රාජයෝග පහක් අභිබවා ජය ගෙනදුන් තඹකොළ රූපය

නොවැම්බර් 29, 2024

 

මානවයාගේ පැවැත්ම විද්‍යාත්මකව හදාරන්නන් විසින් “අභිචාර” ලෙසින් හඳුන්වන දෑ අතැඹුලක් සේ ගත් කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් පිළිබඳව වත්මන් පරපුරට මා හඳුන්වා දීමට කැමැති වනුයේ “පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක්” යන විශ්වීය සත්‍ය දකින යතිවරයකු යන්න පදනම් කර ගනිමිනි.

ආයුර්වේද ශාස්ත්‍රයේද කෙළ පැමිණි උන්වහන්සේ හමුවට අනපේක්ෂිතව යාපහුව ගම් පෙදෙසේ සිට දැඩිසේ ගිලන් වූ පුද්ගලයකු දිග ඇඳි පුටුවක හිඳුවා බම්බු දෙකක ගැට ගසා හතර කෙළවරින් කරමත ඔසවාගෙන ගම්මුන් හතර දෙනකු විසින් රැගෙන ආවේ දිසි ප්‍රතිකාර සඳහාය.

“ඩිංගිරි බණ්ඩෝ මේ ලෙඩාට අවශ්‍ය බෙහෙත් කොළයි අනිකුත් කලමනායි හනික ගිහින් කැළැවෙන් ගේන්න. එතකල් පණනල රැකගන්න අවැසිදෑ මම කරන්නම්.”

දුන්නෙන් මුදාහල ඊයක් සේ වන ලැහැබට රිංගා අවැසි ඖෂධ කොළ, පොතු යනාදී සියල්ල රැගෙන විත් බෙහෙත් වංගෙඩියේ කොටා තලපයක් සකසා අප හිමියන්ට භාරදුන් ඩිංගිරි බණ්ඩා ලෙඩා සතපවාහුන් හාන්සි පුටුවට යටින් සුවඳ බෙහෙත් කොට්ටම් දුම් අල්වන්නට විය. හිමියන්ද බලගතු මන්ත්‍රයක් ජීවම් කරමින් ලෙඩාගේ සර්වාංගයේම ඉතා වටිනා බෙහෙත් තෙල් ගල්වා ප්‍රතිකාර කළ සේක.

ගතවූයේ හෝරාවක් පමණි. ආගන්තුක ආතුරයා කෙමෙන් ඇස්හැර හිමියන් දෙස බලා දෙඅත් ඔසවා නමස්කාර කළේ සතුටු කඳුලු වගුරවමිනි. පසුව ඇඳි පුටුවෙන් බැස තම නිරුවත් දෙපයින් කොණ්ඩදණිය පින්බිමේ ඇවිද යාමට පටන් ගත්තේ රෝගියා රැගෙන ආ පිරිසද පුදුමයට පත් කරමිනි.

කිතුල් හකුරු සමඟ කොළ කැඳ කෝප්පයක් බී හිමියන්ට අනේක වාරයක් පින්දී ඔවුන් පිටවනවාත් සමඟම සුඛෝපභෝගී බෙන්ස් කාර් රථ දෙකක්ද, පර්ජෝ වර්ගයේ කාර් රථයක්ද කොණ්ඩදෙණිය පන්සලේ මහ ගේට්ටුව ඉදිරිපස නතර කෙරිණි.

“ඩිංගිරි බණ්ඩෝ හනිකට ඒ වාහන පන්සල් වත්තට ඇතුළු කරගන්න.”

ඉල් පොහොයෙන් පසු දෙවැනි සති අන්තයේ එකල රාජ්‍ය තන්ත්‍රයේ ඉහළින්ම සිටි කාන්තාවක කොණ්ඩදෙණිය පන්සලට පැමිණීමට අපේක්ෂා කරන බව දන්වා තිබුණේ නිල නොලත් ධූත පිරිසක් විසිනි.

පි‍්‍රය මනාප මේ ප්‍රභූවරියට අප හිමියන් ආමන්ත්‍රණය කරනුයේ ‘ලොකු නංගී” යන නමින්ය. ඉඳින් එම ‘මැතිණියට’ ඉඩසලස්වනු වස් එදින හිමියන් වෙනදාටත් කලින් පිබිද සුපුරුදු දෛනික වතාවත් සහ පිළිවෙත් ආදී කටයුතු සියල්ල නිම කළ සේක.

බෙන්ස් කාරයෙන් බැස පැමිණියේ එක් වරක් දුටු විට කෙනකු වශීකෘත වන තරම් ඉතා පැහැපත් පෙනුමැති තේජාන්විත ප්‍රභූවරියකි. ඇගේ රන්වන් පැහැති සිරුර ළා හිරු කිරණින් තවත් දිලිසෙන්නට විය. හිනැහෙන විට පෙළට පිහිටි මුතුවන් දත් දෙපළ සහ දෙදණ ඉක්මවා දිගට වැඩුණු කේශ කලාපය ඇයගේ පෙනුම තවත් ඔප කළේය. හොඳින් නෙරිය තබා ඇඳි ඔසරිය සහ රන්වන් පැහැති ප්‍රභූ අත්බෑගය ඇයගේ තේජස් ගති පැවතුම් සහිත රදළ පැළැන්තිය මොනවට විදහා පෑවේය.

“අවසරයි අපේ නායක හාමුදුරුවනේ” තමන්ට ආවේණික පිරිමි හඬින් ඇමතූ ඕ අප හිමියන් පාද නමස්කාර කළේ මහත් බැතියෙනි.

“තෙරුවන් සරණයි අපේ ලොකු නංගිට” අප හිමියන් ඇය ඇමතීමට පුරුදුව සිටියේ ‘ලොකු නංගී’ නමිනි.

“ඊයේ රත්වත්තේ වලව්වේ අනුරුද්ධ මල්ලි ඔබ වහන්සේට පණිවිඩයක් එව්වනේ මම එන බව කියලා.”

“ඔව්, ඔව් ඒත් මම හිතුවෙ නැහැ. කොළඹ ඉඳල එන නිසා මේ අරුමැක්කෙම ඒවි කියලා.”

“ඩිංගිරි බණ්ඩෝ, මේ අපේ නෝනා මහතුන් බරාදේ අමුත්තන්ගේ කාමරේට කැන්දාගෙන ගිහින් අර අලුත හදාපු නාන කාමරේ පෙන්වන්න මුහුණකට එහෙම හෝදගන්න. උදේට සප්පායම ඊයේ මං කියපු විදියහට හොඳින් කරන්න ඕනෑ.”

ප්‍රභූවරුන්ගේ විශේෂ කාමරයට අමුත්තන් පැමිණයේ වාහනවල තිබූ පිරිකර භාණ්ඩ රැසක්ද රැගෙනය.

“ඩිංගිරි බණ්ඩෝ මේ ඇත්තන්ගේ වැඩකටයුතු නිමවෙන්න හෝරා කිහිපයක් යාවි. ඒ හින්දා දවල්ට උයන්න පිහින්න ළඟ ගෙදර දායකයන් දෙන්නෙක් උදව් කරගන්න.”

“එහෙමයි හාමුදුරුවනේ”

නිවී සැනහිල්ලේ ප්‍රභූන් සමඟ කතිකාවට එළැඹි අප හිමියන් විමසා වදාළේ

“ඉතිං ඉතිං අපේ ලොකු නංගි මේ අරුමැක්කෙම හදිස්සියෙන් වගේ ආවේ.”

“අපි මේ පැත්තෙ ගමනක් යන ගමන් මෙහාටත් ගොඩවෙලා යන එක ඉතින් අපේ අනුරුද්ධ මල්ලිගෙත් මගෙත් පුරුද්දනේ හාමුදුරුවනේ. අනික මගේ බූදලේට අයිති බලංගොඩ මැණික් පතලෙන් හම්බවුණු නිල් මැණිකක් ඔපනංවල කපල ගෙනාවා විෂ්ණු දෙවි හාමුදුරුවන්ට පූජා කරන්න. ඒක ඔබ වහන්සේට පිළිගන්වන්නත් ඕනෑ, පොඩි ගුරුකමක් කර ගන්නත් තියෙනවා.”

“ඉතිං ලොකු නංගියේ මේ අය ඉස්සරහ මගේ ගුරුකම් පිළිවෙත් කළාට කමක් නැතිද?

“මේ අය සිවිල් හිටියට අපේ ආරක්ෂාවට එන ඥාති හිතවතුන් පිරිසක්.”

“එහෙනම් කාරි නැහැ ඉතිං. වෙනදා වගේම බුදු මැදුරයි බෝධියයි වන්දනාමාන කරලා ආපු කාරණය ඉෂ්ට සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරල එන්නකෝ.”

“එහෙමයි හාමුදුරුවනේ”

ඩිංගිරි බණ්ඩා රැගෙන ආ නෙලුම් මල් ද රැගෙන ඔවුන් වන්දනාමාන කටයුතුවල යෙදෙන අතර අප හිමියන් දේව මන්දිරයට පිවිස දේවාරධනාව සිදුකොට බලගතු මන්ත්‍රයක් ජප කළ සේක. ඒත් සමඟම සියලු දේව මණ්ඩලයේ දේව ප්‍රතිමා සෙලවෙන්නට විය. මැතිණිය ඇතුළු පිරිස පැමිණි කාරණය හිමියන්ට පසක් විණි. මඳ වේලාවකට මන්ත්‍ර ජප කිරීම නතර කළ හිමියන්

“ඩිංගිරි බණ්ඩෝ ඒ අමුත්තන්ව දේව මන්දිරයට එක්කන් එන්න.”

එහෙමයි හාමුදුරුවනේ.

ඔවුන්ගේ පැමිණීමත් සමඟ දේව මණ්ඩලයේ දේව ප්‍රතිමා ඉදිරියේ දැල්වුණු පහන්වල ආලෝකය වැඩි වී ප්‍රභාස්වරවන්නට විය. දේව ප්‍රතිමාවල ශීර්ෂ දෙස බලමින් වැඳගෙන සිටින ලෙස පැමිණි පිරිසට අප හිමියන් උපදෙස් දුන් සේක. බලවත් මන්ත්‍රයක් නැවතත් මහත් හඬනඟා පිරිත්නූල් පන්දුවකට ජප කරන්නට විය.

ගතවූයේ නිමේෂයකි. තඩි කලු පූසෙක් දේව මන්දිරයේ වසා තිබූ ජනෙල් පියන්පත් විවර කරමින් දේව මන්දිරය තුළට පැන අප හිමියන්ගේ දෙපාමුල දැවටිනි. ඒත් සමඟ පැතිරුණු සමන් පිච්ච මල් සුවඳින් මුළු දේව මන්දිරය පිරී යන්නට විය.

ඩිංගිරි බණ්ඩා සුවඳ දුම් දේව මන්දිරය පුරා අල්වන්නට විය. මැතිණිය ඉතා වටිනා නිල් මැණික විෂ්ණු දේව ප්‍රතිමාව ඉදිරියේ තැන්පත් කළාය. එම මැණික, පහන් ආලෝකය නිසා දිලිසෙමින් තව තවත් ප්‍රභාස්වර වන්නට විය. අප හිමියෝ හෝරාවක් තිස්සේ එක දිගට මන්ත්‍ර ජීවම් කර අවසානයේ දී දහස්වර පිරිත් කළ නූලට තවත් ප්‍රබල මන්ත්‍රයක් මතුරා මැතිණියගේ දකුණු අතේ බැන්ද වූ සේක.

“ඕන් මගේ වැඩේ අහවරයි. ඒත් ලොකු නංගිත් එක්ක මෙවර තරගයට එන අනික් එක් කෙනාගේ කේන්දරයත් බලන්නම ඕනෑ.”

“අපේ හාමුදුරුවනේ මහවල තැන්නෙ බංගලාවේ තිබිල එකත් අපේ අනුරුද්ධ මල්ලි බොහොම අමාරුවෙන් හොයා ගෙන මේ අරගෙන ඇවිත් තියෙන්නෙ..”

“බොහොම හොඳයි ඒක ගන්න බලන්න.”

කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියෝ එම කේන්ද්‍රය ගෙන සුපරීක්ෂා කාරීව බැලූ සේක.

“මේක මහ බලගතු කේන්ද්‍රයක් නොවැ... එතුමාටත් බලගතු රාජයෝග පහක්ම තියෙනවා....”

“අපිත් ඔය කාරණය දැනගෙනම තමයි මෙහාට ආවේ හාමුදුරුවනේ. ඒ රාජ යෝග පහ යටපත් කරන්න ප්‍රබල ගුරුකමක් කරල දෙන්න...”

“හැබැයි මෙතන ඉඳල මේ ගුරුකම කරල වැඩක් නැහැ. එතුමා ඉන්න කොළඹ පළාතේ ඉඳලම කරන්න ඕනෑ”.

“අපේ කොළඹ බංගලාවේ ඉඳල හරි ඒක කරල දෙන්න නායක හාමුදුරුවනේ. ඇය හිමියන්ට කන්නලව් කළාය.”

“හරි මම ඒක කොහොම හරි කරල දෙන්නම්කෝ. රොස්මිඩ් බංගලාවේ කාමරයක් හෝදල පිරිසුදු කරල කහවතුර ඉහළ වහල තියන්න. හෙට හැන්දෑකරේ මම අපේ ඩ්‍රයිවර් කොළුවයි, ඩිංගිරි බණ්ඩයි එක්ක ජීප් එකේ එන්නම්කෝ. අවශ්‍ය කළමනා ලෑස්ති කරල තියන්න.”

“එහෙමයි හාමුදුරුවනේ. එහෙනම් දැන් අපට කොළඹ යන්න අවසරයි.”

හිමි දෙපාමුල මහත් බැතියෙන් වැඳ වැටුණු එම මැතිණිය ඇතුළු පිරිස සමුගත්හ.

පසුදින ගොම්මනේ අප හිමියන් කොළඹ රොසමිඩ් පෙදෙසේ සුවිසල් මන්දිරයට වැඩම කළහ. පිටස්තර කිසිවකුට නොදැනෙන්නට තම කාර්යය ඉටු කිරීම උන්වහන්සේගේ අභිප්‍රාව විය.

රාත්‍රිය එළඹෙත්ම බංගලාවේ ඒ වෙනුවෙන්ම සලසා තිබූ කාමරයේදී කාහටත් නොපෙනෙන පරිදි තඹ කොළයක ඇති රූපයකට උල්කටුවකින් අනිමින් බලගතු ගුරුකම සිදු කෙරුණි.

එය කෙතරම් බලගතු ද යත් නිදි වර්ජිතව මුළු රාත්‍රිය පුරාම මහ හඬින් ඉතා බලගතු මන්ත්‍ර ජප කරත්ම කාමරයේ තැන්පත් කර තිබූ දේව ප්‍රතිමා ඉදිරියේ දැල්වූ පහන් ඒකාලෝක වන්නට විය. පසුදා පාන්දර වෙත්ම තඹපත් ඉරුව සම්පූර්ණයෙන්ම සිදුරු වී තිබිණි.

කාමරයේ පසෙක සූදානම් කර තිබූ කැකෑරෙන තෙල් බඳුනට එම තඹපත වැටෙන්නට සැලස්විණි. ටික වේලාවක් මුළු තෙල් බඳුනම දිලිසෙමින් ගිනි ගෙන එය එක් වරම නිවීයන්නට විය.

අප හිමියන් හිමිදිරි පාන්දර සියලු කටයුතු අවසන් කර හීල් දානය ද වළඳා සකස්කොට තිබූ සයනයේ සැතපෙන්නට වූ සේක.

ගතවූයේ හෝරාවක් පමණි. හිමියන් ඇමතූ ගෙහිමියන් පැවසුවේ “වැඩේ හරි.” යනුවෙනි.

සිය තරගකරු මානසිකව ඇද වැටී කෑමොර දී විකාර දොඩවමින් මුළු රාත්‍රිය පුරාම අන්ද මන්දව හැසිරුනු බව එම බංගලාවේම වෙසෙන විශ්වාස කටයුතු අයකුගෙන් දැන ගන්නට ලැබුණු බව ප්‍රභූවරිය පැවසුවාය.

“එහෙනම් මම ගිහින් එන්නම් මේ පැත්ත පළාතේ මම ආව බව නම් කාටවත් දැන ගන්ඩ ඉඩ හරින්න එපා. දැන් ඉතින් ඔබතුමියගේ ජයග්‍රහණය සිකුරුයි. මැතිණියනි, ඔබ මේ අපේ රටේ විතරක් නොව දේශ දේශාන්තරයේද නොමැකෙන නමක් දිනාගනු ඇති.”

වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවට එන දේශපාලන පොරපිටියේ දැවන්තයින් සහ ඔවුන්ගේ ධූත පිරිස් විවිධ අරමුණු ඉටුකර ගනුවස් අප්‍රසිද්ධියේ මැදියම් රෑ යාමේ වත් පිළිවෙත් සිදු කරගන්නේ මේ අයුරින්ම නොවන්නේ ද යන්න මට විස්මයක් ගෙන නොආවේ මේ කතා දැනගත් පසුවය. ඒ අතර තවදුරටත් තමන්ගේ ධනය හා ශ්‍රමය දේශපාලනයට වැය කිරීමෙන් ඵලක් වේ දැයි කල්තියා අනුරුද්ධ නායක හිමියන්ගෙන් දැන ගෙන දේශපාලන පොරපිටියෙන් ඉවත්වීමට තීරණය කළ පිරිස් බොහොමයකි. තිරයේ පිටුපස සිට දේශපාලන ශ්‍රමදානයට උන්වහන්සේ ද නිහඬව දායක වූවා යයි විටෙක මට සිතේ.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.