ගැමි ජීවන සුවඳ හමන බක්මහ අසිරිය

අප්‍රේල් 7, 2023

  

ලොව සෑම ජාතියක්ම තම තමන්ගේ සංස්කෘතික ගති ලක්ෂණ ගෙන හැර පෑම සඳහා වසරේ එක් එක් දිනවල උත්සව පවත්වයි. හෙළයන් ඒ සඳහා උපයෝගී කොට ගත්තේ බක් මහයි. සිංහල සංස්කෘතිය එක්තැන් කොට ජය මඟුල් පවත්වන බක් මහ උලෙළ ජාතියේ ප්‍රෞඪත්වය දක්වන උලෙළක් වශයෙන් හැඳින්වීම ද නිවැරැදිය.

 

සූර්යයා, ගුරු කොට සැලකූ ජාතීන් විසින් මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයාගේ සංක්‍රමණය වන දිනය වශයෙන් හඳුන්වන සිංහල අලුත් අවුරුදු දිනය උසස් කොට සැලකීම ඈත අතීතයේ පටන් පැවත එන්නකි.

හෙළ ජාතියේ මහා උලෙළේ සම්භවය කවදා ඇරඹුණක් ද යන්න නිශ්චිත වශයෙන් පැවසීම අසීරුය. දින 365 ක් ගෙවී දින 365කට අඩිතාලම දැමීම මෙදින සිදුවේ. මේ දිනය ඉතා උසස් කොට සලකමින් විවිධ චාරිත්‍රවල යෙදෙන අයුරින් අපට පෙනී යන්නේ ජීවිතයේ නව පරිච්ඡේදයක්, කඩඉමක් ලෙසයි. වසරක් ගෙවී ඒ ගෙවී ගිය වසර දෙස ආපසු හැරී බලා, ඒ කාලපරිච්ඡේදය තුළ සිදුවූ සිදුවීම් පිළිබඳ අවලෝකනයක යෙදී අඩුපාඩු සපුරාගෙන නිවැරැදි වීමත්, සිදුවන වැරැදි සකස් කොට ගැනීමත්, ජීවිතයට අලුත් පදනමක් උදෙසා ආශීර්වාද ලබා ගැනීමත් මෙදින සිදු කෙරෙන කාර්යයන්ය. ලැබූ නව වසර දැහැමින් ජීවත්වීමට ඉටා ගැනීම සුබ ලක්ෂණයක් වශයෙන් හැඳින්විය හැකිය.

ජාතියේ හැම උලෙළක්ම ඇරඹුණේ සශ්‍රීකත්වය උදෙසාය. අස්වනු කපා නෙළා ගැනීමෙන් පසු එයට උපහාර දැක්වීම සඳහා විවිධ පූජා විධි, සිරිත් විරිත් පැවැත්වූ හා දැනට පවත්වන බව රහසක් නොවේ. මේ අනුව බක් මහ උලෙළ පවත්වන්නේද සශ්‍රීකත්වය පාදක කොට ගෙනය. මෙය බොහෝ දුරට සනාථ වන්නේ බක් මාසය මලින් බර නන් පලින් පිරි අස්වැන්න නෙළා ගත් අටුකොටු පිරුණු සමයක් වශයෙන් සලකන හෙයිනි. මේ අනුව සෑම මිනිස් හදවතක්ම ප්‍රබෝධවත් වී ජීවන සුවඳක් උද්වහනය කිරීමට තරම් ස්වභාවයක් බක් මහේදී දක්නට ලැබීම විශේෂත්වයකි.

සශ්‍රීකත්වයෙන් උද්දාමයට පත්වූ හෙළයා විවිධ සිරිත් විරිත් හා ඒ පී‍්‍රතිය ප්‍රකාශ කිරීම වස් ක්‍රීඩා රාශියක යෙදෙන බව ඉතිහාසය දෙසට නෙත් යොමු කළ විට සනාථ වන්නකි. සිංහල අවුරුදු චාරිත්‍ර විධි නව පරපුර විසින් කෙමෙන් අමතක කර දමන බවක් පෙනී යතත්, පෙර රජ දවස අවුරුදු දා අනුගමනය කළ අවුරුදු චාරිත්‍ර අද බොහෝ දුරට අභාවයට ගොස් තිබීම කනගාටුවට ද යන්න රොබට් නොක්ස් නමැති ඉංගී‍්‍රසි ජාතිකයා විසින් ලියන ලද “එදා හෙළ දිව“ නමැති කෘතියේ මෙසේ සඳහන්ව ඇත.

“රජ්ජුරුවෝ ඉස්සෝදා නා පියා ස්වර්ණාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව,පෙළ සැදී, සිටගත් බල’ සෙනඟ පරීක්ෂා කිරීම සඳහා මාලිගාවෙන් නික්මෙති. එම මොහොතෙහි ආචාර වෙඩි මුර කිහිපයක් තබනු ලැබේ.

ඉක්බිත්තෙන් අදිකාරම් – දිසාපති ආදි රජයේ උසස් නිලධාරිහු තම තමන්ගේ ස්ථානාන්තර වශයෙන්ද රට හා දිසා වශයෙන් ද, අලුත් අවුරුදු පෙනුම්කත් සඳහා ගෙන එනු ලබන ද්‍රව්‍ය අතර, රත්රන් ආභරණ ලෝහමය තැටි, අවි ආයුධ පිහි හා වස්ත්‍රාදිය ද වෙයි. මහරජුට පරිත්‍යාග කිරීම සඳහා මෙබඳු පඬුරු නැති තැනැත්තෝ මුදල් ප්‍රදානය කෙරෙති.”

“ජෝන් ඩේව්” සඳහන් කරන අන්දමට එදා රජ වාසලේ සිංහල අවුරුදු උලෙළ දා ප්‍රධාන තැනක් ගනු ලැබුවේ රාජ්‍ය වෛද්‍යවරයා හා දෛවඥවරයායි. එදා රාජ්‍ය වෛද්‍යවරයාට අයත් කාර්යය වූයේ නව ඖෂධ යුෂ යොදා කුඩා මුට්ටි 10ක් නාථ දේවාලයේදී පිළියෙල කිරීමත්, රාජ දෛවඥයා සුබ මුහුර්තයන් හයක් සඳහා නැකත් වට්ටෝරුවක් පිළියෙල කිරීමත් ය. ඒ නැකත් වට්ටෝරුව අනුව

අලුත් අවුරුද්ද පටන් ගන්නා දිනය හා මොහොත නානු මුර මංගල්‍යය පැවැත්විය යුතු නැකත

ආහාර අනුභවයට සුදුසු නැකත

වැඩ ඇල්ලීමට සුදුසු නැකත

ස්නානයට සුදුසු නැකත

රජුට තෑගිබෝග පිරිනැමීමට සුදුසු නැකත යනුවෙනි.

නැකතට මුල් තැන දීම සිංහලයන් තුළ එදා සිට පැවතගෙන ආ සිරිතකි. අලුත් අවුරුදු සමය තුළ නැකතට ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කිරීම අනුව අලුත් සැලියක් ගෙන කිරිබත් පිසීම ප්‍රථමයෙන්ම සිදුවන්නකි. පිසින ලද කිරිබත් කුල සිරිතට අනුව පවුලේ වැඩිහිටියා වන පියාගේ දෝතින්ම ගෙන අනුභව කිරීම සිංහල අවුරුද්ද දා සිදු වන විශේෂ කාර්යයකි. මෙයින් අප බලාපොරොත්තු වන්නේ නීරෝගි ජීවිතයක් ගත කිරීමත්, නිර්ආබාධිතව ලැබූ නව වසර හොඳින් ජීවත් වීමත් ය. වැඩ අත්හැරීම, ආහාර පිසීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, අලුත් වස්ත්‍රවලින් සැරසීම, හිසතෙල් ගෑම, නෑගම් යාම, රැකියා සඳහා පිටත්වීම ආදි සියල්ලම සිදු කරනුයේ නැකතකට අනුවය.

මේ සිංහල සිරිත් විරිත් කිසියම් ජාතියකින් සංස්කෘතියකින් ණයට ගත් ඒවා නොවේ. සිංහලයා බුදු සමයෙන් ලද හික්මීම අනුව අදීන හා සරල සිරිත් විරිත්වලට යොමුවූ බව පෙනේ. මෙම සිරිත් විරිත් වසර ගණනාවක් මුළුල්ලේම අඛණ්ඩව පවත්වාගෙන එන්නේ එහි ඵල වශයෙනි. මේ සිංහල සිරිත් විරිත් ලොව සෑම සංස්කෘතික ලක්ෂණවලට වඩා කැපී පෙනෙන්නේත්, අභිභවා යන්නේත්, ප්‍රෞඪත්වයෙන් ඉස්මතු වී ඇත්තේත් නිර්මල සංස්කෘතියක් අප සතුව ඇති බැවිනි. අවුරුදු සමය තුළ බුලත් හුරුල්ලට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. ගෙවී ගිය වසර තුළ සිදුවූ මතභේද අමනාපකම් දුර්මත දුරලා දෙගුරුන්ට හා වැඩිහිටියන්ට ද බුලත් හුරුළු දී වැඳ පුදා ලැබූ නව වසර තුළ හොඳ හිත ලියලා යාමට හා ආශීර්වාද ලබා ගැනීමට මහත් අනුබලයක් බුලත් හුරුල්ලෙන් ලැබේ.

ගමේ පන්සලට ගොස් එහි නායක හාමුදුරුවන් බැහැ දැක බුලත් හුරුල්ලක් දී වැඳීම බෞද්ධයන් වන අප අතින් සිදුවන තවත් වැදගත් චාරිත්‍රයකි. පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් ද අප බලාපොරොත්තු වන්නේ යහපත් ජීවිතයකට අනුශාසනය හා ආශීර්වාදයන්ය. දරුවන් දෙගුරුන්ටත්, සේවකයන් ස්වාමිවරුන්ටත් ගෝලයන් ගුරුවරුන්ටත්, බාලයන් වැඩිහිටියන්ටත්, දායකයන් හාමුදුරුවන්ටත් තම තමන්ගෙන් ඉටුවන යුතුකම් එපරිද්දෙන්ම ඉටුකරලීමට සිංහල අවුරුද්ද තුළදී අමතක නොකරයි.

අවුරුද්ද ළඟාවෙත්ම සියලුම නිවෙස්වල සුදු හුනු ගෑම, ගොම මැටි ගෑම ආදියෙන් පිරිසුදු කිරීමෙන්ද අපට සිතා ගත හැක්කේ සිංහල අවුරුද්ද නිසා හැම ජීවිතයක්ම තුළින් නැවුම් බවක් දැනවීමට සමත් වන බවයි. ළිඳ ඉඳුල් කිරීම ද සමඟ දසමහ දෝෂ එළියට දැමීම ආදී පෞරාණික චාරිත්‍ර විධි ද අදත් රැකීමට සිංහල අවුරුද්දේ දී ඇතැම් ප්‍රදේශවල ජනයා අමතක නොකරති. නව සඳ බැලීම වැනි සිරිත්වලින් අපේක්ෂා කරන්නේද ජීවිතය සෞභාග්‍යවත් කරගැනීමයි. පුංචි නිවහනේ සිට මහා මන්දිරය දක්වා දුප්පතුන්, පොහොසතුන් අතර කිසිම භේදයක් නොමැතිව සිනහවෙන් මුව පුරවාගෙන සිංහල අවුරුදු සිරිය එක ලෙසින් භුක්ති විඳීම ජාතියක් වශයෙන් සතුටට පත්විය හැකි කරුණකි.

කොහාගේ සුමිහිරි නාදයත්, එරබදු මල්වල පිපීමත්, සිංහල අවුරුදු චාරිත්‍රවලට මුල පිරීමක්ය. කාලය අනුව ඒවාද පිපී ඇත්තේ වසරක් ගෙවී තවත් වසරක් එළඹෙන තැන චාරිත්‍රවලට මුල පිරීමක් වශයෙනි. සතුට සියල්ලන් අතර, බෙදා දෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදිය තුරන් කර ලැබෙනුයේ සාමූහිකව ජීවත්වීමට අවුරුදු චාරිත්‍රවලින් ලැබෙනුයේ මහත් අනුබලයකි.

නීරෝගි ජීවිතයක් උදෙසා නීරෝගිමත් වැඩිහිටියෙකු ලවා නැකතට හිසතෙල් ගෑම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල අවසාන පුරුක වශයෙන් හැඳින්විය හැකිය.

 

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත

අරම ශ්‍රී ධම්මතිලක නාහිමි

 

----------------------

ගොතටුව පාරමිතාවේ හිස තෙල් ගෑමේ මහා මංගල්‍යය 16දා

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරයේ වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන හිස තෙල් ගෑමේ මහා මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අරම ශ්‍රී ධම්මතිලක නා හිමි ඇතුළු දායක පිරිස විධි විධාන යොදා ඇත. අපේ‍්‍රල් මස 16 වන ඉරිදා පූර්ව භාග 9.41ට රතු සහ කහ මිශ්‍ර වර්ණ ( තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද, පයට නුග පත් ද, තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යනු ඡ්‍යෝතිෂ නියමයයි. මෙහි විශේෂත්වයක් වන්නේ වසර ගණනාවක් පුරා දෛනිකව පිරිත් කරන ලද තලතෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් හා එඬරු තෙල් යොදා සකස් කර ගන්නා ලද තෙල් සහ කලාඳුරු අල, කුංකුමප්පු , සුදුහඳුන්, විෂ්ණු ක්‍රාන්තිය, ගොරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, බෙලිමුල්, වෙනිවැල් ගැට, ඊතණ, නෙළුම් දඬු , ගොඩමානෙල් අල, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, ඖෂධ වර්ග 14ක් යොදා සකසන ලද කෂාය හා නානු හිසතෙල් ගෑම සඳහා යොදා ගැනීමයි. මහා සංඝරත්නයේ පිරිත් දේශනා මධ්‍යයේ හිසතෙල් ගෑම සිදු කෙරේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.