මාර්තු 21 බුධ-ගුරු සටනින් ගුරු ජය ගනී සියලු කටයුතු සඳහා සුබ නැකැතක්

මාර්තු 11, 2022

කලාතුරකින් උදාවෙන සුබ මුහුර්තයක් අපේ‍්‍රල් මාසයේ උදාවේ. එනම් 2022 අපේ‍්‍රල් මස 06 වන බදාදා දින පෙරවරු 9.10 ටය. උතුරු දිශාව බලා සියලු සුබ කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ළඟාකරගත හැක. විශේෂයෙන් දරුවන්ට අකුරු කියවීමට, බත් කැවීමට, කන්විදීමට, හිසකෙස් කැපීමට සුබ වන අතර තවත් බොහෝ කටයුතු වලට සුබයි. ඉතා අගනා සුබ මුහුර්තයක් එදින දින ශුද්ධියෙන් යුත් දිනයක රෙහෙණ නැකැතක් පුර විසේනිය තිථියත් යෙදී ඇත.

 

 

රාශි වළල්ලේ දොළොස් ග්‍රහයින් අතරින් ප්‍රධාන මෙන්ම පෘථිවි වාසී අපට ඉතා ආසන්න ග්‍රහ තාරකා දෙකක් වන බුධ හා ගුරු යන ග්‍රහයින් දෙපළ සංයෝග වීමක් හෙවත් ග්‍රහ යුද්ධයක්, 2022 මාර්තු මස 21 වන සඳුදා දහවල් 11.36 ට සිඳු වීමට නියමිතය.

ඒ අනුව යම් ග්‍රහයින් දෙදෙනකු එකම රාශියක එකම අංශකයක් තුළ ගෝචර වශයෙන් ගමන් කරන විට එම එක් ග්‍රහයකුගේ කිරණ වළල්ලට අනෙක් ග්‍රහයා ආවරණය වීම අප ඡ්‍යොතිෂයේදී සරලව ග්‍රහ යුද්ධයක් ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී ජයග්‍රහණය හිමි වන්නේ යුද වදින ග්‍රහයින් දෙදෙනාගෙන් උතුරින් සිටින ග්‍රහයාටය.

මෙම සංසිද්ධියෙන් පරාජයට පත්වන ග්‍රහයා අසුබ කිරණ විහිඳුවන සුබ බලයෙන් ඉතාමත් අඩු දුර්වල ග්‍රහයකු ලෙස ඡ්‍යොතිෂයේදී සලකනු ලබනවා. ඒ අනුව එවන් වූ ග්‍රහ යුද්ධයක් අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් අතරින් ග්‍රහ ලොව සුබ ග්‍රහ ලොවක් වන බ්‍රහස්පති හෙවත් ගුරු හා කුඩාම ග්‍රහ ලොවක් වන බුධ ග්‍රහයා අතර සිදුවීමට නියමිතය. බුධ හා ගුරු ග්‍රහ මණ්ඩලයේ අතිශයින් ප්‍රබල ග්‍රහ යුගලකි.

මෙම ග්‍රහ යුද්ධයෙන් බුධ පරදා ගුරු ජය ගනු ඇත. එසේම ගුරු ගේ ජයෙන් ගුරුගෙන් නියෝජනය වන අංශවලට සුබ බලපෑම් එල්ල වීමේ ප්‍රවනතාවයක් දැකගත හැකිය. ගුරු ජය ගැනීම ආගමික කටයුතු, නව නිවාස ඉදිකිරීම, ආර්ථික සම්බන්ධතා, යාන වාහන හා මුදල් අංශ , විසිතුරු භාණ්ඩ හා සංචාරක කර්මාන්තයට, පූජ්‍ය පක්ෂයට සුබදායක වනු ඇත.

එසේම ගුරු මහ දශා, අතුරු දශා හා විදශා ගත කරන්නන්ට මෙම ගුරුගේ ජයග්‍රහනය ඉතාමත් යහපත් වන්නේය. ගුරු හිමි ලග්න වන ධනු හා මීන යන ලග්න වලටත් තම අපේක්ෂා ඉටුවන යහපත් කාලයක් වනු ඇත.

එසේම මෙම ග්‍රහ සටනින් බුධ පරාජය වීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුධකාරී තත්ත්වයන් ඇති වනු ඇත. මෙම කාලසීමාව තුළ උගතුන්ට, බුද්ධිමතුන්ට මෙන්ම සමාජයේ දැන උගත් ප්‍රභූන්ට විවිධාකාරයේ නරක නාම මෙන්ම බාධාකාරී හා අර්බුධකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. විශ්ව විද්‍යාල ක්ෂෙත්‍රයේ අර්බුධ, ශිෂ්‍ය උපවාස මර්ධනකාරී තත්ත්වයන් ඇති වන අතර ශිෂ්‍ය ප්‍රජාවේ පෙරළිකාර හා රැඩිකල් ගති ඉස්මතු වන කාලයක් වනු ඇත. බුධ මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන අය පරිස්සම් විය යුතුය.

ලග්න වශයෙන් ගත් කල මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු, මීන යන ලග්නවලට යම් පමණක අසුබ ප්‍රතිඵලත් ඇති වනු ඇත. මෙම ග්‍රහ අපල සඳහා බදාදා, දිනවල බෝධි පූජා පැවැත්වීමත්, කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් යහපත් වනු ඇත.

 

බුධ,ගුරු ග්‍රහ යුද්ධයේ ලග්න පලාපල

 

මේෂ ලග්නය

රැකිරක්ෂා අංශවල තරමක සහනදායි තත්ත්වයක් උදා වන කාලයකි. අධ්‍යාපන අංශවල නිරත අයට බාධාකාරි තත්ත්ව ඇති කරයි. ගෘහ ජීවිතය තුළ එදිනෙදා කටයුතුවලදී වෙහෙසකාරි තත්ත්වයක් ගෙන දෙනු ඇත. ශරීර සෞඛ්‍ය අනුව අමාශගත හදිසි රෝග පීඩා ගෙන දීමට ඉඩ ඇත. මානසික පීඩා ඇති කරයි.

 

වෘෂභ ලග්නය

ගෘහ ජීවිතය තුළ පී‍්‍රතිමත් තත්ත්වයක් ඇති වුව ද වැය පක්ෂය අධික වනු ඇත. ඉදිරි කටයුතුවල හා එදිනෙදා කටයුතු වල යම් අවුල් සහගත තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇත. රැකී රක්ෂා කටයුතුවල හදිසි ස්ථාන මරුවලට හේතු මතු වනු ඇත. උත්සාහයෙන් තරමක ප්‍රතිඵල අඩුය. ලේ විෂ වීමේ රෝග ගෙන දීමට ඉඩ ඇත.

 

මිථුන ලග්නය

විවිධ ගැටලු සෑම අංශයක් තුළින්ම ගෙන දෙනු ඇත. රැකි රක්ෂා කටයුතුවල යම් සහනදායි තත්ත්වයක් පවතී. අධ්‍යාපන කටයුතුවලට එතරම් යහපත් නොවේ. ගෘහ ජීවිතය තුළ පදිංචි ස්ථාන ගත ගැටලු ඇති කරයි. ඥාතීන් සමඟ මතබේද ඇති කරයි. ශරීර සෞඛ්‍යය තත්ත්වයන් අනුව හෘද ආශි‍්‍රත රෝග ගෙනදීමට ඉඩ ඇත.

 

කටක ලග්නය

ජයග්‍රහණ මෙන්ම බලාපොරොත්තු ඉටුවීමේ සුබපල ගෙන දෙනු ඇත. රැකියා අංශ තුළ උසස් වීම් මෙන්ම මෙතෙක් අතපසු වෙමින් පැවති කටයුතු යම් පමණකින් සාර්ථක වීමේ අවස්ථාවක් උදාවනු ඇත. ගෘහ ජීවිතය තුළ ගේ දොර පරිසරය ඉතා යහපත් වන අතර පී‍්‍රති උත්සව අවස්ථාවක්ද ගෙන දේ. පපුව ආශි‍්‍රත සෙම් රෝග ඇති කරයි.

 

සිංහ ලග්නය

අධ්‍යාපනය අංශ තුළ නිරත අයට තාක්ෂණික අංශ තුළින් උසස් ජයග්‍රහණ ලබා ගත හැකිය. ගෘහ ජීවිතය තුළ තරමක් ආවේගශීලි තත්ත්ව ඇති කරයි. දැඩි ආත්ම ශක්තියකින් යුතුව එදිනෙදා කටයුතුවල නිරත වීමෙන් මෙම කටයුතු සාර්ථක කරගත හැකි කාලයකි.

 

කන්‍යා ලග්නය

ශරීර සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙයි. හදිසි ජයග්‍රහණ මෙන්ම බලාපොරොත්තු ඉටුවීම් වැනි සුබඵල ගෙන දෙනු ඇත. රැකී රක්ෂා කටයුතුවල උපදේශන තොරතුරු වල නිරත අයට යහපත් වෙයි. නව නිවාස ඉදිකිරීම් වැනිදේට යහපත්ය.

 

තුලා ලග්නය

උසස් මානසික තත්ත්වයකින් යුතුව එදිනෙදා කටයුතු සාර්ථකව කර ගත හැකිය. රැකියා අංශ තුළ උසස් අයගෙන් ප්‍රශංසා හිමි වේ. උසස් අධ්‍යාපන කටයුතු හා විදෙස් ගත අධ්‍යාපන කටයුතු වලට යහපත් වේ. ගෘහ ජීවිතය තුළ කායික හා මානසික වශයෙන් සුවදායි තත්ත්ව යම් පමණකින් ඇති කරයි. හිතේ අමාරු හා සෙම් රෝග ගෙන දීමට ඉඩ ඇත.

 

වෘශ්චික ලග්නය

ගෘහ ජීවිතය තුළ විවාහ සැපයට පීඩා ගෙන දෙන හේතු මතුවීමට ඉඩ ඇත. ධන හානි හා අධික වියදම් තත්ත්ව ඇති කරයි. අධ්‍යාපන කටයුතුවලට යහපත් අතර උසස් අධ්‍යාපන අවස්ථා හා විදෙස් අධ්‍යාපන අවස්ථා උදා කරයි. බලාපොරොත්තු නොවූ හදිසි ස්තාන මාරු වැනි තත්ත්වයන් රැකී රක්ෂා ක්ෂේත්‍රයේ ඇති විය හැකිය. ඇස් රෝග. හිසේ අමාරු ඇති විය හැකිය.

 

ධනු ලග්නය

හදිසි ජයග්‍රහණ මෙන්ම ඉදිරි බලාපොරොත්තු ඉටුවීමේ තත්ත්වයක් ඇති කරයි. ගෘහ ජීවිතය තුළ දු දරුවන්ගේ කටයුතුවල දියුණුව උදාවන අතර අවිවාහක අයට ද මංගල යෝග උදාවන කාලයකි. අධ්‍යාපනයේ නිරත අයට දෙමාපිය . වැඩිහිටි සහයෝගය ලැබේ. ශරීර සෞඛ්‍ය අතින් උගුරේ අමාරු දණිහිස් ආබාධ ගෙන දිය හැකිය.

 

මකර ලග්නය

ගෘහ ජීවිතය යහපත් වේ. අවිවාහක අයට මංගල යෝග උදාවන කාලයකි. දරුඵල වාසනාවද උදාවනු ඇත. රැකි රක්ෂා කටයුතු වලට යහපත් වේ. අධ්‍යාපන අංශවල නිරත අයට කලා අංශවලින් ජයග්‍රහණ හිමිවේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ.

 

කුම්භ ලග්නය

පෙර පින් බලය ඉස්මතු කරමින් ආගමික අංශවලට වැඩි නැඹුරුවක් දක්වන කාලයකි. ගෘහ ජීවිතය තුළ ආර්ථික දුෂ්කරතා ඇති කරයි. අධ්‍යාපනයට යහපත් වේ. රැකි රක්ෂා කටයුතු වල ප්‍රබල වෙනස්කම් ඇති නොකරයි. ශරීර සෞඛ්‍ය තත්ත්වය අනුව උෂ්ණාධික රෝග ඇති වේ.

 

මීන ලග්නය

ගෘහ ජීවිතය යහපත් වේ. රැකී රක්ෂා කටයුතුවලට යහපත් තත්ත්ව ඇති කරයි. ගේ දොර කටයුතු හා නව නිවාස ඉදිකිරීමට යහපත්ය. මංගල යෝග උදාකරන අතර යහපත් දරුඵල වාසනාව හිමි කාලයකි. අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. හෘද ආශි‍්‍රත රෝග සුළු වශයෙන් ඇති කරයි.

 

උපාලි සෙල්ලහේවා

 

සම්පත් එස්. කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.