දියුණුවට අත්වැල් සපයන ගස්වැල්

මැයි 17, 2024

මනුෂ්‍යයත්, ස්වභාවධර්මයාත් අතර පවතින්නේ ඉතාම කිට්ටු සමීප සම්බන්ධතාවක්. කොටින්ම කිව්වොත් ජීවියාට ස්වභාවධර්මයා නැතිවම බැරිතරම්. ඒ බව බොහෝ දෙනා දැන හිටියත් මූල්‍යමය කෑදරකම නිසා ඒවා කපා විනාශ කර දමනවා.

ගස්වැල් කපා දැමිය යුතු ආකාරය “ශාක විද්‍යා” පොත්පත්වල “වනාන්තර පවත්වාගෙන යාමේ ක්‍රම” පොත්පත්වල ලියා තිබෙනවා. අවශ්‍ය වූ විටෙක ගසක් කපා දැමිය යුතු වන්නේ නම් ඒ සඳහා තවත් ගසක් හෝ ගස් කීපයක් රෝපණය කිරීම ගැනද දැනුම්වත් කර තිබෙනවා. කොටින්ම කිව්වොත් සමහර ගස්වැල් ඔබ දැනුම්වත්ව හෝ නොදැනුවත්ව ඔබේ ගෙවත්තේ පැළවීමෙන් හෝ පැළකිරීමෙන් ඒ මත ඔබේ දියුණුව හෝ පසුබැස්ම රඳා පවතිනවා.

අප ගෙවත්තේ ගස්වැල් රෝපණය කිරීමේදී විශේෂයෙන්ම අපි දැන ගත යුතු කරුණු බොහොමයක්ම පවතිනවා. සමහර පැළෑටි පෝච්චිවල පැළකර ඒවා රාත්‍රි කාලයෙදි නිවෙසින් පිටතට දැමිය යුතු බව අප දන්නමුත් එය නොකරන අය බොහෝ ඉන්නවා. එම පැළෑටිවලින් රාත්‍රියට පිටකරන අංගාරිකාම්ල වායුව (කාබන්ඩයොක්සයිඩ්)අපේ ජීවිතවලට තර්ජනයක් බව බොහෝ අය දන්නේ නැහැ. සාමාන්‍ය වශයෙන් පැළෑටි රාත්‍රියට අංගාරිකම්ල වායුව පිටකිරීමෙන් අවශ්‍ය අම්ලකර (ඔක්සිජන්) වායුව නොලැබෙන බව පමණක් ඔවුන් දන්නවා.

විශේෂයෙන් ගස්වැල් නොමැතිව මනුෂ්‍යයාට ජීවත්වීමට නොහැකි බව දැන දැනත් ගස්වැල් වැවීම ගැන වැඩි උනන්දුවක් නොදැක්වීම කනගාටුවට කරුණක්. කරුණු එසේ වුවත් දියුණු ලෝකයේ බොහෝ රටවල (වැඩිපුර කාන්තාර ඇති) හා හිස් මුඩු ඉඩම්වල එක එක ගස්වැල් රෝපණය කරගෙන යාම දැන් කරගෙන යනවා. සමහරු ඒවා නීතිගත කරලත් තිබෙනවා.

ලංකාව වැනි රටවල මෙය ඉතා සුළු වශයෙන් සිදු වුවත් ඇමෙරිකාව වැනි රටවල නම් මෙය ක්‍රමානුකූලව නීතිගත කරගෙන යනවා. මේ සඳහා ඒ ඒ ප්‍රාදේශීය සභා දැඩි උනන්දුවක් දක්වනවා. කොටින්ම කිව්වොත් ඒ ඒ ස්ථානවලට උචිත, ඒ රටට උචිත ගස්වැල් පමණක් සිටුවීම ගැන නීති පැනවී තිබෙනවා.

ඕනෑම නිවෙසක් පවතින, ව්‍යාපාරයක් පවතින ඉඩමක අපි වැවිය යුතු නොවැවිය යුතු තුරු ලතා ගැන කිසියම් අවබෝධයක් ඇති කිරීමෙන් ඒ පදිංචිකරුවන්ට, ව්‍යාපාර අයිතිකරුවන්ට දියුණුව සතුට ඇති කිරීමේ අපේක්ෂාවෙන් මේ සටහන ලියන්ට හිතුණා.

ඕනෑම නිවෙසක් ඉදිරියේ කටුගස් රෝපණය කිරීම උචිත නැති බව සාමාන්‍ය වශයෙන් කවුරුත් දන්නවා. නමුත් බෙලිගස ඉන් මුදාහැරිය යුතු බව දන්නෙ ටිකයි. බොහෝ දෙනා පියකරුභාවයට ගේ මිදුලේ බෝගන්විලා සිටුවීම කරනවා. ඒක අයහපත් ක්‍රියා ගෙන දෙනවා. එනම් පවුලේ රණ්ඩු සරුවල් ඇති කරනවා. නමුත් දෙහිගස මිදුලේ පැළකරනවා. දෙහි ගස පෝච්චිවල පැළ කරන්න එපා. දෙහි ගස කේලම් අසන ගහ ඒක විස නසන ගහ. වැවීමට සුදුසු ගහක්, ගෙඩි ඇවිත් පලදාව ඇත්නම් තවත් හොඳයි. දික්ගෙඩි නොවී කුඩාත් නොවි රවුම් දෙහි නම් වඩාත් හොඳයි. මේ ගැන එකත් කියන්නම ඕනෑ සිමෙන්ති පෝච්චි නම් පුපුරා ගිය පෝච්චි නම් අලුත් එකකට වහාම මාරු කරන්න.

තුන්ලෝකයටම පහළ වූ ශ්‍රේෂ්ඨතම ප්‍රාඥාවන්තයා අප තථාගතයන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිදු වුණේ ගහකොළ ඇති ස්ථානයක. ගෙමිදුලේ පැළ සිටුවීම වාස්තුකරණය නොවුණත් වාස්තු විද්‍යාවට එය ඍජුව හෝ වක්‍රව බලපානවා.

බොහෝ දෙනා ගෙමිදුලේ කිරිගහක් කියා අරලිය මල් සිටුවීම කරනවා. අරලිය මල ශෝකය සංකේතවත් කරන්නක්. පන්සල්වල සොහොන් බිම්වල ඒ ගස වැඩිපුර වවන්නෙ ඒකයි. මේ සටහන බලලා ගෙදර අරලිය ගස් කපා දමන්න එපා. සාමාන්‍යයෙන් වැඩි අතු කපා දමන්න. එච්චරයි හිත කලබලකර ගන්න එපා. සමස්තයක් වශයෙන් ගොරක, කාමරංගා වැනි රූස්ස ගස් වැවීමත් හොඳ නැහැ. කිසියම් කෙනෙක් ත්‍යාගයක් වශයෙන් සමහර පැළ පෝච්චි ගෙනාවට ඒ පැළය සුදුසු නම් පමණක් සිටුවන්න.

කණාටු වී ගිය ගස්ලබු ගහක් තිබෙනව නම් පලදාව නැත්නම් අදම කපා දමන්න. ගස්ලබු, පූජාවටවත් තබන්නෙ නැහැ. ඔබ කෝමාරිකා පැළයක් පෝච්චියක පැළ කර ප්‍රධාන උළුවස්සට පෙනෙන පරිදි පැළකරල නිවෙසේ පදිංචි අයගේ නීරෝගි තත්ත්වය තවදුරටත් රැක ගන්න. සමන් වැලක් සිටුවීමත් හොඳයි. සමන්පිච්ච හොඳ වුණාට ගැට පිච්ච, පෙති පහේ (ඝනකම පියලි 5) පිච්චත් වවන්ට නුසුදුසුයි. පදිංචි අයට තර්ජන ඇති කරනවා. ඒකත් ස්ථිර පදිංචිකරුවන්ට පමණයි. මේ හැම පැළයක්ම වෛද්‍ය විද්‍යාව අනුව බෙහෙතක් ඖෂධයක් වුණාට වාස්තු විද්‍යාවට කැප නැහැ. දේවදාර හොඳ වුණාට ඒවා මහ විශාල ගස් වනවා.

බොහෝ වශයෙන් රාහුගේ අපල කාලවලට සමහරු වැටිකෙයියා පැළ කරනවා. පැළ කළාටම වැඩක් නැහැ. සාත්තු නොකළහොත් ලෙඩ වැඩිවේවි. ඒ වගේම සෙනසුරුගේ අපල කාලවලට නුග පැළත් පැළ කරනවා. ඒක කරන්න ඕනෑ නැහැ. සෙනසුරාගේ අපල කාලවලට අත්හැර ගිය නුග ගහකට පහනක් දල්වා ඔබේ කරදරය ඉවත් කර ගන්න. ඒක බුධ දින හා ශනි දිනට සීමා කරන්න. පොල්තෙල් හැරෙන්ට අබතෙල් දල්වන්ට එපා.

සමහර වෘක්ෂවලට අධිපති වෘක්ෂදේවතාවන් නැතිවම නොවේ. ඒ අය ඒ ඒ තැන්වල ඉන්නෙ ඔබ අප සමඟ ඉන්න අපහසු නිසා. ඉතින් ඇයි අපි ඒ වගේ පැළ අපේ වත්තෙ සිටුවලා නැති කරදර ඇතිකර ගන්නේ.

ව්‍යාපාරික ඔබ ව්‍යාපාරික ස්ථානවල සෙවණ ලබන්න විශාල වශයෙන් මාර – කොළොන් වැනි ගස් වවනවා. එයින් සෙවණ ලබනව වගේම දියුණුව අඩුවනවා. ඒක වන්නෙ මුල් කාලයෙදි නොවේ. ගස හොඳට වැවුණාට පසු. ඒ නිසා ඒක නරකයි. දැන් ඒක කිව්වා කියල ඒ ගස් කපල දමන්ට එපා. ලොකු අතු විතරක් කපලා පොළොවට හිරුඑළිය එන්ට ඉඩ හරින්න. ඔය ලොකු ගස් කැපීම පාපයක්. ගස්වල ලොකු අතු කපල සති 2කින් ඔබේ ආදායම දියුණුව වැඩි වන හැටි බලා ගන්න.

අනවශ්‍ය ගස්වලට පහන් දල්වලා මානසික පීඩා ඇතිකරගන්ට එපා. එහෙම කළාම මුලදි මුදල් ටිකක් ලැබෙනවා, ඇත්ත තමයි, දෝස අවුස්සගෙන කනස්සලුවන්ට එපා. ලංකාවේ, ඉන්දියාවේ වැනි රටවල හරියට කරනවා මේක.

තවත් එකක් කියන්නම්. ඔය වැඩිපුර උෂ්ණාධික පලාත්වල මුරුංගා, කතුරුමුරුංගා වවලා වැඩි ආදායමක් ගන්නවා තමයි. ඒ ගස් ගේ බිමේ ඊසාන පැත්තෙන් විතරක් වවන්ට එපා.

නෙළුම්, මානලේ වැනි ජලයේ පිපෙන ජලජ පැළෑටි රෝපණය කිරීම නරක නැහැ. නමුත් නිරිත දිශාවට හා ඊශාන දිශාවට තිබෙන ජලජ පැළෑටි පෝච්චිවල වතුර පල්වෙන්න තබන්ට එපා. එහෙම තිබ්බොත් ගෙදර සතුට හා දරුවන්ගේ ඉගෙනීම දුර්වල වේවි. එහෙම නොතිබ්බොත් ගෙදර සතුට, සාමය වැඩිවී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සපල වේවි.

තව පුංචි දෙයක් කියන්නම් දරුවො පාසැල් ගිහිල්ල බඩගින්නෙ ඇවිල්ලා සපත්තු සෙරෙප්පු ප්‍රධාන දොර ළඟ තබනවා. පසුව නියම තැන අරගෙන තබන්ට අමතක වනවා. ඒකත් කරන්ට එපා. එක විටම සුදුසු තැන තබන්න. අනික ගෙමිදුල කොළ අතුගා ප්‍රධාන දොරට ඉදිරිපස රඳවන්ට එපා. මේවා ඔබ කරන්නෙ පස්සේ කරන්නම් කියලා ඒත් වැඩ අධිකකමින් ඒක අමතක වනවා.

ඔබේ ගෙදරට ව්‍යාපාරයට එන ඇස්වහ කටවහ දෝස නවත්වා ගන්ට පුංචි කෙම්ගුරුකමක් ලියනවා. කරල යහපත සලසා ගන්ට

“බෙහෙත් කඩේට ගිහිල්ලා කුඹුරුඇට 7ක් ගන්ට. වැඩි ගාණක් වන්නෙ නැහැ. හැබැයි මේ ඇට මඳ හෙලවෙන ඒවා වන්ට ඕනෑ. මේ කුඹුරුඇට ගෙදර ගෙනල්ලා හෝදල පිරිසුදුකරල කහවතුරෙන් හෝදලා හවසට හෝ උදේට ඔබ පිරිසුදු වෙලා ගෙට සාම්බ්‍රානි ටිකක් එහෙම දුම් අල්ලලා මේ කුඹුරු ඇට ඔබේ අල්ල උඩ තබාලා ඔබේ ආගමට අනුව ගාථාවක් හෝ ආරක්ෂක මන්ත්‍රයක් හෝ ඔරසමක් 21 වරක් ජපකරල ඔබේ නිවෙසේ ප්‍රධාන උළුවස්ස ළඟ තබන්න. දිනපතාම උදේ, සවස ඒවා පරීක්ෂා කරන්න. ඔබේ ගෙදරට අනවශ්‍ය අය ආවානම්, ගෙදරට අනවශ්‍ය ඇස්වහ කටවහ වැදුණ නම් මේ ඇට එකක් හෝ කීපයක ශබ්දය නවතීවි.” ඒකෙන් අවබෝධ කරගන්ට ගෙදරට එන්ට ඕන අය හා එපා අය. මේක කෙම් ගුරුකමක්. කෙම් ගුරුකම් කාටවත් කිය කියා කරන්නෙ නැහැ. ඒකත් මතක තියාගෙනම මේවා අත්හදා බලන්න.

 

පාරම්පරික ගුප්තවේදී, ඡ්‍යොතිෂවේදී, මීපේ ගණිතගේ

රංජිත් විද්‍යාරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.