මහා ප්‍රාඥයින් උපදින කන්‍යා රවිය

සැප්තැම්බර් 10, 2021

මෙවර රවි බුධ හිමි කන්‍යා රැසට පැමිණෙන්නේ 2021 සැප්. 16 වෙනි ගුරු දින පැය 47.40 න් වේ. එතැන් සිට 2021.10.17 දින තෙක් රවි කන්‍යා රාශියෙහි හැසිරෙනු ඇත. කන්‍යා රැස නැකැත් තුනක පාද නවයක් සම්පූර්ණ කරමින් තුරුපල් 3 හත සිත 2 කන්‍යා රැස කීවාසේ රවි හිමි උත්‍රපල් නැකැතේ 2,3,4 යන පාදයත් සඳු හිමි හත නැකැතේ සම්පූර්ණ පාදයත් කුජ හිමි සිත නැකැතේ 1,2 පාද ඇසුරු කරගෙන මසක පමණ කාලයක් එහි ගමන් කරනු ලබන අතර රවි සංක්‍රමණ අවස්ථාවේ බුධ හිමි මිථුන ලග්නයත්, ගුරු හිමි මීන නවාංශකයත් විද්‍යාමාන වේ. රවි කන්‍යාවට ප්‍රවේශ වන වෙලාවේ බුධ ග්‍රහයා උච්ච බලයෙන් කන්‍යාවේ සිටිනු ඇත.

 

තත්කාල ග්‍රහ පිහිටීම් දෙස බලමු . හතර වැන්නේ රවි,බුධ, අඟහරු සිටින අතර පස් වැන්නේ සිකුරු ද සය වැන්නේ කේතු ද අට වැන්නේ සඳු ,ගුරු හා ශනි ද සිටී. නෙප්චූන් නව වැන්නේ ය. එකොළොස් වැන්නේ යුරේනස් ද දොළොස්වැන්නේ රාහු සිටී. 2021.09.22 දින බුධ තුලාවට පැමිණ නැවත සැප්තැම්බර් 27 වක්‍ර වී ඔක්තෝබර් 02 දින කන්‍යාවට පැමිණ රාහු හා එක්වන අතරම සිකුරු ඔක්තෝබර් 02 දින වෘශ්චික රැසට පැමිණේ. ශනි ඔක්තෝබර් 11 වනදින නිවෘතවේ.

මෙම ග්‍රහ ගෝචරයන් දෙස බලන විට රවි,බුධ කන්‍යාවේ හැසිරෙන කාලය තුළ ලොවට මහා ප්‍රාඥයන් බිහිකර දෙනු ඇත. විපක්ෂය නියෝජනය කරන හතර වැන්නට රවිගේ පැමිණීමත් සමඟ රජයත් විපක්ෂයත් අතර සාමූහික සාකච්ජා සම්මන්ත්‍රණ පැවැත්වෙන බවට ඉඟි කරයි. එසේම පොළොවට සම්බන්ධව කෙරෙන කටයුතු කෘෂිකර්මාන්ත,පතල් කර්මාන්ත සහ ඒ ආශ්‍රිත කර්මාන්ත වල වැඩි දියුණුවක් ඇති කරවයි. ආරක්ෂක අංශ වල සේවා තව තවත් වැඩිවේ. ගිලනුන්ට උපස්ථාන කිරීම තව තවත් ඉහළට. සෞඛ්‍ය අංශවල සේවාව උපරිමයට පැවැත්වේ.

වෙළඳ කටයුතු සම්බන්ධව පවත්නා නීති සංශෝධනය කෙරේ. කාන්තා හා ළමා පරපුර වෙනුවෙන් ඒ් අයගේ අභිවෘද්ධිය සඳහා නව අයිතිවාසිකම් පනත් එළි දැක්වේ. ලග්න හතරකට රාජ යෝග උදාවේ. මිථුන,කන්‍යා, ධනු,මීන ලග්න වලින් මහා වියතුන් ජනිත වනු ඇත . ඒ් අයගේ කේන්ද්‍ර වල භද්‍රා රාජ යෝගය පිහිටනු ලබයි. ඒ බුධ කන්‍යාවේ හැසිරෙන කාලය තුළ පමණි. මාර්ග අනතුරු විශාල ලෙස සිදුවීම වලක්වා ගැනීමට වාහන පදවන අය සිහියේ තබා ගත යුතුවේ. හදිසි මරණ සංඛ්‍යා ඉතා ඉහළට, සෞඛ්‍ය නීති රැකගෙන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසා ගන්න.

 

කලාභූෂණ රාජ්‍ය සම්මානලත්

කේ. ඒච් ධනපාල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.