වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගොවිතැන නඟන නැකැතේ බලය
ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකා වාසී අප සැබැවින්ම කෘෂිකර්මය මුල් කරගනිමින් අපට ආවේනික වූ ආහාර වර්ග මේ සරු පොළොවේ වගා කරගෙන වස විෂෙන් තොර ආහාර අනුභවය කරමින් හැදුණ වැඩුණ ආදී සිංහල ජනතාව අද මෙන් නොව එදා මේ රටේ සාගරය පරදවන තරම් වැව් අමුණු බඳවා රට සහලින් ස්වයංපෝෂිත කරවමින් යෝධබල ශක්තියෙන් අනූන අපරාජිත අව්‍යාජ ජන කොටස් ජීවත්වූ වගට සාක්ෂි වශයෙන් එදා ශිලා ලේඛන මෙන්ම ශෛලමය බුදු පිළිම ආදිය හා දැනට නටඹුන්ව ඇති චෛත්‍යයන්ද ගල් කුලුනු ආදියෙන් මොනවට පැහැදිලි වෙයි. ඔවුන් එදා ඒ සියල්ල ඉදි කිරීමේදී විශේෂයෙන් නක්ෂත්‍රය උපයෝගී කර ඇති බවටත් සාක්ෂි වශයෙන් මුඛ පරම්පරා කතාවන් මෙන්ම ඓතිහාසික මූලාශ්‍ර පොත පතින් වටහාගත හැක.
අද ගොවිතැන් කරන බොහෝ දෙනා නැකැත යනු කුමක් දැයි නොදනී. නක්ෂත්‍රය වුවද දැන උගත් අය ගමේ ගොඩේ අල්ප වී ඇත. නගර ආශි‍්‍රතව කොම්පියුටර් ඡ්‍යොතිෂ කඩ තිබුණ ද ඒවාට යන්නේ දරු උපතකදී සිරිතක් ලෙස ජන්මපත්‍රය සාදා ගැනීමටය. එසේම වර්තමානයේ පොතපතේ තිබෙන දේවල් ගැන තේරුම් ගැනීමට උගත් අයත් නැති අතර, විශේෂයෙන් ගොවිතැන් කටයුතුවලදී එදින පවතින කරණ බලය නිසා ගොවියාගේ බලාපොරොත්තු සිඳලමින් වගාව සතුන්ගේ ග්‍රහණයට නතුවී ඈලියාවට පත්වේ.
බොහෝ කාලයක් බොහෝ ඡ්‍යොතිෂවේදීන් පවා පාවිච්චි කරන අද පංචාංග ලිතේ වුවද කරන සඳහන් වන්නේ විෂ්ඨි බව බාලව කෞලව ගරජ වණිජ ආදී වශයෙන් නිසාත් මෙම අගනා සුබසෙත පුවත්පතේ වුවද සතියේ ලිත් විස්තරවලදීත් ඉහත සඳහන් ආකාරයෙන්ම සඳහන් වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට අවබෝධ කර ගැනීමට හැකිය. ගුරු උතුමන්ලා අපිට කටපාඩම් කර ගැනීම පිණිස කවියෙන් කියා දුන්න අයුරින් එම කවි පුර පක්ෂයට හා අව පක්ෂයට අදාළව මෙම සටහනේ පළ කරමින් සාමාන්‍ය ජනතාවට එදිනෙදාට අදාළ තිථිය අනුව උදාවන කරණ බලය මෙසේය.
පුර පක්ෂයේ
එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ
ජලවක කුකුළු පසදිවි සය එලු කරණ
සතගව අට සිංහ නව සුකර කරණ
දසවක ගජකරණ දැනගත් මේ ලෙසින
එකොළොස්වක කුකුළු කරණය කියන්නේ
දොළොස් දිවි තෙළෙස් එළු කරණ වන්නේ
තුදුසු ගවය පසළොස් සිංහය වන්නේ
පුරට කරණ මේ ලෙස දැන කියන්නේ
අවපක්ෂයට -
අමවක ඌරු දියවක ගජ කරණ වනු
තියවක කුකුළු ජලවක දිවි කරණ වනු
පසඑලු කරන සැටවක ගජ කරණ වනු
සතවක සිංහ අටවක සූ කරයි දනු
නව ගජ දස කුකුළු එකොළොස් දිවි කරණ
දොළොස් එලු තෙලෙස් දැනගත් ගව කරණ
තුදුස්සිංහ අමවක සූකරයි දැන
අවට කරණ මේ ලෙස දැනගෙන කියන
සැ.යු - තිථියක ප්‍රථම අංශක හයේදී පවතින කරණ පෙර කරණය ලෙස ද දෙවන අංශක හයේ දී පවතින කරණය පසු කරණය වශයෙන් ව්‍යාහාර වේ. මේ පිළිබඳ විශාල වශයෙන් දැනගත යුතු වුවද මෙම ලිපිය දීර්ඝ නොකර ගොවි තැනකදී සතුන්ගේ පැමිණීම වළක්වා ගැනීමට වැට පිරුමට ද මේ සමඟම කවියක් සඳහන් කරමි. එය තේරුම් ගෙන ඔබගේ ගොවිබිමේ වැට බැඳගෙන ගොවිතැන් ආරක්ෂා කරගන්න.
කවිය
රවිමුල දනුව සඳු හෝරා දිවි කර ණේ
දිවි කදුරු ද බෝමී ඉති දෙමට ගෙනේ
පනකට නිලය දැන ඉති සිටුවා එතැනේ
ගොවිවැලගෙන වෙලා වැට පුරනු සතො සිනේ
ඉහත කවියේ සඳහන් අයුරින් ඉරිදා දිනයක (මුල නැකැත යෙදුන) සඳුගේ කාල හෝරාවෙන් දිවිකරණ ඇති දිනක දිවිකදුරු කෝටුවක් බෝ මී කෝටුවක් ඉන්න කොට සිටුවා කයිල වැලකින් දෙමට කෝටුවක් තබා උතුරු දිසාව බලා වැට පිරීමෙන් සතුන්ගෙන් ගොවිතැන ආරක්ෂා කරගත හැකි වේ. නගරවාසී ජනතාවට මේවා සොයා ගැනීම අපහසුයි. එසේම පනිකට නම් බූම නාගයාගේ හිසතම ගොවිබිමට එල්ල වී ඇති වේලාවේ මේවා වර්තමානයේ ජීවත් වන බොහෝදෙනාට තේරුම් ගැනීම අපහසු බැව් පෙනුණත් එදා අකුරක්වත් නොදත් සාමාන්‍ය ගොවි ජනතාවට නම් මේවා පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් තිබුණ බව අප කුඩා අවදියේදීඹ ඇස් දුටු අත්දුටු ක්‍රියාදාමයක් වේ. වත්මනේ ඉන්න බොහෝදෙනා තම නිවස වටා වැවී ඇති අගනා බෙහෙත් පැළෑටියක්වත් හඳුනා ගන්න තරම් දැනීමක් නැති රූපවාහිනියේ පෙන්නන දේ හරි යැයි සිතන මට්ටමේ පහත් දුර්වල මානසික තත්ත්වයකින් පරිපූර්ණ ජන සමාජයක් යැයි පැවැසීම අතිශයෝක්තියක් නොවන්නේ නොවේද?