තර්න්ලේ මැදුරේ ඇවිදින ඇටසැකිල්ල

මාර්තු 15, 2024

 

ඵ් මීට වසර කීපයකට පෙර බදාදා දිනයකි. ඵංගලන්තයේ නැඟෙනහිරට ගමන් කරමින් සිටි මා හට ඵක් දිනක් ලන්ඩනයේ නවාතැන් ගැනීමට සිදු වූයේය. ඵ් අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු කීපයක් යෙදී තිබුණු බැවිනි. නමුත් මෙසේ නතර වීම නිසා මා හට උදෑසනින් ගමන් අරඹන සීඝ්‍රගාමී දුම්රිය මඟහැරී ගියේය.

ඊළඟට සිකුරාදා සවස් භාගයේ ගමන් අරඹා බි‍රන්ඩිසි දක්වා යන තැපැල් දුම්රියට ගොඩ වෙනවා හැරෙන්නට වෙන විකල්පයක් මට තිබුණේ නැත. දුම්රිය හෝ නෞකා ගමනා ගමනයෙන් මම ලෙහෙසියෙන් වෙහෙසට පත් වන්නෙක් නොවෙමි. නමුත් යුරෝපය හා පැය හතළිස් අටක් තිස්සේ දුම්රියෙන් ගමන් කරන්නෝ මධ්‍යධරණී මුහුද හරහා නෞකා ගමනා ගමනයේ යෙදීමෙන් ඉතා ඉක්මනින් වෙහෙසට පත්වෙති. එහෙත් රාජකාරී කටයුතු කීපය නිසා නොවේ නම් ඵකදිගට දුම්රිය ගමනේ යෙදී සිටීම මගේද පුරුද්දක්ව තිබිණි. සාමාන්‍යයෙන් සංචාරකයන් සඳහා වූ මුහුදු යාත්‍රා චාරිකා ඇරඹෙන්නේ සැප්තැම්බරයේ ආරම්භයත් සමඟය. මෙවර මගේ චාරිකාව ක්ලායිස් නගරයේ සිට පැමිණි පී.ඇන්ඩ්.ඩ් සීඝ්‍රගාමී දුම්රියෙන් ඇරඹුණ අතර තවත් මගීන් කීපදෙනෙකුට වඩා මා සිටි මැදිරිය තුළ සිටියේ නැත. අනෙක් සෑම අවස්ථාවකදීම මෙන් මා ආහාර ගත්තේ අවන්හල් මැදිරිය තුළදිය. ඵය වෙනමම ආස්වාදයක් ගෙන දෙන කටයුත්තකි.

බොහෝ දුරට සන්ධ්‍යා කාලයේ පොතපත කියවීමේ යෙදෙමින් ද , දුම්පානය කළ හැකි මැදිරියට ගොස් ඕපාදූප කතා කිරීමෙන්ද , සමහර විට කෙටි නින්දකට වැටෙමින්ද ගමන් කළ අපි මේ ගෙවන දින දෙක තුන තුළ කුළුපග සමාජයක සාමාජිකයන් බවට පත් වුණෙමු.

කඩවසම් පුද්ගලයකු සේ හැඳීන්විය හැකි ඇලිස්ටෙස්යාර් කොල්වින් හඳුනා ගැනීමේ අවස්ථාව මා හට උදා වූයේ සමාජය තුළදීය. වැඩි උසක් නැති , නූස් නොමිටි යන තාලයෙන් අප හඳුන්වන වර්ගයේ පුද්ගල ස්වභාවයක් ඔහුට පිහිටා තිබූ අතර හිසකේ සුදු පැහැයට ළං වෙමින් පැවතුණි. රැවුල සම්පූර්ණ වශයෙන්ම බා තිබූ නිසා කෙසේදැයි කිව නොහැකි නමුදු රේසරයට නිසි පරිදි හසුනොවූ ඇතැම් රැවුල් කොට කියා පෑවේ ඔහු බොහෝ දුරට සුදු වූ රැවුලකට හිමිකම් කියන්නට ද ආසන්න බවකි. මැදිරියේ වූ අනෙක් සගයන්ට වඩා බොහෝ අඩුවෙන් කතා බහ කළ හේ දුම්රිය දුම්රිය සමාගම විසින් නිකුත් කළ කාලසටහන කියවීමට වැඩි කාලයක් ගත කළේය. එහෙත් ඔහුව නිරීක්ෂණය කළ මා හට පෙනී ගියේ ඵය කෙරෙහි වුවද නිසි අවධානයක් යොමු කරන්නට ඔහු අසමත්ව සිටින බවය. මන්ද යත් පුරා අඩ පැයක් ගත වුවද, ඔහු පොතෙහි එක පිටුවකට වඩා නොකිය වූ බව මා හට පැහැදිලිවම වැටහී ගිය බැවිනි. මා මුලදී සඳහන් කළ ආකාරයට හෙතෙම කතාව අඩු පුද්ගලයකු වුවද, මා සයිබීරියානු දුම්රිය සමාගමෙහි සේවය කර ඇතැයි දැන ගැනීමෙන් පසු ඔහු ද ඒ පිළිබඳ දෙපැයකට ආසන්න කාලයක් තිස්සේ මා හා එක දිගට කතා බහක නිරත වූයේය. නමුත් ඉන් අනතුරුව තවත් නිමේෂයක් තුළ කතා බහ කෙරෙහි වූ උනන්දුව අඩුවූ අතර, පෙර පරිදීම තමාගේ ම කල්පනා ලෝකය තුළ හුදෙකලා වන්නට පටන් ගත්තේය.

මෙවැනි දීර්ඝ චාරිකාවල යෙදීමෙන් ලබා ඇති අත්දැකීම්වලට අනුව එක එල්ලේ ධාවන වන දුම්රියක පැය තිස් හයක් ඉක්මවා ගමන් කිරීමෙන් අනතුරුව මගීන් වැඩි දෙනෙකුගේ මානසික එකාග්‍රතාවය මඳක් චංචල වන්නට පටන් ගනියි. එහෙත් මා හට අවබෝධ වූයේ කොල්වින්ගේ මානසික ව්‍යාකූලතාවය අනෙක් මගීන් මුහුණ දෙන තත්ත්වයට වඩා වෙනස් බවය. මෙහිදී ඔහුගේ ශාරීරික ස්වභාවය ගැන අධ්‍යයනයක යෙදෙන්නට මා පෙළඹුණේ නිරායාසයෙනි. ඔහුට ශක්තිමත් දෙඅතක් වූ අතර ඔහුගේ අත්ලේ රේඛා තිබුණේ ඉතා ස්වල්පයකි. පිළිවෙලට කපා තිබූ නියපොතු ඉතා පිරිසිදු වූ අතර, එක් අතෙක මෑතදී සුවය ලැබූ බව පෙනෙන ගැඹුරු කැපුම් තුවාලයක කැළලක් විය. එයින් යම් අද්භූත හැඟීමක් මා හට ඇති වුවද යම් තරමකට මම ද මානසික විඩාවකට පත්වී සිටි හෙයින් ගමනාන්තය වූ බි‍රන්ඩිසිවලට ළඟා වීමට පෙර පැය දෙක තුනක් හෝ නිදාගත යුතු යයි කල්පනා කළෙමි.

බිරන්ඩිසිවලින් බැස ගත් අපි කණ්ඩායම එහි වරායෙන් නෞකාවට නගින්නට ප්‍රථම ඉන්ටර්නැෂනල් නමින් හැඳීන් වූ හෝටලයකින් රාත්‍රී භෝජනය ලබා ගත්තෙමු. ආහාර ගැනීමෙන් අනතුරුව මා සුළු විවේකයක් ලබා ගනිමින් සිටියෙමි. ඇලිස්ටෙයාර් කොල්වින් අනපේක්ෂිත ලෙස මේ මොහොතේදී මම සොයා පැමිණියේය. “ඔබ මට විශේෂ උපකාරයක් කරන්නට තරම් කරුණාවන්ත වෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනව”

හෙතෙම ආයාචනාත්මක කට හඬකින් විමසුවේ කළ හැකි දෙයක්වී නම් ප්‍රතික්ෂේප කළ නොහැකි මානසික තත්ත්වයක් මා තුළ ඇති කරමිනි.

නමුත් කොල්වින් යන පුද්ගලයා හඳුනා ගෙන තවමත් පැය තිස් හයකට වඩා නැත. ඔහු කාගේ කවුදැයි, කවර නම් පුද්ගලයකුදැයි මම තවම නොදනිමි. ඇරත් අන්තර් මහාද්වීපික චාරිකාවකදී නාඳුනන්නෙකුට උපකාර කිරීමට සෙස්සෝ මැළිකමක් දක්වති. නමුත් මා තුළ ඇති වූ දෙගිඩියාව සඟවා ගනිමින් ඔහු වෙත සුහද සිනහවක් පෑවෙමි.

“ඔබට අවශ්‍ය උපකාරය මොකක්ද කියා දැන ගන්නට කැමැතියි. පුළුවන් දෙයක් නම් මම කරන්නම්”

“අපි ඔරිසිස් යාත්‍රාවේ ගමන් කරන විට කරුණාකරලා ඔබේ කැබින් එකේ නිදා ගන්නට මට අවසර දිය හැකිද?” යන්න ඔහුගේ ඉල්ලීම විය.

එය ඔහු මගෙන් ඇසුවේ රහසින් යමක් මුමුණන විලාසයකිනි.

“ මේක ලොකු යාත්‍රාවක්. ඉතින් ඔබට කැබින් එකක් වෙන්කර ගන්න පුලුවන්නේ?”

ඔහු කාමරයක් වෙන් කරගෙන නැතැයි සිතූ මම පැවසුවෙමි.

“ ඇත්තෙන්ම මම කැබින් එකක් වෙන් කරගෙනයි තියෙන්නේ. ඒත් ඔබේ කැබින් එකේ රාත්‍රිය ගත කරන්න පමණක් අවස්ථාව ලබා දුන්නොත් මම ඉතාමත් කෘතඥවෙනවා”

සැකයන් මුසුවූ භීතියක හැඟීම ඔහුගෙන් වසන් කරමින් මම මොහොතක් බලා සිටියෙමි.

(මතු සම්බන්ධයි.)තිස්ස ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.