මිනිසා අතර සබඳතාවක් පැවැති ග්‍රහතරු හා වෘක්ෂලතා

දෙසැම්බර් 3, 2021

මානව වංශ කතාවෙහි දුර ඈත අතීතයේ සිටම ග්‍රහ වස්තූන් හා මිනිසා අතර පැවැති සබැඳියාවත් බෞද්ධ දර්ශනය හා ඡ්‍යෝතිෂයත් අතර ඇති වෘක්ෂලතාවන්හි පවතින දැඩි සබැඳියාවත් මනාව පැහැදිලි කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වෙයි.

සිදුහත් තවුසාණන්ට බුදුබව ලබන්නට සෙවණ දුන් දඹදිව ඇසතු බෝ වෘක්ෂයේ දකුණු ශාඛාව වූ ශ්‍රී මහාබෝධීන් වහන්සේ ලිඛිත ඉතිහාසයක් ඇති ලොව ඉපැරණිම වෘක්ෂය ලෙස හඳුන්වති. සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කරවා දෙවනපෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙවුනා උයනෙහි රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බොදු බැතිමතුන්ගේ මුදුන් මල්කඩකි. අතීතයේ දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිමි තැනැත්තා රටෙහි රජු ලෙස සැලකූ අතර උන්වහන්සේ දිවිහිමියෙන් ආරක්ෂා කිරීමට එකල සිට පාලකයින් ක්‍රියා කළහ. වංශ කතාවල සඳහන් පරිදි ජය ශ්‍රී මහා බෝ පැළයේ ආරක්ෂාවට එය රෝපනය කරන අවස්ථාවෙහි ගල් පතුරුවලින් එය වටකර ආරක්ෂාව සැලසූ බව සඳහන් වෙයි.

පරසතුරු ආක්‍රමණ සිදුවූ කාල පරිච්ඡේදය තුළ සඟමිත් තෙරණිය සමඟ තම රටට පැමිණි 18 කුලයක පිරිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක ගත් බව පසුව කීර්ති ශ්‍රී රාජසිංහ (1747 - 1781) යුගයේ දී බෝපත් කෑමට එන වල්අලින්ගෙන් එය ආරක්ෂා කර ගැනීමට උසින් අඩි සොළොසක් වන පළල අඩි දෙසීය හැත්තෑවක් ද දිග අඩි තුන්සිය හැටකින් හා කවුලු තුන්සිය පනහකින් ද යුත් සුවිසල් ගල් ප්‍රාකාරයක් තනවන ලදී. එය අදටත් දැකිය හැකි ය.

ඉහත දැක් වූ ආකාරයට සම්බුද්ධ ශාසනය තුළ බෝ ගස සඳහා හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූයේ දඹදිව පිහිටි ශ්‍රී මහා බෝධි මූලයේදී ය. මෙම හේතුව නිසා ආගමික වතාවත් අතරින් බෝධි පූජාව බෝධිවන්දනාව, අටවිසි බෝධි වන්දනාවට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත. සම්බුද්ධ ධර්මයේ සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේලා විසි අටක නම් සඳහන් වන අතර එම සියලු බුදුවරුන් බුද්ධත්වය ලබා ඇත්තේ අනේකවිධ වූ ශාක මූල අභියස ය. මෙයට අටවිසි බෝධීන් ලෙස බෞද්ධ ව්‍යවහාරයේ සඳහන් ව ඇත.

මීට අමතරව අප සැවොම මෙලොව එළිය දකින වේලාව අනුව සැකසෙන ජන්ම පත්‍රයේ ඇති නැකැතත් සමඟින් ඇති නැකැත් 27 ද ඡ්‍යොතිෂයේ දී අදාළ වන ශාකයන් දක්වා ඇත. එම නිසා ශාකයේ අති ප්‍රබල වැදගත්කම අපට මැනවින් වැටහේ.

ඡ්‍යෝතිෂයේදී එක් එක් දිශාවන් සඳහා සුබ අසුබ වෘක්ෂ දක්වා ඇති අතර දිශා පිළිබඳ අගනා විවරණයක් කරන බෞද්ධ දර්ශනය තුළ සිඟාලෝවාද සූත්‍රයෙහි මෙම දිශාවන් පිළිබඳ මැනවින් දක්වා ඇත. අද අප බොහෝවිට සුබ කටයුතු අරඹන්නේ සුබ දිශාවකිනි. පහත දැක්වෙන්නේ ඒ ඒ ප්‍රධාන දිශාවන්ට සුබ අසුබ ශාකයන් වෙයි.

ප්‍රධාන දිශාවන්ට අයත් සුබ හා අසුබ වෘක්ෂ

දිශාව සුබ අසුබ

උතුර පුලිල අත්ති.

දකුණ අත්තික්කා පුලිල

නැඟෙනහිර නුග බෝ

බටහිර බෝ නුග

නවග්‍රහයන්ට අදාළ වෘක්ෂයන් ඩපර ඉසිවරු විසින් ඡ්‍යෝතිෂයේ දී දක්වා ඇති අතර නවග්‍රහ අපල ඇතිවිට එම ශාකවලට සාත්තු කිරීමෙන් එම අපල උපද්‍රව දුරුකර ගත හැක. එසේම රුක්රෝපනය ද මෙම ආත්මභාවයේ මෙන්ම මතු ආත්මභාවයන්හි දී ද සුවවිවරණයක් හා සැපවත් ජීවිතයක් ලබා ගැනීම සඳහා ඡ්‍යෝතිෂයේ පෙන්වා දී ඇති මහඟු සත්කාරයකි.

නවග්‍රහයන්ට අදාළ වෘක්ෂ

රවි - ඉඹුල්

සඳු - දිවුල්

කුජ - කොලොන්

සිකුරු - මඟුල් කරඳ

බුධ - කොහොඹ

ගුරු - බෝ

ශනි - නුග

රාහු - වැටකේ

කේතු - කෙසෙල්

විවිධ ආනිසංසයන් හිමි ශාක

බෝ - සැප සම්පත් හා දියුණුව

අශෝක - දුක් දොම්නස් පහ වෙයි

කොහොඹ - ජීවය සැපවත් වෙයි

කෑල - පිහිට ආරක්ෂාව ලැබෙයි

බෙලි - පින් රැස්වෙයි

පළොල් - සුගතිගාමී වෙයි

ඇට්ටේරිය - මතු භවයේ සැප ලබයි.

දෑසමන් - දෙවියන්ගේ පිහිට ලැබෙයි

බුළු - මෙහෙකරුවන් ලබයි.

මූනමල් - දැසිදසුන් ලබයි

වරු - සූර්යාගේ පිහිට ලැබෙයි

දඹ - දෙව්ලොව සැප ලබයි

ශාක සමඟ ඉතා සමීප මිත්‍රශීලී ජීවිතයක් ගත කළ මිනිසා එහි ප්‍රතිඵලයක් ලෙස ගස්වැල් සම්බන්ධව විවිධ මතිමතාන්තර දැරූ අතර පරම්පරා ගණනාවක් ඔස්සේ අදට ද එම වටිනා කරුණු නොනැසී පවතී. පහත දැක්වෙන්නේ දෙවියන් හා ශාක සම්බන්ධ වටිනා සාම්ප්‍රදායික අවස්ථා කීපයකි. කතරගම දෙවියන් සිය දේවාලය කුඹුක් ගසක් යට පිහිටුවා ගත් බව පැවසේ. සුමන සමන් දෙවියන් රාජයතන ගසින් බිහි වී ඇති බව විශ්වාස වෙයි. පත්තිනි දේව මෑණියන් අඹ ගසකින් උපත ලබා ඇති බව විශ්වාස වෙයි.

නවගමු දෙවොලේ නා ගසෙහි පත්තින් සලඹ සැඟවූ බව විශ්වාසයක් පවතී. ශක්‍රයා සිය ආසනය පියනන්දන උයනේ පිහිටි පරිජාත නම් වෘක්ෂය මූලයේ පිහිටුවාගෙන ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. බෙලි ගස ශි‍්‍රයාකාන්තාවගේ ශාකය ලෙස පිළිගැනෙන අතර එය නිවස ඉදිරිපිට රෝපනයට සුදුසුය. රුක්කතන ශාක ඇතිවිට එම ප්‍රදේශයේ විසකුරු සතුන් පලායන බවට මතයක් ඇත.

දොඹ ගස නිවස අසල තිබීම වාසනාවට හේතු වේ. අන්කෙන්ද ගසක් ගෙවත්තක තිබෙයි නම් එම නිවසියන්ට වා පිත් සෙම් රෝග ඇති නොවන බවට විශ්වාසයක් පවතී. මයිල ගස් හා ඊතණ පඳුරු ඇති බිමෙහි ජල උල්පත් බහුලය. නිවස ඉදිරියේ ඇති අඹ ගස් බෝවන රෝග තුරන් කරන අතර හෙන වළකා අසුබ තත්ත්වයන් මඟ හැරීමෙහි ශක්තියක් ඇත. අඳුකොළ නාගයින්ට පලවා හරින අතර මදුරුතලා මදුරුවන් පලවා හරී .

ඡ්‍යෝතිෂවේදී සම්පත් එස්. කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.