වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නුග වෘක්ෂය පිදීමෙන් බලවත් වන සස යෝගය
කේන්දරයේ ග්‍රහයන් අතර පරිශ්‍රමය, වෙහෙස මහන්සිය, කැපවීම, පොදුජන සම්බන්ධතාවය, උත්සාහයෙන් ජයගැනීම, පිරිස්බලය හා ඉතා දැඩි වූ අභිලාෂයන්ගෙන් යුතුව ඉලක්කයන් සපයා ගැනීම තෙක් කටයුතු කිරීම සම්බන්ධ නියෝජනයක් ඇති කරන ග්‍රහයා ලෙස සෙනසුරු හැඳින්විය හැකිය.
සෙනසුරු, මකර, කුම්භ යන රාශි දෙකට අධිපතියාය. මකරය සෙනසුරුගේ ස්වක්ෂේත්‍ර රාශියයි. කුම්භය මූල ත්‍රිකෝණ රාශියයි. සෙනසුරු උච්ච වනුයේ තුලාවටය. ශාරීරික වශයෙන් සැලකීමේදී සෙනසුරු නහරවලට කාරකයා වේ. කාලපුරුෂ අවයවයක් වශයෙන් සලකන කල මකරය දණහිස් නියෝජනය කරයි.
කුම්භය දෙකෙණ්ඩ නියෝජනය කරයි. දණහිසත්, දෙකෙණ්ඩත් මුළු ශරීරයේම බර උසුලන අංග ප්‍රත්‍යාංගයත් වේ. එයම සාධකයක් කර ගනිමින් පුද්ගලයාගේ මුළු මහත් ජීවිතයේ බර ඉසිලීමේ කාර්යභාරය උරුම කරගෙන ඇත්තේ සෙනසුරුය.
සෙනසුරුගේ බලය
මේ සෙනසුරු කවරකුගේ හෝ කේන්දරයෙහි ඉතා බලවත්ව ඇත්නම් ඔහු මුළු මහත් ජීවිතයේම බර උසුලා ගනිමින් පසුපසට නොගොස් උට්ඨානවීර්යයෙන් කටයුතු කරන්නකු වේ. සෙනසුරු අනෙක් ග්‍රහයන් මෙන් හැඩවැඩ ඇති ලස්සන ස්වරූපයෙන් යුතු ආකර්ෂණීය පෙනුමක් ඇති ග්‍රහයකු ලෙස හඳුන්වන්නේ නැත. දුක, වේදනාව, පීඩනය, ප්‍රශ්න, ගැටලු, ආදී ජීවිතයෙහි දුක් දොම්නස් පැත්ත සෙනසුරුගේ නියෝජනයයි. සෙනසුරු ඉතා බලවත් නම් එම ජන්මියා දුක, පීඩනය, අසහනය වුවද රසවත් සාධකයක් සේ පිළිගන්නවා ඇත.
පොදුවේ සෙනසුරු පිළිබඳව සැලකීමේ දී තවත් විශේෂත්වයක් නම් මුළු මහත් ජීවිතයේ යම් යම් කාල පරිච්ඡේද යම් යම් ග්‍රහයන්ට උරුම වෙත්දී වයස අවුරුදු 70 සිට 120 දක්වා වූ අවුරුදු 50ක කාලසීමාව සෙනසුරුම පාලනය කිරීමයි. මෙනිසා සෙනසුරු බලවත්ව ශක්තිමත්ව ඔහුට ගැළපෙන ස්ථානවල සිටින අය දීර්ඝායුෂ සම්පත් ලබනු ඇත. 3,6,11 ආදී උපචය ස්ථානවල සෙනසුරු බලවත්ව සිටියි නම් ඔහු සියලු සතුරු බලවේග මැඩ ගනිමින් විරුද්ධවාදි බලවේග මැඩපවත්වමින් දැඩි කැපවීමකට හා ආයාසයෙන් ඉදිරියට යන ජයග්‍රාහකයකු වෙයි.
සෙනසුරු ගෙනදෙන පල
සෙනසුරු 6 වැන්නේ ඉතා බලවත්ව සිටියි නම් බෙහෙවින් දීර්ඝායුෂ ලබන්නේය. බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන්, පොකුණුවිට රේරුකානේ හිමියන් අවුරුදු 102ක් ජීවත්වූ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ වූහ. ජේ.ආර්. ජයවර්ධන ජනපතිතුමා වසර 90 ගණනක් ජීවත් විය. මේ හැම දෙනාගේම සෙනසුරු 6 වැන්නේ ඉතා බලවත්ව සිටියි. සෙනසුරු බලවත් වීමේ පමණක් නොව 6 වැන්නේ උපචය ස්ථාන ගත වීම ආයු බලය වැඩි කරන්නකි. තවද විශේෂ කොට සැලකීමේදී සෙනසුරු බලවත්වීම ද උපචය භාවගත වීම, රාශි බලයෙන් යුතුවීම ආදි යහපත් පිහිටීමෙන් පෝෂණය වී ඇත්නම් වයෝවෘද්ධ කාලයේ වුවද අබල දුබල නොවී ශාරීරික ශක්තියෙන් වැඩි වීමටත් එය හේතුවක් වේ. සමස්තයක් වශයෙන් සෙනසුරු 6 වැන්නේ සිටීම ජන්මියා තමා ගතකරන ජීවිතය තුළ කිසියම් වටිනාකමක් ඇතුව ජීවත්වීමට ඉඩ සලසන්නකි.
නිලඟ සිටිය සය වන රැස උන්නේ
පලකර සම්පත් සිප් අත් දන්නේ
මේ කාව්‍යාර්ධය අනුව සෙනසුරු 6 වැන්නේ සිටින්නේ නම් ශිල්ප ශාස්ත්‍රය දන්නා සම්පත් ඇති අයකු වන බව ජාතක රත්නයේ දැක්වේ. සෙනසුරු අසුබයෙකි. 6 ද අසුබය. එනිසා සෙනුසරු 6හි පිහිටීම අසුබ යැයි අන් සමහර ඡ්‍යොතිෂඥයෝ වැරදි ආකාරයෙන් සිතති. එහෙත් එය එසේ නොවේ. ඍණ ඍණ එකතු වීමෙන් ධන වන න්‍යාය යටතේ අසුබ වූ 6 වැන්නට අසුබ වූ සෙනසුරු සිටීමෙන් වඩා වැඩි යහපතක් ගෙන දෙන්නේය.
මේ ආකාරයෙන් සෙනසුරු අයුතු ආකාරයේ විපරීත ප්‍රතිපල ගෙන දෙන ග්‍රහයකු බවද තේරුම් ගත යුතුය. සස යෝගය සෙනසුරුගෙන් යෙදෙන ඉතා ප්‍රබලම පංච මහා පුරුෂ යෝගයකි.
සස යෝගය
සස යෝගය යෙදෙන ලග්න අතර මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ආදී ලග්න සඳහන් කළ හැකිය.
සස යෝගය ජාතක රත්නාකරයේ මෙසේ දක්වා ඇත.
සසයෙහි උපනුන් කළුවන් පැහැවෙති
වනයට ඇල්මැති කුරිරු බැල්ම වෙති
අනුනට රැවටිලි සැහැසි වූ නුවණැති
මවුහට සෙනෙහැති පරතිරි ගමනැති
යනුවෙනි. ජාතක රත්නයෙහි මෙසේ දක්වා ඇත.
දස ජම්මය සිව් සත සැනි සිටි කල
තොස කර දම් දෙසමින් නැණ සුවිපුල
යස සිරි පිරිවර අගසව් වේ බල
සස යෝගය ගුණ දසදෙස පල කළ
මේ අනුව සැලකීමේදී සස යෝගය ඇති පුද්ගලයෝ සුවිශේෂී වටිනාකමක් ඇති සමාජයෙහි යම් ප්‍රසිද්ධියක් ඇති අය වෙති.
සස යෝගය යෙදුණෝ
සසයෝගය ඇති බොහෝ අය ලොව පුරා සිටින මහා ව්‍යාපාරිකයන්ය. කර්මාන්තශාලා හිමියන් වැනි ඉහළම මට්ටමේ ධනවතුන් බලවතුන් බවට පත් වී ඇත. දේශපාලනය හරිහැටි කිරීමට නම් සෙනුසරු බලවත් විය යුතුය. සෙනසුරු පොදු ජන කාරකයා නිසාය. මෙරට සාමාන්‍ය මට්ටමේ පවුලකට සම්බන්ධ වූ ඉහළ තලයේ පවුල් සම්භවයක් නොමැති අයකු ලෙස සැලකූ අතිශය කාර්යශූර දේශපාලනඥයෙක් වශයෙන් සහ ජනාධිපතිවරයෙක් වශයෙන්ද නම් කළ හැකි රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා සෙනසුරු ඉතාම බලවත් වූ අයකු විය. දිනකට පැය දෙක තුනක් නිදා ගනිමින් මුළු කාලයම ජනතා මෙහෙවරටම වෙන් කළ දුක්පීඩන, අසහන බාධක කොට නොසලකමින් ඉදිරියට ගිය ඔහු සෙනසුරු උච්චව දිග්බලව වර්ගෝත්තමව සස යෝගය උදාකරමින් සිටි අයකු විය. සෙනසුරු එවැනි මහත් බලයකින් නොසිටියා නම් ඔහුට එවැනි තැනකට පැමිණීමට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැත. එය ප්‍රබල හොඳම සාධකයෙකි.
එතුමාගේ ලග්නය මේෂයයි. සෙනසුරු හිටියේ 7 වැන්නේය. උච්චව සස යෝගය ඇති කළා පමණක් නොව සෙනසුරු තුලා රාශියේ තුලා නවාංශකයේ උච්චව වර්ගෝත්තමවද සිටියේය. මෙහෙයින් යම් යම් වරප්‍රසාද ලාභී පන්තිය දෙදරුවා හරිමින් ඉහළම තැනකට පත්වීමට එතුමාට හැකිවූයේ සස යෝගයේ බලයෙනි. තවද රාජ්‍ය භාවාධිපතියා වු සෙනසුරු 10 වැන්න හිමි වෙමින් 10 වැන්නෙන් 10 වැන්නේ භාවත් භාව බලය උද්දීපනය කරමින් සස යෝගය උදා කළ නිසා මෙය ඉමහත් වටිනා කාරණයකි.
සස යෝගයෙන් උපන් අයට තමාගේ යෝග බල වඩ වඩා උද්දීපනය කර ගැනීමට විශේෂයෙන්ම කාකනිල් ගලක් පැලඳීම බෙහෙවින් යහපත්ය. සෙනසුරු ගේ වෘක්ෂය නුගය. එම නුග වෘක්ෂයට සෙනසුරුට අයත් පහත සඳහන් කවචයෙන් 19 වරක් කියා පැන් වත් කිරීම බෙහෙවින් යහපත්ය.
නීලාංඡන සමාභාසං
රවි පුත්‍රං යමාග්‍රජං
ඡයා මර්තන්ඩ සම්භූතං
තං නමාමී ශනේෂ්චරම්
විශේෂයෙන්ම සෙනසුරුගේ දේවත්වයට සම්බන්ධ කාරකයා වශයෙන් විෂ්ණු දිව්‍ය රාජයාණන් වහන්සේ සඳහන් කරයි. විෂ්ණු දෙවියන් උදෙසා පහත ගාථාව හත්වරක් කියා නිල්පාට මල් පූජා කිරීමෙන් වඩ වඩාත් වැඩි ආකර්ෂණයක් ලබාගත හැකිය.
නමාමි විෂ්ණු දේවංතං
සර්වාරක්ෂා විධායකං
අවිඝ්නං කුර්වතාං මය්හං
සර්ව කර්යේෂු සර්වදා
ආචාර්ය ජී. ඇම්. ගුණපාල