දේශපාලනය ජනමාධ්‍ය හා ඡ්‍යොතිෂය

සැප්තැම්බර් 20, 2024

ජනමාධ්‍ය රටක හතරවැනි බල කණුව ලෙස පිළිගැනෙන්නේ බොහෝ කලක සිටය. රටක් ගොඩනැගීමටත් වැනසීමටත් ජනමාධ්‍යයේ ඇති බලය මේ වන විට මොනවට තහවුරු වී ඇති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

වෝටර්ගේට් සිදුවීම අනුව පොදු මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ජනමාධ්‍ය මඟින් කළ හැකි මෙහෙවර හා ඒ සඳහා මාධ්‍යකරුවන්ට ඇති අයිතිය පිළිබඳ මාධ්‍යකරණයේ හෝඩි පොතේ පවා සඳහන් වෙයි. එනිසා ජන මනස තමන්ට අවශ්‍ය දිශානුගතව හැසිරවීමේ මහා බලගතු ශක්තියක් මාධ්‍යකරුවන් සතුව පවතින බව අද යුගයේ සමාජ මාධ්‍යයක හැසිරෙන බහුතරයට පුන පුනා පැවසිය යුතු කරුණක් නොවනු ඇත.

ජනමාධ්‍ය අපක්ෂපාතීව හැසිරීම එහි මූලික අවශ්‍යතාවක් ලෙස ලොව පුරා පිළිගැනීමක් තිබුණ ද මෙලොව මාධ්‍යකරණයේ ආරම්භයේ සිට මේ මොහොත දක්වා එය පූර්ණ වශයෙන් පරමාදර්ශී ලෙස සිදු වූ අවස්ථා සොයා ගැනීම උගහටය.

එයට බොහෝ විට බලපාන්නේ ව්‍යාපාර, දේශපාලනය හා ජනමාධ්‍ය අතර ඇති අවියෝජනීය බැඳීම විය හැකිය. එය කෙතරම් ද යත් මේ වන විට දෙපිරිසට දෙපිරිස නැතිව බැරි තත්ත්වයක් ලෝකය පුරා දැකිය හැකිය. එසේම මාධ්‍යකරුවාගේ පෞද්ගලික දේශපාලන මතවාදය ඉස්මතු කිරීමේ සියුම් උපයෝගීතාවක් ජනමාධ්‍ය තුළින් ලබා ගන්නා ආකාරයද ලොව ප්‍රකට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල මෙන්ම ප්‍රකට සමාජ මාධ්‍ය ජාලවල ද දැකිය හැකි කරුණකි.

ඡ්‍යොතිෂය යනු ආලෝකයයි. අඳුරේ පවතින ජීවිතවලට ආලෝකය ලබා ගැනීමේ මඟ පෙන්වීම ඡ්‍යොතිෂවේදියාගේ පරම යුතුකම බව පැවසෙයි. එහිදී ඡ්‍යොතිෂවේදියා සත්‍යවාදී විය යුතු අතරම, තම සේවාලාභියා යම් උපද්‍රවයකට මුහුණ දීමට නියමිත නම් එයින් ගැළවීමේ යහපත් උපායමාර්ග පැහැදිලි කර දීමටද සමත් විය යුතුය. එයින් බලාපොරොත්තු වන්නේ සමස්ත සමාජයේ යහ පැවැත්ම සඳහා ඡ්‍යොතිෂවේදියාගේ සේවයයි.

එහෙත් ජනමාධ්‍ය හා දේශපාලනය සමඟ දැඩිව සම්බන්ධ වීමේදී ඡ්‍යොතිෂවේදියාගේ මේ සත්‍යවාදී බව මෙන්ම සමාජ යහපත උදෙසා කරන සේවය පසෙක ලෑමටත්, තමන් නියෝජනය කළත් නොකළත් ඒ මොහොත් පවතින ප්‍රවණතාවට ගැළපෙන දේශපාලන මතය හෝ මාධ්‍ය ආයතන විසින් යෝජනා කරන මතවාද වෙනුවෙන් පෙනී සිටීමට සිදු වනු දැකිය හැකිය. එය ග්‍රහ තරුවල සැබෑ බලපෑමට වඩා වෙළෙඳ භාණ්ඩයක් අලෙවි කිරීම සඳහා වන අවශ්‍යතාවයක ස්වභාවයක් ගනු ඇත. කෙටිකාලීනව ජනප්‍රිය වීමට මෙය හොඳ උපක්‍රමයක් වුවත් රටක් වශයෙන් සහ ශාස්ත්‍රීය විෂයයක් වශයෙන් සලකන කල ඡ්‍යොතිෂයට එයින් සිදු වන හානිය පිරිමැසිය නොහැක්කකි. පල කළ අනාවැකිය නිවැරැදි වුවහොත් දිනපතා සෙනඟ පෝලිම් තම කාර්යාලය ඉදිරිපිට සිටිය හැකිවා මෙන්ම එය වැරැදුණහොත් සිදුවන දේ පිළිබඳ බොහෝ නිදසුන් අප සියලුදෙනාටම මතක ඇතුවාට සැක නැත. එය තමන්ට හෝ මාධ්‍ය ආයතනයට පමණක් නොව සමස්ත ඡ්‍යොතිෂයටම පාරාවළල්ලක් වී එය මිථ්‍යාවක් යැයි පැවසීමට කැසකන්නවුන්ට නොමිලේ බලවත් ආයුධ සැපැයීමක් ද වනු නියතය. හේතුව ඡ්‍යොතිෂය නම් මහා විසල් සයුරේ ඇති ගැඹුරු ගණිතමය සංකල්ප පිළිබඳ සිතනවාට වඩා එය භාවිත කරන්නන්ගේ අඩුපාඩු මතින් විෂයය විවේචනයට ඇති ඉඩකඩ වැඩි බැවිනි.

එනිසා සියල්ල අලෙවි වන යුගයක, ඡ්‍යොතිෂය වැනි ශාස්ත්‍රීය විෂයයක් අලෙවි භාණ්ඩයක් ලෙස යොදාගෙන බොරදියේ මාළු බෑම සුබසෙත ප්‍රතිපත්තිය නොවන්නේමය. ඡ්‍යොතිෂය පවතින්නේ ජනතාවගේ යහපත සලසනු පිණිස මිස ජනමනස කුලප්පු කරමින් තවදුරටත් එකම පවුලේ එකිනෙකා අතර මෙන්ම සමාජයේ විවිධ අදහස් දරන්නන් අතර තරගකාරී හෝ වෛරී සිතිවිලි උද්දීපනය කිරීමට නොවන බව සුබසෙතෙහි විශ්වාසයයි.

තම සතුරාගේ සතුරා තමන්ගේ මිතුරාය යන ආකල්පය හෝ සතුරාට පහර දී මර්දනය කළ යුතුය යන ආකල්පය සුබවාදී ඡ්‍යොතිෂකරණයේ ලබා දෙන උපදෙසක් නොවේ.

ආලෝකය ලබා දෙන්නේ අඳුර නසන්නට මිස අඳුරෙන් අඳුරට ඇද වැටීමට නොවන බැවිනි.

දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැති බව මෙන්ම සැමදා ග්‍රහ තරු එකම ආකාරයෙන් නොපවතින බව අවබෝධ කරගෙන කටයුතු කරන ඡ්‍යොතිෂායුර්වේද පුවත්පතක් ලෙස ආලෝකයෙන් ජනතාවට සුබ සෙත සදන මැදුම් පිළිවෙතක් අනුගමනය කිරීම අපගේ අභිප්‍රාය වන්නේය. එබැවින් තරගකාරී සමාජය තුළ තවදුරටත් තරගයට පාඨකයා යොමු කරමින් මනස අවුල් කරනවා වෙනුවට ඔවුන් සැමට සුබ සහ සෙත ඇති කිරීමේ පරම යුතුකම පමණක් ම පැතීම සුබසෙත අරමුණ වන්නේමය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.