සඳු-බුධ කුජ-සිකුරු නරකට පිහිටීමෙන් බිහිවන විකෘති කාමාතුරයෝ

ජනවාරි 19, 2024

පසුගිය මාස කිහිපය තුළ ලංකාවේ ලිංගික අපචාර (sex abuse) නැතහොත් ලිංගික අපරාධ (sex crimes) පිළිබඳ වාර්තාවලට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල මූලික තැනක් ලබාදී තිබුණි. එසේම සමාජ මාධ්‍යයන් ඔස්සේද මෙවැනි තොරතුරු නිතරම පාහේ දන්නා ලදී.

ලංකාවේ පොලිස් වාර්තාවලට අනුව 2021 වසර තුළදී පමණක් කාන්තාවන් දූෂණය කිරීමේ සිද්ධින් 1382ක් වාර්තා වී ඇත. මෙයට හේතු වන්නෙ අධි කාමුකත්ව මානසික ආබාධය හෙවත් පැරපිලියාස් (Paraphilias) යනුවෙන් හඳුන්වන්නේ සාමාන්‍ය පුද්ගලයකු තුළ ස්වභාවිකව ලිංගිකත්වය පිළිබඳව ඇතිවන කැමැත්ත නැත්නම් කාම ආශාව ඉක්මවා යමින් ඇතිවන අධික කාමුකත්ව හැඟීමක් මත පදනම් වූ ලිංගික චර්යාවන්ය. මෙය බොහෝ විට හඳුන්වන අසාමාන්‍ය හෝ අස්වාභාවික ලිංගික චර්යා වශයෙනි. සිංහල සාහිත්‍යයෙහි මෙවන් අය හඳුන්වා ඇත්තේ කාමාතුරයන් යනුවෙනි.

මනෝවිද්‍යාවට අනුව මෙය චිත්ත වේගාත්මක මානසික ආබාධයක් වන අතර, මෙහි ස්වභාවය සලකා බලනවිට පෙනී යන්නේ එය සදාචාරාත්මක නොවන, නීතියට පටහැනි මෙන්ම සමාජය විසින් පිළිකුලෙන් හෙලා දකින චර්යාවලින් සමන්විත බවයි. කිසියම් පුද්ගලයකු තවත් අයකුගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් සංවාසයේ යෙදීම සහ වයස අවුරුදු 15ට අඩු ළමයින් සමඟ සියලුම ආකාරයේ ලිංගික කාර්යයන්හි යෙදීම නෛතික වශයෙන් ඉහත කී අපයෝජනයනට අයත් වේ.

ක්‍රියාත්මක වන ආකාරයට අනුව මෙම අධි කාමුකත්ව ආබාධය කොටස් කිහිපයකින් සමන්විත බව මනෝ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත.

ප්‍රදර්ශන කාමය: (Exhibitionism)

මින් අදහස් කරන්නේ යමෙකු තමන් විසින් හිතා මතා නොකරන බව හඟවමින් තමන්ගේ රහස් අවයව අන් අයට දැකීමට සැලැස්වීම තුළින් ඔවුන් තුළ මවිතවීමක් හෝ තිගැස්මක් ඇති කිරීමයි. නීතිමය වශයෙන් මෙය ලිංගික අපචාරවලට අයත් වූවත් මෙහි අරමුණ වන්නේ ලිංගික කටයුතු සඳහා අන්‍යයන් හෝ ඉලක්ක ගත අය පොළඹවා ගැනීම මෙන්ම සූක්ෂ්මව කිසියම් ලිංගික තෘප්තියක් ලැබීමයි. මෙවැනි දෑ බොහෝ විට සිදුවන්නේ වැඩි වශයෙන් කාන්තාවන් සිටින ස්ථානවලය.

අර්චන කාමය: (Fetishism)

මේ ආබාධයෙන් පෙළෙන අයකු කාන්තාවන්ගේ ඇඳුම් පැළදුම්, යට ඇදුම්, මේස් ,සපත්තු ,තිසර පට යනාදිය සොරකම් කර හෝ රහසිගතව ලබාගෙන ඒවා තුළින් කිසියම් ලිංගික උත්තේජනයක් ලබා ගැනීමට උත්සාහ කරයි.

කෞමාර කාමය: (Pedophilia)

මේ ආබාධයෙන් පෙළෙන අයගේ මූලික ලක්ෂණය වන්නේ ලිංගික කටයුතු සඳහා කිසිසේත් නොගැළපෙන කුඩා ළමයින් සහ ළදැරියන් යොදා ගැනීමයි. විශේෂයෙන් ළමයින් අනවශ්‍ය ලෙස සිප ගැනීම, නිරුවත් කිරීම, ශරීරය සහ ලිංගික අවයව ස්පර්ෂ කිරීම සහ ස්වයං වින්දනයට පෙළඹවීම මෙන්ම දූෂණය කිරීම මීට අයත් වේ. සමහර අය ළමයින්ට තර්ජනය කොට බියවද්දා මෙම ලිංගික කටයුතු කරනු ලබයි.

ස්වපීඩා කාමුකත්වය : (Masochism)

මින් අදහස් කරන්නේ මේ ආබාධයෙන් පෙළෙන අය බොහෝවිට ලිංගික ක්‍රියාවලදි අස්වාභාවික ලෙස තමාට හිංසා කර ගනිමින් සහ වින්දිතයාට හිංසාකිරීමේ කටයුතුවල නිරතවීම තුළින් කිසියම් ලිංගික ආස්වාදයක් ලැබීමයි. විශේෂයෙන් ලිංගික වශයෙන් උද්වේගකර අවස්ථාවට පැමිණි විට සහකාරිය දැඩි ලෙස හිංසාවට පැමිණවීම, හිතාමතාම ඇයට අවමන් කිරීම, ශරීරය සපා කෑම සහ වින්දිතයාගේ ලිංගික අවයවවලට හානි සිදුකිරීම ද කරනු ලබයි. එසේම ලිංගික ක්‍රියාවල උච්ච අවස්ථාවේදි මද වේලාවක් හුස්ම නොගෙන සිටීම නිසාද විවිධ ශ්වසන ගැටලු ඇති කර ගනී. බටහිර රටවලින් මෙවැනි සිදුවීම් නිරතුරුවම පාහේ වාර්තා වේ.

පරපීඩා කාමුකත්වය : (Sadism)

මේ මානසික ආබාධයෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ තම ලිංගික සහකාරිය හිංසාවට වේදනාවලට සහ විවිධ අපහසුතාවලට පත් කිරීම තුළින් ලිංගික වශයෙන් යම් ආස්වාදයක් ලබා ගැනීමයි. මෙවැනි අවස්ථාවලදි බෙහෙවින් කෲර සහ කලහකාරි ක්‍රියාකාරකම් සිදු වෙන අතර, සමහරවිට ලිංගික සහකාරිය මරාදැමීම පවා සිදු වන බව පෙනේ. කාන්තාවන් ළදැරියන් මෙන්ම පිරිමි ළමුන් පවා මෙවැනි සිදුවීම්වල වින්දිතයන් වන බව වාර්තා වී ඇත.

පරවේෂණ කාමුකත්වය: (Transvestism)

මේ ආබාධයෙහි විශේෂ ලක්ෂණය වන්නේ ලිංගික වශයෙන් උත්තේජනයක් ලබා ගැනීම සඳහා තරුණ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් යනාදිය යොදා ගැනීම හෝ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් හෝ යට ඇඳුම් ඇදගෙන ගෙන කාන්තාවක් ලෙස පෙනී සිටීමයි. මෙය අධි කාමුකත්ව ආබාධයක් වුවත් මෙමඟින් අන් අයට හානියක් සිදුනොවන අතර බොහෝවිට මෙවන් අය සමාජයේ හාස්‍යයට ලක්වන බව පෙනේ. එමෙන්ම ඔවුන් වැඩි වශයෙන් කාංසා සහ විශාධි ආබාධවලින් පෙළෙන බව සොයා ගෙන ඇත.

දර්ශාස්වාද කාමුකත්වය: (Voyeurism)

මේ මානසික ආබාධයෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ රහසිගතව කිසිවෙකුටත් නොදැනෙන ලෙසට අන් අය ඇඳුම් ගැලවීම, නිරුවත්ව සිටීම, ස්නානය කිරීම, ලිංගික කටයුතුවල නිරතවීම යනාදිය නැරඹීම තුළින් ලිංගික වශයෙන් උත්තේජනයක් ලබා ගැනීමයි. මේ ආබාධයෙන් වැඩි වශයෙන් පෙළෙන්නේ පුරුෂ පක්ෂයයි. කාන්තාවන් දිය නාන ස්ථානවල සැඟවී සිටීම, කාමරවල යතුරු සිදුරෙන් බැලීම, නාන කාමරවල කුඩා කැමරා සවිකිරීම මෙන්ම නිල් ඡායාරූප සහ චිත්‍රපට නැරඹීම යනාදිය මෙම ආබාධයෙන් පෙළෙන අය විසින් කරනු ලබන බව මනෝවිද්‍යඥයන් විසින් පෙන්වා දෙනු ලැබේ.

පැරපීලියාස් මානසික ආබාධය වැළඳීමට බලපාන නිශ්චිත හේතුවක් මෙතෙක් සොයා ගෙන නැති අතර, මනෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ළමා වියේදි මුහුණ පෑමට සිදුවන ලිංගික අපයෝජන මෙන්ම දෙමාපියන්ගේ අයහපත් ලිංගික චර්යාවන් දැකීමෙන් සිතෙහි ඇතිවන කම්පනය (trauma)  හේතුකොටගෙන පසු කලකදී මෙවැනි අයහපත් ලිංගික චර්යාවලට යොමුවිය හැකි බවයි.

පැරපිලියාස් ආබාධය සඳහා ලබා දෙන ප්‍රතිකාර සලකා බලනවිට මනෝවිද්‍යා උපදේශනය මෙන්ම ඖෂධ වර්ග ලබාදීම යන දෙඅංශයම ම මූලික වේ. විශේෂයෙන් බටහිර රටවල මානසික උපදේශනය මේ සඳහා වැඩි වශයෙන් යොදා ගනී.

මේ රෝගයට ගොදුරු වන අය පිළිබඳ ජන්ම පත්‍රයෙන් සොයාගත හැකිය. විශේෂයෙන් සිකුරු සහ කුජ සංයෝගවීමෙන් ඇතිවන අතිධාවන කාමයෝගය සමඟ සඳු සහ බුධ පීඩාවට පත්ව ඇති විට මෙවැනි ජන්මීන් බිහි වේ. සඳු සහ බුධ ජන්ම පත්‍රයේ දුෂ්ඨ ස්ථාන වන 6, 8 හෝ 12 සිටීමෙන් හෝ පාප දෘෂ්ටියට ලක්වීමෙන් පීඩා වේ. එයින් කේන්දර හිමියාගේ මනස අධිසංවේදී මෙන්ම මනෝභාවයන්ගේ ව්‍යාකූලත්වය (ඉමෝෂනල් ටෙන්ෂන් ) ඇති වන බැවින් යමක් කිරීමේ හොඳ නරක එකවර හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වීම එයට හේතුවයි.

 

මනෝවිද්‍යා උපදේශක සහ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

ටී. එම්. කුලරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.