධාදියෙන් පීඩාවිය හැකි කාලයකි. මේවායින් දුරුවීම ශුභවාදී වෙන්නෙකි.

කන්‍යා - බොහෝ දුරට කාලයක් විඳි අසීමිත වද වේදනා දුරස්ථවෙන කාලයකි. සිතැඟියාවන් ආශි‍්‍රතව සැනසුම සතුට ලැබෙන්නෙකි.

තුලා - මානසිකව විඳදරාගත් බහුවිධ සංහිඳියාවෙන් ප්‍රාණවත්ව සක්‍රීයවත්ව ක්‍රියා කරනු ලබන කාලයකි. දූරදර්ශීව, බුද්ධිමත්ව අරමුණු ක්‍රියාත්මක කළ යුතුව ඇත.

වෘශ්චික - නොසන්සුන් බවෙන් ද පසු නොබසින ක්‍රියාකරකම්හි නියැළීමෙන් ජීවිතය දිනන ඉදිරිකාලීන හැඟීම් සාර්ථක කෙරෙනු ඇත.

ධනු - මන්දගාමීව පැවැති බොහෝ කරුණු කාරණා ඉටු කර ගත හැකිවේ. සියලු අභියෝගයන් මැඩගෙන ඉදිරියට යා හැකි කාලයකි.

මකර - නිර්මාණශීලී බොහෝ සේවාවන් ක්‍රියාත්මක කිරීමට උත්සාහය, උනන්දුව ඇති කරගනු ලබයි. ජීවිතය නැවුම්බවකින් යුතුව ප්‍රාණවත්ව ගෙවී යන කාලයකි.

කුම්භ - තිරසාර හැඟීම් බොහෝ දුරට සාර්ථක බවක් පෙන්නුම් කෙරෙයි. අසාමාන්‍ය ක්‍රියාකාරකම් අත් හරියි. අනාගතය ජය ගැනුමට සැලැසුම් ක්‍රියාත්මක වෙයි.

මීන - පදිංචි නිවාස ආයතන රැකියා සේවා ස්ථාන ආශි‍්‍රත සතුටුදායක බවක් පෙනී යයි. උත්සාහය, උනන්දුව තීව්‍ර වේ.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.