විශ්ව ග්‍රහ බලයේ අසිරිමත්ම දිනය වෙසක් පුන් පොහෝ දිනයයි

මැයි 21, 2021

ශාන්ති නායක ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවීම යන ත්‍රිවිධ මංගල්‍ය යෙදුණ වෙසක් පුර පෝය දිනය දොළොස් මසේම යෙදෙන පුර පසළොස්වක පෝය දිනයන් අතුරින්, විශ්ව ග්‍රහ බලය ඉතාමත් අසිරිමත් ලෙස තුලනය සිදුවන දිනයකි. ප්‍රඥාව . කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන අසම සමවූ ගුණ සමුදායෙන් සමන්නාගත වූ උත්තරීතර මහා පුරුෂොත්තමයාණන් වහන්සේගේ තෙමඟුල වෙසක් පෝය මුල්කරගෙන සිදුවූයේ අහඹු ලෙස නම් නොවේ.

 

දසපාරමී දම් පුරමින් අනන්ත වූ සසර ගමනේදී රැස්කර ගත්තාවූ කුසල සම්භාරයන් හේතුවෙන් කාලය, දීපය, දේශය, කුලය, මව යන පස් මහ බැලුම් බලා බෝසතාණන් වහන්සේ සුදොවුන් රජුට දාව මහාමායා දේවියගේ කුස පිළිසිඳ ලුම්බිණි සාලවෝද්‍යානයේ සල්ගසක් මුල වෙසක් පුන් පොහෝ දින මෙලොව ජනිතවූ බව ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිවේ.

ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සලකා බැලීමේදී පස්මහ බැලුම් අතුරින් මුලින්ම සලකා බලා ඇත්තේ ඉපදීමට සුදුසු කාලය පිළිබඳව සොයා බැලීමය.

බුදුවීමට පූර්ව අත්භවේ තව්තිසා දිව්‍ය ලෝකයේ වැඩසිටි බවත් බුදුවීමට සුදුසු කාලය එළඹ ඇති නිසා මනුලොව ඉපදී බුදුවන ලෙසත් දෙවියන් ආරාධනා කළ බව සඳහන් වීමෙන් පෙනීයන්නේ දෙවියන් අතර පවා වර්ෂ, දින, කාලහෝරා, නැකැත්, තිථී ආදී පංචාගමයන් පිළිබඳ පිළිගැනීමක් පවතින බවය.

වෙසක් පොහොය අනිකුත් පෝය දිනයන්ගෙන් වෙනස්වූ සුවිශේෂ දිනයක් වනුයේ තුන්දා ලිතට අනුව සෑම වර්ෂයකම පෝයට පෙරදිනය, පෝය දිනය හෝ පෝයට පසුදිනය යන දින තුනට අයත් දිනයකදී නොවරදවාම විසා නැකත යෙදෙන බැවිනි.

විසා නැකත ඉතා සසර රක්ත වර්ණ පුල්ලිංගික තොරණ කර දීප්තිමත් තාරකා හතරකින් යුක්ත අපෝභූත නැකතක් ලෙස ඡ්‍යොතිෂයේ හඳුන්වා ඇත.

මෙම තාරකා පන්තිය තුළ සිත නැකතේ 3-4 පාද ද සා නැකතේ පාද 04ම ද විසා නැකතේ ප්‍රථම පාද තුන ද අන්තර්ගතව පවතී.

විසා නැකතේ ප්‍රථම පාදය කුජට හිමි වේ. ඉන් උපන්නෝ ධාර්මිකය. පළල් පපුවක් සහිත වේ. රතුවන් ඇස් ඇති ධනවත් අයවලුවන් බව දැක්වේ.

විසා නැකතේ දෙවන පාදය සිකුරුට හිමිවේ. ඉන් උපන්නෝ ධාර්මිකව ධනය උපයන වස්තු සම්පත් ඇති කරුණාවන්ත මෙන්ම වාසනාවන්තයන් වන අතර, කනෙහි රෝම පිහිටන බව දැක්වේ.

විසා නැකතේ තෙවැනි පාදය බුධට හිමිවේ. ඉන් උපන්නෝ ඥානවන්ත නිදහස් මතදාරි බොහෝ ශිල්ප ශාස්ත්‍රාදියට දක්ෂතා ඇත්තෝ වෙන බව දැක්වේ.

විසා නැකතේ සිව්වැනි පාදය සඳුට හිමිවේ. ඉන් උපන්නෝ බොහෝ ධාර්මික වන අතර, රූප ශෝභාවෙන් අනූන වෙති. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය වෙති. ශරීර අභ්‍යන්තර රෝග හටගන්නා බව දැක්වේ.

කුජ, රාහු, ගුරු තිදෙනා මෙම නැකැත් රාශියට බලපෑම් කරයි. එනිසා මෙම රාශිය සමබර තාවයකින් යුක්ත වූ තුලනාත්මක රාශියකි. මෙම රාශියට ආසන්න වායුගෝලය තෙත සහිත අපෝභූත සීතල ගුණයෙන් යුක්තය. මෙකී විශ්ව ගුණ බලය නිසා විසා නැකතින් උපදින අය සාධාරණ, සමබර, කරුණාව හා මෛත්‍රිය වැනි හැඟුම් බර අය වෙති.

මෙකී ගති පැවතුම් බුද්ධ චරිතාපදානය තුළින් මනාව ප්‍රකට වේ. උන්වහන්සේගේ මූලික ප්‍රතිපදාව වූ බුද්ධ දර්ශනයම ගොඩනඟා ඇත්තේ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළිවෙත මතය. එදා බරණැස ඉසිපතනේ මිගදායේදී පවත්වන ලද ප්‍රථම ධර්මදේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍රයේ මුලින්ම දේශනා කොට වදාළේ ද අත්තකිලමතානුයෝගය හා කාමසුඛල්ලිකානුයෝගය යන අන්ත දෙකින් බැහැර වී මැදුම් පිළිවෙත අනුගමනය කර සත්‍ය අවබෝධ කරගන්නා ලෙසය. මැදුම් පිළිවෙත ලෙස දේශනා කොට වදාළේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

විසා නැකත අයත් වන්නේ බ්‍රහස්පතිටය. එම නිසා ගුරුගේ මහ දසා කාලය අවුරුදු 16 ක් පවතී. කර්මානුරූපව ඇතිවන ලෙඩරෝග අවි ආයුධ ආදී හදිසි අනතුරුවලින් වැළකුනේ නම් පරමායුෂ අවුරුදු 97 ක් ජීවත් වන බව දැක්වේ.

විසා නැකත අනුව ගුරුගේ අවුරුදු 16 ක මහ දසා කාලය ගතවූ විට සෙනසුරු මහ දසාව ලබයි. සෙනසුරුගේ මහ දසා කාලය අවුරුදු 19 කි. දසා දෙකේම එකතුව අවුරුදු 35කි. සිදුහත් කුමරු අවුරුදු 29 දී ගිහි සැප හැරදමා අභිනිෂ්ක්‍රමණය කර ඇත. එසේනම් එය සිදුව ඇත්තේ සෙනසුරු මහ දසාව තුළදීය. බෝසතුන් උපන් වේලාව අනුව ගුරු මහ දසාවේ ශේෂය හා සෙනසුරු මහ දසාවේ අවුරුදු 19 ද ගෙවී බුධගේ මහ දසාව ලබා තිබියදී බුද්ධත්වයට පත්වීම සිදුව ඇත. බෝසතාණන් වහන්සේ අවුරුදු 29දී ගිහිගෙයින් නික්ම ගොස් අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට අවුරුදු 34දී බුදුවූ බැව් සඳහන්වීමෙන් මේ බැව් පැහැදිලි වේ.

සොබාදහස හා සොබා සෞන්දර්යට අනුව සලකා බැලීමේදී උත්තරායන ගී‍්‍රෂ්ම ඍතුවට අයත් වෙසක් මාසය ගස්වැල් ඵල බරවී තුරු වියන් මලින් පිරී පරිසරයම සුවඳවත් කරවන කාලයකි. නොයෙක් පලතුරු වර්ග මෝරා පැසී ඉදී පවතින කාලයක් නිසා මනුෂ්‍යයන්ට පමණක් නොව බඹර, මී මැසි, පක්ෂී ආදි සියලුම සතා සිවුපාවුන්ට ආහාරපාන නො අඩුව පරිසරය තුළින් ලැබෙන කාලයකි. අපේ පැරැන්නෝ කුසගිනි නොදැනෙන කාලය ලෙස වෙසක් මාසය හැඳින්වූයේ මෙනිසාය.

වෙසක් පුර පසළොස්වක පෝය දිනය බෞද්ධයන්ට පමණක් නොව ලෝකවාසී සියලුම සත්වයන්ට කුමන ආගමක් අදහන්නෙක් තුළ ද වූවත් කායික හා මානසික සුවයක් දැනෙන දිනයෙකි. අවිද්‍යාව නැමති ඝනදුර පලවා හැර ප්‍රඥාව නැමති ආලෝකයෙන් විශ්වයම ඒකාලෝක වූ දවසයි.

“පුබ්බේ අනනුසසුතෙසු ධමෙමනු චක්ඛුං උදපාදී ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකො උදපාදි නං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤෙඤය්‍යන්ති” යනාදී වශයෙන් දම්සක් පැවතුම් සූත්‍රයේදි බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මහණෙනි මට පෙර නො ඇසූ විරූ ධර්මයක් නිමිතිකොටගෙන චතුරාර්ය සත්‍ය ඥානය වූ දහම් ඇස පහළ විය. සත්වාර්ථ ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. ක්ලේශ පලවාහරින විද්‍යාව පහළ විය . සත්‍ය වසා සිටි මොහාන්ධකාරය නැති කරන ආලෝකය පහළ වී යැයි වදාළ සේක.

වෙසක් දින පහන්, වෙසක්කූඩු, වෙසක් තොරණ් හා සැරසිලිවලින් මංමාවත්, වෙහෙර විහාර, ගම් නගර හා ගෙවල් පහන් එළියෙන් ආලෝකමත් කර අඳුර පලවා හරින්නා සේම සිත් තුළ සත්‍ය වසාගෙන සිටින මෝහාන්දකාරය නැමති ඝනදුර පලවා හරින්නට පොලොඹවන දිනයකි. එම නිසා එදිනට දාන , ශීල, භාවනා ආදි පුණ්‍ය ක්‍රියා බහුලව සිදුවේ. වෙසක් පෝය දිනය ලෝකයේම අපරාධ අන් දිනයන්ට වඩා පහළ මට්ටමකින් පවතින බැව් සමීක්ෂණ තුළින් පවා හෙලි වී තිබේ.

සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍යයම වෙසක් දිනවලදීම සිදුවීම පූර්ව කුසල් හේතු වාසනා මහිමය අනුව සිදුවූවකි. වෙසක් දින විසා නැකතින් උපදින සියලුම දෙනාට මෙකී ග්‍රහබලය බලවත් හෝ දුබල වන්නේ ඒ ඒ අයගේ පූර්ව කුසල අකුසල කර්ම ඵල විපාක අනුවය. එහෙත් පොදුවේ එම නැකතින් උපදින අය මැදහත්ව සිතන ජීවිතය සමබරව පවත්වාගෙන යන අය වෙති.

සසර කතරේ ඉපිද මැරෙමින් මිදින දුක නැති කරන පරිදී

අතට පත්වූ නිවන අතහැර බොහෝ දුක් විඳ සසර බිමදී

උතුම් බුදුබව ලබාගත් බුදු පියාණෙනි බෝධියට පිටදී

ඔබේ සිරිපා පියුම් යුග මා වඳිමි බැතියෙන් වෙසක් දිනදී

 

ඡ්‍යොතිෂවේදී කොබ්බෑවල

සුමනදාස වීරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.