ගුරු මීනයේ නිවෘත වීමෙන් ලග්න පහකට වාසනාව සහ සෞභාග්‍යය

නොවැම්බර් 25, 2022

2022.11.24 දින මෙතෙක් වක්‍රව මීන රාශියේ ගමන් කළ ගුරු ග්‍රහයා නිවෘත වේ. ගුරු වක්‍ර වූයේ ලංකා කේන්ද්‍රයේ 2 වැන්නේය. එය ධනස්ථානයයි. ගුරු ග්‍රහයා නිවෘතවීමත් සමඟ ලග්න දොළොසෙන් ලග්න පහකට වාසනාව හා සෞභාග්‍යය උදාවනු ඇත. ඒ අනුව මේෂ, මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට සුබදායක වාසනාවන්ත කාලයක් උදාවෙයි.

ලංකාවේ භාණ්ඩාගාර ක්ෂේත්‍රයට ගුරු නෑකම් කියයි. භාණ්ඩාගාරයේ යතුර ඇත්තේ ගුරු සතුවය. ගුරු නිවෘත වීමෙන් මූල්‍යමය ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකිවේ.

විදේශීය මූල්‍ය ආයතන කෙරෙහි විශ්වාසයෙන් යුතුව ක්‍රියා කිරීමට ශ්‍රී ලාංකික පාලක පක්ෂ පෙරමුණ ගත් බව සැබෑය. එම ක්‍රියාදාමයන් හා සම්බන්ධව ගිවිසුම්වලට එළැඹීමත් ගුරු නිවෘතයෙන් පසු සිදුවේ. රටේ අපේක්ෂිත ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. එසේ වුවද ආදායම් බදු බර සාමාන්‍ය ජනතාවට ද දරාගත නොහැකි වේ. වෙළෙඳ ව්‍යාපාර නව ක්‍රමෝපායයන් මාර්ගයෙන් දියුණු කිරීමට මං පෙත් විවර වේ. කෘෂි කර්මාන්තයේ නවීකරණයක් සිදුවේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෙනස්වීම් ඇතිවේ.

මුහුදු යාත්‍රාවන් නිසා සිදුවන අයහපත් දූෂිත ක්‍රියා කරන්නවුන්ට නාවුක අංශවලින් ගැලවිය නොහැකිවේ. ජලාශි‍්‍රත ස්ථානවල ගැවසීමෙන් වළකින්න. දියේ ගිලීම් නිසා සිදුවන මරණ සංඛ්‍යා ඉහළ යන අතර විරෝධතා, වැඩ වර්ජනවල අඩුවක් නොපෙනේ. ස්ත්‍රි හා ළමා මරණ වැඩි වේ.

ගුරුගේ නිවෘතය ලග්නවලට බලපාන්නේ මෙලෙසයි.

මේෂ

ගුරු 1 -12 අධිපති වේ. 12 වැන්න වූ මීනයේ නිවෘත වීම සිදුවේ. අන් අය සමඟ ගිවිසාගත් පරිදි ආදායම් තත්ත්වය ඉහළ යයි. පවුලේ කටයුතු සම්බන්ධව ඉවසිලිවන්තව ක්‍රියා කරන්න.

වෘෂභ

11 වැන්නේ නිවෘතවීම සිදුවේ. ආදායම් මාර්ග සරු භාවයට පත්වේ. වැය පසද ඉහළ යයි. හදිසි මාර්ග අනතුරු විය හැකිය. සහෝදර පක්ෂ සමඟ ගැටීම් ද විය හැකිය.

මිථුන

කර්මස්ථාන ගතව නිවෘතය සිදුවේ. රැකි රක්ෂාදි කටයුතු වෙනසක් වේ. මුදල් ගනුදෙනුවලදී පරිස්සම් වන්න. අලුත් විවාහ යෝජනා ඇතිවේ.

කටක

ගුරු 6-9 අධිපති වේ. භාග්‍යස්ථානයේ සිදුවන නිවෘත වීම ශුභඵල දානය කරයි. තමා අපේක්ෂාකරන දේ ඒ ආකාරයෙන්ම ඉටුවේ. දැහැමි ජීවිතයට අවතීර්ණ වීමෙන් වඩාත් ශුභපල ලබාදේ. විදේශ ගමන්ද ක්‍රියාත්මකයි.

සිංහ

පස්වැන්න අධිපති වුවත් අට වැන්න මාරකස්ථාන යට ද ගුරු නියෝජනය වේ. අපේක්ෂිත ආදායම් සරු වුවත් වැයපස ද ඉහළයයි. ඥාතීන් සමඟ වුවත් ඕනෑවට වඩා සබඳකම් පැවැත්වීම සිත් තැවුලට හේතුවේ. දරුවන් ගැන දක්වන සැලකිල්ල වැඩිවේ.

කන්‍යා

4-7 ස්ථාන අධිපති ගුරු බාධක ග්‍රහයා වුවද පවුල් ජීවිත පිළිබඳ දෙවරක් සිතා බලා කටයුතු කරන්න. විදේශ ගමන් අපේක්ෂා කරන්නේ නම් ඒවා ඉටුවේ. මුදල් යොදවා කරන වෙළඳ ව්‍යාපාර දියුණු වේ.

තුලා

3 -6 අධිපති ගුරු ලග්නාධිපති සිකුරු හා එතරම් සබැඳියාවක් නොමැත. සහෝදර කාරකාදීන්ගේ ප්‍රශ්නවලට මැදිහත් නොවන්න. තම ඥාතීන්ම තමාට විරුද්ධව නැඟී සිටී.

වෘශ්චික

2-5 අධිපති පස්වැන්නේ නිවෘත වේ. පවුලේ කටයුතුවල දියුණුවක් ඇතිවේ. තරඟ විභාග ජය අත්වේ. උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳිය හැක.

ධනු

ලග්නාධිපති 4 වැන්නේ නිවෘත වේ. ඉඩකඩම් ප්‍රශ්නවලට නිසි විසඳුම් ලැබේ. පදිංචි ස්ථාන වෙනස් වේ. අපේක්ෂිත පරිදි දියුණුව ලැබේ. දැහැමි ජීවිතයකට යොමුවන්න.

මකර

විදේශ ගමන් අපේක්ෂා කළේ නම් එය ඉෂ්ඨ වේ. අලුතින් යමක් ආරම්භ කිරීමට අදහස් කළොත් එය වාසිදායක වේ.

කුම්භ

ආදායම් තත්ත්වය ඉහළ යයි. මුදල් ආයෝජන වලට හොඳයි. පවුල් ජීවිත සමාදාන වේ. නව ආර්ථික මාර්ගවලින් ලාභ ලැබේ.

මීන

කර්මස්ථාන අධිපති ලග්නයේ නිවෘත වේ. තම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුකර ගත හැකිවේ. සිතට සහනයක් ගෙනේ. රැකියා උසස්වීම් වලටද හේතුයි.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - වැලිගම

කේ.එච්.ධනපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.