පූර්ණ චන්ද්‍රග්‍රහණය රටට සුබවාදී වෙයිද?

නොවැම්බර් 4, 2022

පංචශීල ප්‍රතිපත්තියේ යෙදිය යුතු කාලයක්

ජයග්‍රහණ පතා බාරහාර වීම සුබදායක වෙයි

අළුයට ගිනි මතුවන කාලයක්

 

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ග්‍රහ යුද්ධයක්  ග්‍රහ මාරු රැසක් සමඟ  ඉල් මස ඇරැඹේ

නොවැම්බර් 8 කුජ දින මේෂ රාශිය - බෙරණ - 03 පාදය ආශ්‍රිතව පස්වරු 4.30ට මීනයෙහි ඇතිවන පූර්ණ චන්ද්‍ර ග්‍රහණයෙන් අළු යට ගිනි පුපුරු මතුවන විපරිත කාලයක් උදාවනු ඇත.

මෙම අවස්ථාවේ වක්‍ර ගුරු උදා මීන රාශියේ ස්වක්ෂේත්‍රව ද යෙදී ඇත. 8 වැන්න වූ මෘත්‍යු ස්ථානය රවි බුධ ශුක්‍ර කේතු සංයෝගයකි. දෙවැන්න වූ ධනස්ථානගත චන්ද්‍ර රාහු යුරේනස් මෙන්ම 11 වැන්න වූ අයස්ථානය ද දුර්වලය. මේ අනුව ආකූල ව්‍යාකූල බවක් මීන උදා රශිය පුරාවට පෙන්නුම් කෙරෙයි. මෙම තත්ත්වය රටට හිතකර බවක් නොපෙන්වයි. ආර්ථික අර්බුද ඇති විය හැක. නාමික,නිර්නාමික සොර සතුරු බලවේග- ළමා අපචාර තීව්‍ර විය හැක. අධ්‍යාපන සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. වසංගත රෝග ඇතිවිය හැක. ජලාශ සාගර කැළඹීම් ඇති විය හැක. නිෂ්පාදනාගාර මෙන්ම කාර්මික කටයුතු ද අඩාල විය හැක. මේ නිසා රටේ ජනතාව හදිසි තීන්දු තීරණ තුළින් දුරස්ථ විය යුතුයි. කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී

කොත්මලේ

විජිත ඩී. ලියනආරචිචි

 

8දා ඇතිවන චන්ද්‍රග්‍රහණය සූර්ය ග්‍රහණය තරම් සැර නැති වුවත් හා ග්‍රහණය පැවති කාලසීමාව අනුවද වෙනස් වේ. සූර්ය ග්‍රහණය අමාවක පොහොය මුල් කරගෙන ද චන්ද්‍ර ග්‍රහණය පසළොස්වක පොහොය මුල්කරගෙන ද සිදුවන අතරම ඉන් ලැබෙන ප්‍රතිඵල ද වෙනස් වේ. පසළොස්වක පොහොය ලබන අවස්ථාවේ තත්කාල ග්‍රහ තත්ත්වය විමසා බලමු. ලග්නය මීන, නවාංශකය කුම්භ, වක්‍ර ගුරු ලග්නයේ සිටින අතර දෙවැන්නේ යුරේනස් හා සඳු, 4 වැන්නේ කුජ ද 8 වැන්නේ රවි, බුධ, සිකුරු ද 11 වැන්නේ සෙනසුරු හා 12 වැන්නේ නෙප්චූන් ද සිටී. ලග්නයේ ගුරුගේ වක්‍රය අශුභවාදී වේ. ආර්ථික තත්ත්වය අහිතකරාත්මක වන බවක් පෙනේ. අපේක්ෂිත, ඉලක්ක කරා යාම අපොහොසත් වේ. විදේශාධාර ලැබීමද පමා වෙයි. ජනතාව තව තවත් අසීරුතාවන්ට පත්වේ. ආර්ථික උද්ධමනය උසුලාගත නොහැකි වේ. කෘෂි කර්මාන්තයත් නඟා සිටුවීමට බාධා, අපහසුතා ඇතිවේ. පාරිසරික විපත් වැඩි වේ. ජල ගැලීම්, භූ චලන, ගොඩනැඟිලි හානි ස්ත්‍රී හා ළමා මරණ අසන්නට ලැබේ. කාන්තාවන් සම්බන්ධ විවිධ කාරණා අකටයුතුකම් සමාජගතවන බවක් ද පෙනෙන්නට ඇත. ප්‍රභූ මරණ හා දිවිනසා ගැනීම් පිළිබඳව වාර්තාවේ. විවිධ චෝදනාදියට ලක් වූවනට දැඩි නීති යටතේ දඬුවම්. පාලක පක්ෂයේ අය පාලකයින්ටම විරුද්ධව ක්‍රියා කිරීමට පසුබට නොවේ. මේ ආදී කරුණු නිසා ජනතාව වඩ වඩාත් පින් දහම් කිරීමට මෙන්ම පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා ක්‍රියා කළ යුතු කාල වකවානුවක් වේ.

 

චන්ද්‍රග්‍රහණය - ලග්නවලට

මේෂ - ග්‍රහණ සඳු යුරේනස් හා රාහු සමඟ ලග්නයේ සිටී. සඳු ලග්නයේ බලවත් වුවද යුරේනස් හා එක්ව සිටීම අපේක්ෂිත දේ හරියාකාරව ඉටුකර ගැනීමට අපහසු වේ. මවුපස ඥාතීන්ට හිතකර නැත. ඉඩකඩම් ප්‍රශ්න ඇතිවේ.

වෘෂභ - 12 වැන්නේ යෙදෙන බැවින් අනුන් හා සිදු කරනු ලබන වැඩ කටයුතුවලින් අලාභ පාඩු සිදු කර ගැනීමට සිදුවේ. අලුත් ආදායම් මාර්ග ගැන සිතයි. විදෙස් ගමන් ගැන සිතන්න.

මිථුන - 11 වැන්න අයස්ථානයේ යෙදෙන ග්‍රහණය තම ආර්ථික තත්ත්වයන් ගැන දෙවරක් සිතන්න. අයපස හීනවීමට ඉඩ ඇත. වෙනත් දේ සම්බන්ධව මුදල් වියදම් වේ.

කටක - 10 වැන්න කර්මස්ථානය ආශි‍්‍රතව ග්‍රහණය සිදුවේ. රැකියා කටයුතු ඇනහිටීමට පුළුවන. ස්ථාන මාරුවීම් ද යෙදේ. නමුත් අපේක්ෂා කරන කටයුතු හා විදෙස් ගමන් සිදුවේ.

සිංහ - 12 වැන්න අධිපති මිත්‍ර සඳුගේ ග්‍රහණය ශුභඵල දීමට කල්ගත වේ. භාග්‍යස්ථානයේ යෙදේ. ග්‍රහණයෙන් සඳු පීඩා වේ. පින් දහම් කටයුතුවල යෙදීම වඩා සුදුසුයි. ජයග්‍රහණ පතා භාරහාර වීම හොඳයි. පංචශීල ප්‍රතිපත්තියේ යෙදෙන්න.

කන්‍යා - 8 වැන්න මාරක ස්ථානය වුවොත් ග්‍රහණ පල උත්සන්න වේ. ආර්ථිකය කඩා වැටේ. පවුල් ජීවිතය ද අවුල් වේ. ඉතා ඉවසීමෙන් යුතුව කාර්යයන් ඉටුකරගන්න. ශාරීරික පීඩා ද විය හැක.

තුලා - සත්වැන්න විවාහක ස්ථානයයි. යුග දිවියට බාධා වේ. තම හවුල්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ දී සැලකිලිමත් වන්න. චිත්ත පීඩා, මානසික පීඩාදියට ගොදුරු විය හැක. විදේශ ගමන් ගැන සිතන්න.

වෘශ්චික - 6 වැන්නේ දී සිදුවන චන්ද්‍ර ග්‍රහණය තම දියුණුවට බාධා පමුණුවයි. ඥාතීන් සමඟ වාද භේද සාදා ගනී. ලැබීම්වලට තිබූ මාර්ග වැසී යයි. පසු දිනෙක වාසනාව ධන ලාභ ඇති වේ. උත්සාහය අත් නොහරින්න.

ධනු - අට වැන්න මාරකස්ථානය අධිපති ග්‍රහණය 5 වැන්නේ යෙදේ. අධ්‍යාපනය ලබන දරු දැරියන්ට තම උත්සාහයන් මුදුන් පමුණුවා ගැනීම්වලට අසීරුතා ඇතිවේ. අභියෝගවලට මුහුණ දෙන්න පෙර පින් ළඟාකර ගැනීමට සතරවරම් දෙවිඳුට පූජා පවත්වා පින් දෙන්න.

මකර - 4 වැන්නේ ග්‍රහණය සිදුවේ. ඉඩකඩම්, යානවාහන ප්‍රශ්න ඇති වේ. ඇතැම් විට නඩුහබ මාර්ගවලටද පත් කරයි. අපේක්ෂිත දියුණුවට බාධා සතුරු කරදරද ඇතිවේ.

කුම්භ - සතුරු ස්ථානයට අධිපති සඳුගේ ග්‍රහණය 3 වැන්න ආශි‍්‍රතව සිදුවේ. සිතට වදදෙන කරුණු කාරණා යෙදේ. සහෝදර පක්ෂය සමඟ ද ආරාවුල් හට ගැනීමට ඉඩ ඇත. ආත්ම ශක්තිය හීන වේ.

මීන - දෙවැන්නේ දී මිත්‍ර සඳුගේ ග්‍රහණය සිදුවේ. තැන්පත් ධනයටද හෙනහුරා ලබයි. පවුල් ජීවිතය පිළිබඳ කනස්සලු ස්වභාවයක් පෙනේ. යම් යම් කාර්ය සඳහා මුදල් යෙදවීමට සිතුවද දෙවරක් ඒ ගැන සිතා ක්‍රියා කරන්න. වඩාත් පින් රැස්කර ගන්න උත්සාහ කරන්න.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - වැලිගම

කේ.එච්. ධනපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.