වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ආභස්සර බ්‍රහ්ම ලෝකය යනු බෙනූ ද?
සෞරග්‍රහ මණ්ඩලය ඇති වූයේ බෙනූ නම් ආකාශ වස්තුවක් නිසා බව ඊයේ පෙරේදා විද්‍යාඥයන් පිරිසක් සිය පර්යේෂණ වාර්තා නිකුත් කරමින් පවසා තිබේ. ජීවයේ සම්භවය පිළිබඳ පර්යේෂණවල යෙදෙන මේ පිරිසට වසර බිලියන හතරහමාරක් පැරැණි බෙනූගේ කොටස්වලින් අරුම පුදුම තොරතුරු රැසක් හමු වූ බව පැවසෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ උපතට බොහෝ පෙර සිට පැවැති මේ ආකාශ වස්තුව මඟින් පෘථිවියට ජීවය සහ ජලය ගෙන එන්නට ඇතැයි යන්න ඔවුන්ගේ සැකයයි. මෙයට පාදක වී ඇත්තේ නාසා ආයතනය මඟින් ඩොලර් බිලියනයක් වැය කරමින් වසර හතක් පුරා සිදු කළ ඔසිරිස්-රි එක්ස් මෙහෙයුම මඟින් ගෙනා බිනූගේ කොටස්වලින් ලද තොරතුරුය.
මහා පිපිරුම, මැවුම්වාදය ආදි සියල්ලට අභියෝග කළ හැකි අලුත් මතවාදයක් වන බිනූගේ කතාව බ්‍රහ්මජාල සූත්‍රය විනෝදයට හෝ කියවූවකුට අරුමයක් නොවනු ඇත. එහෙත් මෙය මූලාශ්‍ර කරගත්තා වුවද එසේ කළ බව පැවසීමට තරම් ජීවයේ සම්භවය ගැන සොයන අති බහුතරය කිසිදු හේතුවක් නිසා වත් නැමුණු සිතක් ඇති කරගන්නේ නැත.
මොවුන් එයින් ගම්‍යමාන කරන්නේ තමන් ද බුදු දහමේ කියැවෙන මහා සීලයට අයත් තිරශ්චීන විද්‍යාවන්ගෙන් තොරව නූතන විද්‍යාව පමණක් පරිහරණය කරන පිරිසක් කියාදැයි නොතේරේ. අංග ශාස්ත්‍රය, හස්ත රේඛා ශාස්ත්‍රය, ගෘහ වස්තු ශාස්ත්‍රය, නැකැත් කීම, වෙදකම, අංජනම් බැලීම, පේන කීම, ගුරුකම් කිරීම, ශාන්තිකර්ම කිරීම, වශීකරණය, යාග හෝම කිරීම වැනි දේ මඟින් ලාභ සත්කාර ලබමින් ජීවත් වීම වැනි මිථ්‍යාජීවයක යෙදීම තථාගතයන් වහන්සේ විසින් සිදු නොකරන බව මහා සීලයෙන් කියැවේ. එහෙත් එය බුදු ගුණ හා විමසන විට අල්පමාත්‍ර වූ දෙයක් බව ද බුදු වදනේ සඳහන්ය. එසේම බෝසත් චරිතය හා බැඳුණු බෞද්ධ සාහිත්‍යයේ අංග ලක්ෂණ මඟින් බුදුවරයකු වන බව පැවසීම, බුදු හිමියන් විසින්ම ලෙඩුන්ට සාත්තු කිරීම හා දිය කොරහක පාවෙන නෙළුම් මල් පෙත්තක් ඒ දියේ නොගිලී කොටස් දහසකට තීරු කිරීමට තරම් සැත්කම් ශාස්ත්‍රයේ නිපුණත්වයක් ශල්‍ය වෛද්‍යවරයකුට තිබිය යුතු බව පැවසීම වැනි දේ මඟින් වෙදකම ප්‍රතික්ෂේප නොකළ බවද පැහැදිලිය. එමෙන්ම අනියත සංසාරයේ භව දුක හඳුනා ගැනීමේ මඟ අහුරන මේ විද්‍යා සසර දිගු කරන බැවින් එලෙස හඳුන්වා දුන් බව නම් පැහැදිලිය.
මේ විශ්වයේ ඇති අනේක වූ රහස් සෙවීමට මිනිසා උනන්දු වූයේ අද ඊයෙක නොවේ. එහෙත් එය එක් මිනිසෙකුට හෝ පරපුරකට හෝ සොයා නිම කළ හැකි විෂයයක් ද නොවේ. එබැවිනි, බුදුන්වහන්සේ දේශනා කොට වදාළේ ලෝක විෂය අචින්ත්‍ය බැවින් සෙවීමෙන් පලක් නොවන බව.
එය තවත් තහවුරු වන සිදුවීමක් ලෙස සෙනසුරුගේ රැස් වළල්ල අතුරුදන් වීම සැලකිය හැකිය. මෙය දකින්නට වරම් ලැබෙන්නේ වසර අසූවකට වරක් බැවින් එය දුටු යම් පරපුරක් ලෝක විෂය කෙරෙහි විස්මය පළ කර මෙලොවින් සමු ගන්නවා ඇත. එහෙත් යළිදු එය දකින, විද්‍යාවෙන් හෝ ඡ්‍යොතිෂයෙන් අවබෝධ කර ගන්නා පරපුරට මෙය විස්මයක් නොව තවත් සංසිද්ධියක් පමණි.
අඟහරුගේ චුම්භක ක්ෂේත්‍රය දිවා කාලයට වඩා රාත්‍රියේ දුර්වල බව සොයා ගැනීම ද මෙවැනිම අරුමයක් හෝ සංසිද්ධියක් ලෙස දකින පරම්පරා ගැන කතා කළ හැකිය. මේ කුමන පරපුරකට අයත් වුව ද ඡ්‍යොතිෂවේදීන් සිටිය යුත්තේ අවදියෙනි. එයට හේතුව ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණියා වුව ද, බෙනූ ආකාශ වස්තුවෙන් ඇති වූවා වුවද මෙලොව ජීවය බිහි වූ දා පටන් ඉර, හඳ, තාරකාවල බලපෑම මේ මහ පොළොවේ ජීව අජීව යැයි සැලකෙන සියල්ලේ පැවැත්මට බලපාන බැවිනි. ඒ පිළිබඳ පළමුවෙනුත් අවසානයෙනුත් දැන සිටින ශාස්තඥයා වන්නේ ඡ්‍යොතිෂවේදියාය. එහි වෙනස්කම්වලින් මිනිසාගේ සිතට කයට ඇති මෙන්ම මේ මහ පොළොවට ඇති කරන බලපෑම පිළිබඳ අනාවැකි පළ කිරීමේ හැකියාව ඇත්තේ ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රය දන්නකුට පමණි. එබැවින් විද්‍යාවෙන් සොයා ගැනෙන අලුත් කරුණු වේවා, නක්ෂත්‍රයෙන් දැන සිටි පැරැණි කරුණු වේවා අතැඹුලක් සේ ගෙන ලෝක සත්ත්වයා හට සුබ සෙත සැලසීමට යාවත්කාලීන වූ දැනුමින් සන්නද්ධව සිටීම සියලු ඡ්‍යොතිෂවේදීන්ගේ යුතුකම මෙන්ම වගකීම වන්නේය.