වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ජීව විද්‍යාවේ සැඟවුණු රාහු-කේතු
සමහර රෝගවලට කොපමණ පිළියම් කළත් සුව නොවන විට කේන්දරයවත් බැලීම ඡ්‍යොතිෂය විශ්වාස කරන රටවල බහුතරයකගේ සිරිතයි. එහිදී ඡ්‍යොතිෂවේදීන් පැවසීමට උත්සාහ දරන කරුණක් වනුයේ රාහු විසින් රෝගියාගේ රෝගය සඟවන බවය.
එබැවින් විවිධ වත්පිළිවෙත් පුරමින් වෛද්‍ය ප්‍රතිකාර කිරීම ද නිර්දේශ කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මීට පෙර පරම්පරාවලදී නම්, ඒ වෙනුවෙන් සෙත් ශාන්තියක් කරමින් තොවිලයක් නැටීමට පවා නිර්දේශ විය හැකිය.
මේ වනවිට ජීව විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති කරුණු අනුව සලකන කල අප මෙතෙක් ඉගෙනගෙන ඇති සෛල විද්‍යාවට ඔබ්බෙන් යන සෛල තුළ ඇති සියුම් දේහිකා මෙවැනි තත්ත්වයන්ට හේතු වන බව පැහැදිලි වේ. සෛලවල ඇති කුඩා දේහිකා ද පටලයකින් ආවරණය වී ඇති බව මෙතෙක් සැලකුවද එසේ ආවරණය නොවූ දේහිකා ස්වරූපයක් පවතින අතර ඒවායේ ක්‍රියාකාරීත්වය සෛලවල ආර් එන් ඒ හෙවත් සෛල ක්‍රියාකාරීත්වයට වැදගත් වන රයිබෝ නියුක්ලික් අම්ලයේ ස්වරූපය සැකසීමට හා බිඳීමට හේතු වන බව නව පර්යේෂණවල මතයයි.
සෛලයක මේ දේහිකාවල වෙනස්වීම් පිළිබඳ සොයා ගැනීම ඇල්සයිමර් හෙවත් මතකය ක්‍රමයෙන් ගිලිහී ශරීරයේ ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීමේ මෙන්ම මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් හීන කරන හන්ටින්ටන්ස් රෝගය සහ මොළයේ මෙන්ම සුෂුම්නාවේ ස්නායු ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් හීනවන ලූ ගෙරිග්ස් වැනි රෝගවලට ප්‍රතිකාර කිරීමේදී වැදගත් විය හැකි බව පැවසේ. එසේම මෙතෙක් ඖෂධ සොයාගත නොහැකි වූ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මේ නව පර්යේෂණයේ තොරතුරු දායක වන බව ඔවුන්ගේ විශ්වාසයයි.
විශ්වයේ ඇති සියලු ජීව අජීව කොටස්වලට ආවේණික කම්පනයක් ඇති බව දැන් රහසක් නොවේ. එබැවින් මේ කම්පනය වෙනස් කළ විට සෛලවල ක්‍රියාකාරීත්වය වෙනස් වන බවද අමුතුවෙන් කිව යුතු කරුණක් නොවනු ඇත. එවැනි තත්ත්වයන් වෙනස් කිරීමට අතීතයේ යොදා ගත් ශාන්තිකර්ම ආදියේදී භේරි නාදය, ගායනා ආදිය මඟින් ඇති කරන තරංගවල කම්පනය සෛලවල වෙනසක් ඇති කළ නිසාදෝ ඇතැම් සුව කළ නොහැකි රෝග ශාන්තිකර්මයකට පසු සුව වූ බව පැවසෙයි. එය දේහිකාවල ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇති කිරීමට සමත් වූවා යැයි සිතීමට මේ සමඟ අවකාශයක් ඇති වන්නේය.
ඒ සමඟම විහිළු තහළු මඟින් මිනිසාගේ සිත නිදහස් කිරීමත්, යකුන් එළවන මුවාවෙන් ආතුරයාට තමන් කෙරෙහි ඇති කරන විශ්වාසය, ආත්ම ශක්තිය මඟින් මනස ශක්තිමත් කරනවා සේම සිර වී තිබූ මානසික වියවුල්වලින් නිදහස් කර මනසට සුවය ලබා දීමෙන් ද ලෙඩ සුව වනවා විය හැකිය. රාහු කේතු වෙනුවෙන් කරන පිළිවෙත් මඟින් ද සිදු වන්නේ ඒ හා සමාන රසායනික වෙනස්කමකට අලගු තැබීමක් යැයි සිතීම වරදක් නොවේ. වැටකේ මල් පූජා කරන විට හා පූජාවට විවිධ සුවඳ දුම් අගිල් කපුරු ආදිය යොදන විට ඉබේ ඇති කෙරෙන සුගන්ධ ප්‍රතිකර්ම ආර්එන්ඒ මෙන්ම ඩීඑන්ඒවල වෙනස්කම් කිරීමට බලපාන දේහිකාවල ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා විය හැකිය. ඒ වෙනුවෙන් මනස යොදවන විට ඇති වන මානසික සුවය නිසා මෙතෙක් පැවතුණු පීඩනය හෝ ආතති ස්වභාවය වෙනස් වීමෙන් කායික රසායනය වෙනස් කරන්නට කරුණු යෙදිය හැකිය.
රාහු කේතු අපල දෙනවා යනු සෛල දේහිකාවලින් රහසේ නිකුත් කරන රසායනයන් හෝ සංයෝගවීම් මඟින් ඇති කෙරෙන වෙනස් ප්‍රතික්‍රියා නිසා මෙතෙක් දෙදෙනකු අතර පැවැති කාය රසායනිකය හෙවත් බොඩි කෙමිස්ට්‍රිය වෙනස් වීමෙන් වෙනදාට වඩා දෙදෙනා අතර නොපැහැදීමක් ඇති වනවා විය නොහැකිද? ඇතැම් විට අපට සූර්යයාගෙන් අධෝරක්ත කිරණ වැදී සමේ පිළිකා හට ගන්නා සේ වෙනත් ග්‍රහයන්ගෙන් නිකුත් කරන කිරණ වැටීම නිසා සෛලවල දේහිකා යම් යම් රසායන ද්‍රව්‍ය මුදා හැරීමෙන් අපගේ සාමාන්‍ය කායික හා මානසික ස්වභාවය වෙනස් වනවා දැයි දැන් දැන් සැකයක් මතුවනු ඇත. පැරැණි වෙදැදුරන් ඇතැම් රෝගීන්ට ප්‍රතිකාර නොකර වෙනත් වෙදැදුරකු වෙත යැව්වේ ඒ බොඩි කෙමිස්ට්‍රිය නොගැළපෙන නිසා තමන් කරන බෙහෙත රෝගියාට පත්තියං නොවන බව දැන හුන් බැවිනි. එවන් දැනීමක් ලැබීමට නම් ඡ්‍යොතිෂය මිත්‍යාවක් ලෙස හංවඩු ගසා පසෙක දමනවා වෙනුවට එහි ගණිත මිනිතය හා රසායනික සංයෝජනවල හා කම්පන සංඛ්‍යාතවල ප්‍රබලත්වය අවබෝධ කරගත යුතු වනු ඇත.
මෙතෙක් අප ශරීරය තුළම සැඟවී සිට ක්‍රියාත්මක වූ සෛල දේහිකාවල ක්‍රියාකාරීත්වය සැබැවින්ම රාහුගේ ලෙඩ සැඟවීම හා සමානය. මේ විද්‍යාත්මක කරුණ හා ඡ්‍යොතිශ් ශාස්ත්‍රය අතර ඇති අදෘෂ්‍යමාන බැඳීම අවබෝධ කරගන්නා හට දෙලොවම සැප සම්පත් ළඟාකර ගැනීමට මඟ පෑදෙනු නියතය.