අත්ලේ හැඩයෙන් හා වර්ණයෙන් හෙළිවන රහස්

දෙසැම්බර් 13, 2024

සමුද්‍ර නම් ඍෂිවරයා භාරතයට හඳුන්වාදුන් සාමුද්‍රික ශාස්ත්‍රය හෙවත් හස්තරේඛා විද්‍යාව මේ වන විට ලොව පුරා ප්‍රචලිතව ඇත. විවිධ දේශයන්හි ඇති විවිධ විද්‍යා විධි නියමයන්ට අනුකූල ලෙස විකාශනය වෙමින් පවතින මේ හස්ත රේඛා විද්‍යාව ලොව පුරා බොහෝදෙනකුගේ පිළිගැනීමට ලක්වූ පුළුල් විෂයයක් ලෙස ගෞරවයට පත්ව ඇති බව කිව යුතු නොවේ.

එවැනි වැදගත් ශාස්ත්‍රයක් පිළිබඳ දැනුමක් ලබා දීමයි මේ ලිපියේ අරමුණ. පළමුවෙන්ම අපේ අත්ලේ පිහිටීම පිළිබඳව සලකා බලමු.

එක් එක් පුද්ගලයන්ගේ අත්ල මත සුවිශේෂ වූ ලක්ෂණ දැකිය හැකි අතර තම උපතේ සිට ගෙන එන ලද පින් පව්සේම මේ සුවිශේෂ ලක්ෂණ ද වෙනස්වීම්වලට භාජනය නොවේ. එක් එක් පුද්ගලයන්ට අනන්‍යවූ ලක්ෂණ මේ තුළින් දැකිය හැකි අතර එමඟින් ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ චරිත ලක්ෂණ මෙන්ම ජීවිතයේ හැම සිදුවීමක් පිළිබඳවම දැනගත හැකිය. අත්ල පරීක්ෂා කිරීමේදී පුරුෂයකුගේ දකුණු අත්ලත් ස්ත්‍රියකගේ නම් වම් අත්ලත් පරීක්ෂා කළ යුතු බව ඇතැමුන් තුළ මතයක් පවතී. තවත් තැනක දැක්වෙන්නේ පුරුෂයකුගේ වම් අත වැඩි භාවිතයක් වේනම් වම් අතද, ස්ත්‍රියකගේ දකුණු අත වැඩි වශයෙන් භාවිත වන්නේ නම් දකුණු ූඅත පරීක්ෂා කළ යුතු බවය. කෙසේවුවද බොහෝදෙනකුගේ මතය වී ඇත්තේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අත්දෙකම පරීක්ෂා කළ යුතු බවය.

කෙනකුගේ අත්ල රෝස පැහැයෙන් යුක්ත නම් රේඛා පැහැදිලිව දිස්වේ නම් ඉතාමත් වාසනාවන්තය. ප්‍රසන්න වූ පෙනුමකින් යුක්ත කරුණාව, දයාව ඇති යහපත් ගතිගුණවලින් හෙබි එවන් අය සතුටින් විනෝදයෙන් කල්ගෙවන්නෝය. ඔවුහු වාසනාවන්ත විවාහ ජීවිතයකට ද හිමිකම් කියති. යමෙකුගේ අත්ල තද ගතියකින් යුක්තව කහ පැහැ වර්ණයෙන් යුක්තවූයේ නම් හෙතෙම පීත්තාධික ශරීරයක් ඇත්තාවූද එසේම අශෝභන සිතිවිලිවලින් යුතු අයකුද වෙයි. අන්‍යයන්ගේ දියුණුව නුරුස්සන, එසේම ඔවුන් දියුණුවීමට කොතෙක් උත්සාහ කළත් පලක් නොවන බව එම ලකුණුවලින් ප්‍රකට වේ. සුදුපැහැයෙන් යුතුවීමද අසුබ ය. සමාජයෙන් ඈත්ව සිටීමට හැමවිටම උත්සාහ කරන ඔවුන්ද වාසනා ගුණයෙන් හීනය. අත්ල කළු පැහැයෙන් යුතු අයෙක් නම් ආත්මාර්ථකාමී අයෙක් විය යුතුය. නිතර මුසාබස් තෙපලන එවැන්නකු තම දක්ෂතා සියල්ලම අයහපතට යොදවන්නකු වේ. අත්ල රක්තවර්ණයෙන් යුක්තවී නම් සම්පත් නොඅඩුව ලබන්නකු වන අතර අත්ල නිල්වන් පැහැයෙන් යුක්ත වූයේ නම් මත්ද්‍රව්‍ය නිසා ජීවිතය මෙන්ම තම වස්තුව ද විනාශ කරගන්නකු වෙයි. අත්ල පිරුණු මස් සහිතව සමතලා ලෙස වැඩී තිබීම ත්‍යාගශීලිබව පෙන්නුම් කිරීමකි. අත්ල තුනී නම් එය දෙමාපිය උරුමයන් නොලබන අයකුගේ ලක්ෂණයක් වන අතර අත්ල නොගැඹුරු වටකුරුව ඇත්තේ නම් එම උරුමයන් හිමි අයෙකු වේ. එමෙන්ම දියුණු මනසකට හා සංවේදී ජීවන චරිතයකට හිමිකම් ඇති අයට හතරැස් හැඩයකින් යුත් අත්ලක් හිමිය.

පිළිවෙළකට නොමැති අත්ල හිමි අයගේ ජීවිතය අවාසනාවන්තය. දූපත් සලකුණක් අත්ලේ රේඛා මත හෝ ග්‍රහ මණ්ඩලයක් මත සලකුණුවීමද සුබ නොවේ. ජීවන රේඛාව මත මේ දූපත් ලකුණු පෙන්නුම් කරයි නම් ශරීරයේ කොතනක හෝ ඇතිවන ආබාධයක් පෙන්නුම් කරයි. මේ අයුරින් ශීර්ෂ රේඛාවේ නම් ශීර්ෂාබාධද, හෘදය රේඛාවේ නම් හෘදය වස්තුව රෝගද ප්‍රකට කෙරේ. ධන රේඛාවේ දූපත් සලකුණක් වී නම් ආදායම් තත්ත්වයේ පහත වැටීමක් වන අතර එය රවි රේඛාවේ හෙවත් කීර්ති රේඛාවේ නම් තම ආත්ම ගරුත්වයට කැලලක් වන බවද පෙන්නුම් කරයි. කවයකට සමාන සලකුණක් අත්ලේ කුමන තැනක පිහිටියත් එයද අවාසනාවන්තය. විශේෂයෙන් චන්ද්‍ර මණ්ඩලයේ කවයක සලකුණක් හෝ කතිර සලකුණක් පිහිටියේ නම් ජලයෙන් සිදුවන අනතුරක් ප්‍රකට කෙරේ.

නෙළුමක පැහැයෙන් යුතු රත් පැහැති රේඛා සහ නොකැඩුණු, නොකැපුණු රේඛා පිහිටීම ධනය හා වාසනාව පෙන්නුම් කරයි. රේඛා කාලවර්ණවීම ප්‍රධාන රේඛා මැකීයාම අවාසනාවන්තය. විශේෂයෙන් ජීවන රේඛාව කෙළවර මැකී යන ස්වභාවයක් පෙන්නුම් කරයි නම් ලෙඩ රෝගවලින් පරිස්සම්වීම වැදගත් වේ.

ස්ත්‍රියකගේ අත්ලේ මාළුවකුගේ රුවක් හෝ නෙළුම් මලක සටහනක් විද්‍යමාන වේනම් එයද ඉතා වාසනාවන්තය. පිරිමි දරුපල එමඟින් පෙන්නුම් කරන අතර අත්ලේ දක්ෂිණාවෘත කවාකාර සටහනක්, ඊතලයක සටහනක් හෝ වේනම් ඇයට රජ බිසවකට සමාන යසඉසුරු හිමිවේ. යම් ස්ත්‍රියකගේ අත්ල කොටස ද මනා හැඩහුරුකමින් යුක්තද, රතුපාටින් දිලිසෙයි ද, කැපීගිය රේඛාවන් නොමැති රේඛාවන් කිහිපයකින් පමණක් යුක්තද එම රේඛාවන් පළල්ව පැහැදිලිව අත්ලේ මැද දෙසට ඒවා විහිදී පවතී නම් එම කාන්තාව ඒකාන්තයෙන්ම සමාජයේ ගෞරව ලබන උතුම්වූ මහා හේතු සම්පත්තියෙන් යුත් තැනැත්තියක් වන්නීය. ඇය ධනයෙන් හා වාසනාවෙන්ද යුක්තවන බව සාමුද්‍රික විද්‍යාවේ පෙන්නුම් කර ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.