වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ජයග්‍රහණය දුටු ඡ්‍යොතිෂවේදීන්ට විජයග්‍රහණය සැඟවූයේ චීනයද? නේපාලයද?
සමහර ගැටලුවලට පිළිතුරු ලැබෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු ලෙසිනි. හේතු ඵලවාදී දහමක් පිළිගන්නා අපට එවැනි විසඳුම් ගැන වුව ද සිතන්නට වන්නේ කැකිල්ලේ රජු මූල හේතුව සොයා ගන්නට උත්සාහ කළා ද යන්න අනුවය. ඡ්‍යොතිෂය වසර දහස් ගණනක් තිස්සේ පැවතෙන්නේ එහි ඇති ශාස්ත්‍රීය පදනම සහ ඍෂිවරුන් ලෙස හඳුන්වන මහා දැනුමැත්තන් එහි ඇති ගණිතමය සංකල්ප නිවැරැදිව අවබෝධ කරගනිමින්, ඒවායේ අඩුපාඩුකම්වලට ව්‍යතිරේක සපයමින් සොබා දහමේ වෙනස්කම්වලට අනුගතව ඒවා හැඩගැන්විය යුතු ආකාරය පිරික්සමින් වඩාත් නිවැරැදි අනාවැකි පලකරන්නට සමත් වූ බැවිනි.
සිදුහත් කුමරුගේ සිට ජේසු බිලිඳු දක්වා මෙන්ම වසර තුන්දහසකටත් පෙර සිට කියූ නාඩි වාක්‍යවල සිට නොස්ත්‍රදාමස් වැන්නන් දක්වා අපමණ සංඛ්‍යාවක් නිවැරැදි අනාවැකි ඉතිහාසය පුරා දැකගත හැකිවා මෙන්ම කාල නිර්ණය වෙනස් වුවද සිදුවීම නිවැරැදි, සිදුවීම නිශ්චිත නොවුවද කාලය නිවැරැදි ආකාරයේ අනාවැකි සහ සම්පූර්ණයෙන් වැරැදුණු අනාවැකි පවා සොයාගත හැකිය.
සමහරුන් ජ්‍යොතිෂය සපුරා ප්‍රතික්ෂේප කරන අතර ඇතැමුන් ජ්‍යොතිෂයට සලකන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි ආකාරයෙනි. ඒ කෙසේ වුවත් තම තමන්ගේ කටයුතුවලදී වඩා හොඳ දේ වෙනුවෙන් වේලාවක් බලා ගැනීමට රහසින් හෝ යොමු වන්නන් ගැන පසුකාලීනව රසකතා හෙළි වීම නොවැළැක්විය හැකි කරුණකි. පසුගිය මැතිවරණ වකවානුවේ එවැනි ප්‍රසිද්ධ රහස් මෙන්ම අප්‍රසිද්ධ රහස් රැසක් දැනගැනීමට මේ ක්ෂේත්‍රයේ සැරිසරන්නන්ට හැකි වූයේ විස්මිත තොරතුරු සමඟය. ඒ උඩින් මත්තෙන් කොපමණ ප්‍රතිරෝධීබවක් දැක්වූවද තමන්ට අවිනිශ්චිත අනාගතය පිළිබඳ සේයා මාත්‍රයක හෝ දැනීමක් ඇති කර ගැනීමට හැකි ඕනෑම දෙයක් වෙත ඇදී යෑම මිනිසත්බවේ මෙන්ම එයට ආවේණික කුතුහලයේ ලක්ෂණයක් නිසාවෙනි.
මහා රැල්ලක් ලෙස දක්නට තිබූ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ආකාරය සහ පාර්ලිමේන්තු මැතිවරණයේ එය විජයග්‍රහණයක් වූ ආකාරය මේ වන විට අතීතයට එක් වූ වාර්තාගත සංසිද්ධියක් බවට පත් වී හමාරය. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පිළිබඳ නිවැරැදිව අනාවැකි පල කළ බොහෝ ඡ්‍යොතිෂවේදීන්ට එහිදී ඇති වූ ප්‍රතිශත වෙනස පිළිබඳ පැවසීමට නොහැකි වීම ගැටලුවක් ලෙස නොදැනුණේ කෙසේ කීවත් එය ජයග්‍රහණයක්ම වූ බැවිනි. එහෙත් ඒ ප්‍රතිපලය සමඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ අනාවැකි පළ කිරීමේදී බොහෝ දෙනා හෙවණැල්ල නොපෑගෙන ප්‍රකාශ කිරීමට පරෙස්සම් වූ බව විවිධ මාධ්‍ය ඔස්සේ දැකගත හැකිය.
කෙසේ වෙතත් මෙවැනි අනාවැකි සාර්ථකව ප්‍රකාශ නොකිරීමට හේතු වන්නේ පෘථිවි තලය මත සිදුවන ඇතැම් ප්‍රබල සිදුවීම් පිළිබඳ විශාල සංවේදීතාවක් ලෝක ජනගහනයෙන් බහුතරයකට මෙන්ම ඡ්‍යොතිෂවේදීන්ටද නැති වීමදැයි විටෙක පැනයක් මතුවේ. ප්‍රබල ලෙස ගණිතය, ගුරුත්වාකර්ෂණය, තරංග, කම්පන ආදිය මත පදනම් වන ඡ්‍යොතිෂය කෙරෙහි පෘථිවි තලයේ ඇතිවන සියුම් වෙනස්කම් විශාල ලෙස බලපෑමක් ඇති කරවන බව පිළිගත යුතුය. ඒ අනුව බලන කල නේපාලයේ පිහිටි ලොව උසම ස්ථානය වන එවරස්ට් කන්දේ සිදු වූ භූමිකම්පාව නිසා ඒ කන්ද අඟලක පමණ ප්‍රමාණයකින් මිටි වූ බව මෙන්ම ඒ නිසා පෘථිවියේ හැඩයට ඇති වූ බලපෑම පිළිබඳ උනන්දුවක් දැක්වූ ඡ්‍යොතිෂවේදීන් සිටින්නේද යන්න එක් පැනයකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දු සහ යුරේසියන් භූමිතලවල මීටර හයක පමණ ඇති වූ ලිස්සා යෑම සහ මේ හේතු නිසා පොළොවේ ඇතිවන ගුරුත්ව වෙනස පිළිබඳ අවධානය යොමු කළ ඡ්‍යොතිෂාස්ත්‍රඥයන් සොයාගත්තේ මොනවාද යන්න අනෙක් පැනයයි.
එසේම චීනයේ ගංවතුර පාලනයටත්, ජලවිදුලිය නිපදවීමටත් යැංසි නදිය හරස් කර ත්‍රී ගෝජස් නමින් තැනූ දිගම වේල්ල නිසා පෘථිවියේ භ්‍රමණ වේගය දිනකට මයික්‍රෝ තත්පර 0.06කින් බාල වන බව පැවසේ. එයින් දිනක කාලයද ඒ තරමින් වැඩි වේ. මේවායින් පෘථිවියට ඇතිවන බලපෑම කුමක්ද? ග්‍රහලෝක මඟින් ලැබෙන කිරණ පෘථිවියට පැමිණීමේදී මේ වේගය බාල වීම නිසා වෙනසක් සිදුවේද? වේල්ල තැනීමෙන් පසු පොළොවේ හැඩය මධ්‍යයේදී තරමක් වටකුරු බවින් වැඩි වීම හා ධ්‍රැවාසන්නයේදී පැතලි වීම මෙන්ම නාසා ආයතනය පවසන පරිදි සෙන්ටිමීටර 80ක් පමණ නැඟෙනහිරට බර වීම එහි ලප්පා වීමට හෙවත් අංශක 23.5 ඇලවීමට වෙනසක් ගෙනාවේද? එයින් ග්‍රහ කිරණ පෘථිවියට එල්ල වන ආකාරයේ වෙනසක් සිදුවීද?
දිගු කලක් තිස්සේ මිනිසාගේ මැදිහත්වීමෙන් මෙන්ම ස්වාභාවිකව සිදු වූ මෙවැනි වෙනස්කම් නිසා අප රවි, සඳු, කුජ, බුධ, සිකුරු, ගුරු, සෙනසුරු වැනි ග්‍රහයන්ගේ සංක්‍රාන්ති පිළිබඳ කරන ගණනය කිරීම්වලට යම් වෙනසක් සිදුවේද?
බොහෝ ඡ්‍යොතිෂවේදීන් පැවසුවේ නොවැම්බර් 15 සෙනසුරු වක්‍රයෙන් මිදුණු පසු ඡන්දය පැවැත්වුවහොත් විශිෂ්ට ජයක් ලබන බව නම් ඒ දිනය දවසකින් පමණ වෙනස් වීමේදී ද එවැනිම ජයක් ලැබුවේ මෙවැනි හේතු නිසා අපට නොදැනීම දිනවකවානුවල ඇති වූ වෙනස නිසාද යන්න ඉදිරි අනාවැකි පැවසීමේදී වඩාත් අවධානයට ගතයුතු කරුණක් නොවන්නේදැයි අවධාරණය කළ යුතුව ඇත.