වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
සෙත්කවිය සහ වෙනත් කවි
කවිය යන වචනය සංස්කෘත භාෂාවේ කාව්‍යය යන්නෙන් බිඳී ආවකි. කාව්‍යය සහ කවිය යන දෙපදයන් එකම මූලයකට අයත් වුවද අර්ථ වශයෙන් හා ව්‍යවහාරය අනුව ගත්කල එම පද දෙකෙහි තේරුම්වල අඩු වැඩි බවක් ඇත. ඒ අනුව ගද්‍ය සහ පද්‍ය සාහිත්‍ය කෘතීන් සියල්ලක්ම හැඳීන්වීමෙහිලා කාව්‍ය යන වචනය පොදුවේ භාවිතා වන අතර, කවිය යන්න ව්‍යවහාර කරනු ලබන්නේ පද්‍යය, සිව්පදය නැතහොත් ගීය හැඳන්වීම සඳහාය.
කවියේ ආරම්භය කවදා සිදුවුණි දැයි සිතා ගැනීම ද අසීරුය. සිංහල සාහිත්‍ය වංශයේ දැනට විද්‍යමාන වන පද්‍ය ග්‍රන්ථයන් අනුව සිතා එහි ආරම්භය සිදුවු සමය තීරණය කිරීම හෝ අනුමාන කිරිම කිසිලෙසකින්වත් ප්‍රඥාගෝචර නොවේ.
“කාව්‍යං රසාත්මකං වාක්‍යම්” යන කියමනට අනුව රසාලිප්ත වූ වාක්‍යය කවියක් වේ. එම රසවත් වැකිය මුවින් පවසන ලද්දක් ද නැතහොත් ලියූ එකක් ද යන කාරණාව එතරම් සැලකිය යුතු නොවේ. ඒ අනුව මෙරට කවියේ සමාරම්භය අපගේ ශිෂ්ටාචාරය ඇතිවූ මුල් යුගයේදීම වන්නට ඇති බව සිතීම සාධාරණය.
පොදු සමාජයේ විවිධ අරමුණු හා අවශ්‍යතාවයන් ඉටුකරමින් මෙරට සාහිත්‍යාවලියේ පද්‍ය කාව්‍ය අංශය පුරාතනයේ පටන් මේ දක්වා පැවතීගෙන එද්දී එය විවිධාංගීකරණය වෙමින් දියුණුවට පත්වී ඇති බව පෙනේ. එලෙසින් අපගේ පද්‍ය සාහිත්‍යයට ගී කාව්‍ය, මහා කාව්‍ය, සන්දේශ කාව්‍ය, උපදේශ කාව්‍ය, වීර කාව්‍ය, හටන් කාව්‍ය, භක්ති කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය ආදිය මෙන්ම ශාන්ති කාව්‍ය හා තවත් නොයෙකුත් කාව්‍යාංගත් ඉතිහාසයේ ඒ ඒ යුගයන්හිදී එක් වී ඇත.
මෙම සියලු කාව්‍යාංගයන් රස උද්දීපනය අනුව රස නවයකට වෙන්කොට ඇත.
1 වීර රසය - වීරත්වය හා රණශූරත්වය
2 රෞද්‍ර රසය - නපුරු බව
3 භයානක රසය - බියජනක සිතුවිලි
4 බීහත්ස්‍ය රසය - පිළිකුල් බව
ලිපි අංක - 01
5 අද්භූත රසය - විශ්මයජනක බව
6 ශෲංගාර රසය - ආදරය, ප්‍රේමය
7 හාස්‍ය රසය - සිනහව
8 කරුණා රසය - කරුණාව
9 ශාන්ත රසය - ශාන්ත හා ආගමික බව
ඉහත කී කාව්‍ය ප්‍රභේදයන් හැරුණු කොට ලිඛිත වශයෙන් හමු නොවන තවත් පද්‍යාංගයන් කිහිපයක් ද අතීතයේ පැවති බවට තොරතුරු අනාවරණය වේ. අතීතයේ විසූ මෙරට රසකාමී මිනිසා විසින් සීගිරි කැටපත් පවුරේ ලියා තැබූ සීගිරි ගී ඊට එක් උදාහරණයකි. එමෙන්ම පරපුරෙන් පරපුරට ජනවහරේ පැවති එන සිංහල ජන කවිය ද තවත් එවැනි කාව්‍ය විශේෂයන්ට උදාහරණයකි. එසේ බිහිවූ ඉතා මාහැඟි අනෙක් කාව්‍යංගයක් වන්නේ ශාන්ති / ඉෂ්ඨ කාව්‍ය හෙවත් සෙත් කවියයි. අතීතයේ හෙළදිව විසූ අපගේ මුතුන්මිත්තන් ඔවුන්ගේ දෛනික ජීවිතයේ ඇතැම් ප්‍රාර්ථනාවන් සපල කර ගැනීම පිණිස සෙත් කවිය පිහිට කොටගත් බවට නොයෙකුත් සාක්ෂි ඇත.
එමෙන්ම එම කවි නිර්මාණයන් ග්‍රන්ථාරූඪකර තැබීමේ වුවමනාවක් එවකට ඔවුන්ට තිබී නොමැති හෙයින් ඒවා අද විද්‍යාමාන නොවේ.
කවියක් රචනා කිරීමේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවිය හැකි දෝෂ පිළිබඳව හෙළ සාහිත්‍යය තුළ දක්වා ඇත. සෙත් කවි රචනා කිරීමේදී මෙම දෝෂ නිර්මාණය වීම හේතුවෙන් එම කවි වස්කවි බවට පත්වීමේ ප්‍රබල හැකියාවක් පවතී. එම දෝෂයන් මෙසේය.
අපාර්ථ දෝෂය - එකම අදහසක් දෙන වචන නැවත නැවතත් යොදා තිබීම.
ශබ්ද හීන දෝෂය - ව්‍යාකරණ නිසි ලෙස නොගැළපීම.
යතිබ්‍රෂ්ඨ දෝෂය - කවියක නතර වන තැන් නිසි ලෙස නොයෙදීම.
භින්න වෘත දෝෂය - කවියේ විරිත හෙවත් මාත්‍රා ගණන වෙනස්වීම.
විසන්ධික දෝෂය - සන්ධිකර ලිවිය යුතු වචන විසන්ධි කර ලිවීම.
විරෝධී දෝෂය - යම් දෙයකට විරෝධී ලෙස සමහර යෙදුම් යෙදීම.
අපක්‍රම දෝෂය - ක්‍රමානුකූලබව නොමැතිවීම.
යවහන් දෝෂය - කවියක මුල් පදයේ අවසන් අකුර හා එළිවැට ය ව හ න් අකුරු වලින් අවසන් වීම.
ලිඛිතව හෝ අලිඛිතව මෙවක අපට දැනගන්නට ඇති ඉපැරණි පද්‍ය සාහීත්‍යාංගයන් ඒ ඒ යුගයන්හීදී කාලීන වූ සමාජ අවශ්‍යතාවයන් ඉටුකිරීමෙහිලා උපයෝගී වී ඇති අතර, ඉතිහාසයේ සෑම කාලයකදිම පොදු අරමුණ වී ඇත්තේ කවිය රසවින්දනය සඳහා යොදා ගැනීමය.
සෙත් කවිය වෙනත් කවිවලින් හුදෙක්ම වෙනස් වන්නේ එකී රස විඳීම පිළිබඳ කාරණයේදීය. යම් කෙනෙකුගේ ප්‍රාර්ථනාවක් ඉටුකරදීම මුඛ්‍ය පරමාර්ථය කරගන්නා සෙත්කවි රචකයා සිය කවි රචනාව රස කර ගැන්වීමට දැඩි වෙහෙසක් නොගනී.හේතුව වනාහී සෙත් කවියක එකම අරමුණ වන්නේ රස නිෂ්පත්තිය නොව ගුණ නිෂ්පත්තිය වන බැවිනි. කෙසේ වුවත් සෙත් කවිය තුළ වීර, අද්භූත, කරුණා, ශාන්ත වැනි රසයන් ගැබ්විය හැක්කේ එය දෙවියන් උදෙසා ගායනා කරන්නක් වන බැවිනි. පිහිට පතන්නාට යහපත සලසා පිළිසරණක් වීම නැතහොත් සරණ සොයන්නාගේ ප්‍රාර්ථනාවන් ඉටුකරදීම සෙත් කවියක් රචනා කිරීමේත්, ගායනා කිරීමේත් මුඛ්‍ය පරමාර්ථයයි. අලංකාර හා කාව්‍ය ශාස්ත්‍රයේ එන රස, භාව, ඡන්දස් අලංකාර ආදිය ගැන සැලකිය යුතු අවධානයක් යොමුකරමින් රසිකයා අවබෝධයට එනම් ආනන්දයෙන් ප්‍රඥාවට පත් කිරීමේ ආධ්‍යාශය කාව්‍ය රචකයින් කෙරෙහි පොදුවේ දැකිය හැකි වන නමුත් සෙත් කවිය /ඉෂ්ඨ කවිය එහි පරමාර්ථය අතින් පමණක් නොව නිර්මාණකරණයේදී අනුගමනය කරනු ලබන විශේෂ ක්‍රමවේදය අතින් ද අනෙකුත් කවිවලින් ඉඳුරාම වෙනස් වේ. පොදුවේ ගත් කල පද්‍ය රචනා කිරීමේදී් අවශ්‍ය යැයි සිතේ නම් ඒවා ගී විරිතෙන් ලිවිය හැකිය. නැතහොත් ඒවා නිසඳැස්, හෑලි හෝ වෙනත් ආකෘතියකින් නිර්මාණය කළ හැකිය. එහෙත් සෙත් කවිය හෝ ප්‍රාණ කවි එලෙස රචකයාට සිතැඟි අයුරින් නිර්මාණය කිරීමට ඉඩක් නැත. අනිවාර්යයෙන්ම සෙත් කවියක් සිව්පදයක්ම විය යුතුය. එහි පදයන්හි මුලක්, අගක් එළිසම රැකීම ද, ශුභ අකුරු, ශුභ ගණ ඒ සඳහා තෝරා ගැනීමට ද රචකයාට සිදුවේ. සෙත් කවි රචකයාට ජ්‍යෝතිෂය පිළිබඳ මනා දැනුමක් තිබීම ද අත්‍යාවශ්‍යය. අක්ෂර, ගණ, යෝනි, වියරණ ආදී භාෂාත්මකවූත්, ශබ්ද විද්‍යාත්මකවූත් දැනුමක් ඔහු හෝ ඇය සතුවිය යුතුය. යම් කෙනකුට සහජ කවීත්වය තිබූ පමණින් සෙත්කවි රචනා කළ හැකි නොවේ. රචනා කර්යයේදී උචිතාකාරයෙන් අක්ෂර, ගණ, යෝනි ආදිය ගැළපීම පිළිබඳව නිර්මාණකරුවෙකුට මනා වූ දැනුමක් තිබිය යුතු බව සිංහල භාෂාවේ මූලික ව්‍යාකරණ විධි හඳුන්වාදෙන සිදත් සඟරාවෙහි අවධාරණය කර ඇත්තේ මෙසේය.
ඉති වියරණ දැන කිවියර පද බඳනා
ඉටු නිටු ගණ අකුරු ඈ ලකුණු විමසා බඳනේ
එනයින් බලන කල නොයෙකුත් අලංකාරයන් යොදා තනනු ලබන රසාලිප්ත පද්‍යයකට වඩා සෙත් කවියක් තුළ අන්තර්ගත වන සුවිශේෂී අංග ලක්ෂණයන් මහත් රාශියක් ඇති බව තතු විමසන ඕනෑම කෙනෙකුට පෙනී යා යුතුය. ඒ අනුව අවසන් වශයෙන් කිව හැක්කේ යම් කෙනෙකුට සෙතක් ශාන්තියක් ලබාදීම හෝ අපල උපද්‍රව දුරුකරලීම නැතිනම් වෙනත් ප්‍රාර්ථනාවක් ඉටුකරගැනීම අරභයා ශබ්ද විද්‍යාත්මකවූත්, ජ්‍යෝතිෂ්ශාස්ත්‍රීය වූත් අනේකවිද නියමයන් අනුගමනය කරමින් රචනා කරනු ලබන සෙත් කවිය වෙනත් කවි හා සැසඳීමේදී එහි අරමුණ අතිනුත් නිර්මාණකරණය අතිනුත් අනෙක් කාව්‍යාංගයන් සමඟ ප්‍රබල වූ වෙනස්කම් රාශියක් හඳුනා ගත හැකි බවය.
ශාස්ත්‍රවේදි ඡ්‍යොතිර්වේදී ඡ්‍යෝතිෂ්‍යාචාර සෙත්කවිශූරී
හිරන්ත සුබසිංහ