රේඛා - මාන

අගෝස්තු 23, 2024

 

දිග, පළල සහ ගැඹුර පමණක් දැකිය හැකි ත්‍රිමාණ දෘෂ්ටියක් ඇති මිනිසුන් මුළු විශ්වයම දකින්නේ ඒ අයුරිනි. එනිසාම තිතක් හෙවත් ලක්ෂ්‍යයකට මානයක් නැති බව මිනිසා විශ්වාස කරයි. එය ශුන්‍ය මානය ලෙස නම් කරයි. ලක්ෂ්‍ය දෙකක් අතර අඳීන ඉරක් ඒක මාන යැයි කියයි. ඉරිවලින් අඳීන සැකිලි රූ ද්විමානය. එයට ඝනකමක් එකතු කළ විට ලැබෙන ගෝලාකාර හෝ කැටයක් වැනි පෙනුම ත්‍රිමාණ වේ. එය වඩාත් සාධාරණ පෙනුම මෙන්ම මිනිස් ජීවිතය දියුණු කළ, ලෝකය මවිත වන විද්‍යාත්මක සහ තාක්ෂණික සොයාගැනීම් සිදු කළ අද අප සියලු දෙනා දකින ලෝකය පවතින්නේ ත්‍රිමාණ දෘෂ්ටිය පදනම් කරගෙනය.

අයන්ස්ටයින් එයටම කාලය එකතු කරමින චතුර්මාන යැයි පැවසුවත් එය ඇසින් දැකිය හැකි මානයක් නොවේ. එහෙත් චතුර්මානය පැහැදිලි කරන්නට පහසුම ක්‍රමය ලෙස විද්‍යාඥයන් දක්වන්නේ ඝනකයන් දෙකක් ඇඳ එය යම් දුරකින් තබා ඒවා ඉරිමඟින් එකතු කළ විට එකක් තුළින් එකක් වරින්වර ගමන් කරන ලෙස පෙනුණ හොත් එය චතුර්මාණය පෙන්නුම් කරන අයුරු බවය. එය මවා ගැනීමට තරමක් අසීරු වුවත් සජීවීකරණ රූප මනසින් මැවිය හැකි අයට එහි ආකෘතියක් සිතින් මවාගත හැකි වනු ඇත.

මේ සියල්ලට අවසානයේ හේතු වන්නේ ලක්ෂ්‍යයයි. එයට මානයක් නැතියැයි කියන බැවින් අපට සාධාරණ හේතුව ලෙස දැක්විය හැක්කේ රේඛාවයි. ඉරි කැබැල්ලක් ලෙස ගණන් නොගෙන සිටිය ද රේඛාවලට කළ හැකි දේ කෙතරම් ද යන්න එයින් තහවුරු කරගත හැකි වනු ඇත. අපට දැකිය හැකි සියල්ල අවසානයේ අප දකින්නේ මේ රේඛා නිසාය. ත්‍රිමාණ නොවුණා නම්, පිස්සු පූසා හෝ ස්කූබි ඩූ වැනි සැකිලි රූ ලෙස පැතලිව අපටම අපව දැකිය හැකි වනු ඇත. එසේ වූවා නම් රේඛාවල වටිනාකම අපට මීට වඩා වැඩියෙන් දැනෙන්නට වුව හැකිය.

රේඛාවලින් අප ලෝකය දකිනවා සේම, අපේ සියලු රිද්මයන් නිර්මාණය වන්නේ රේඛා ඔස්සේය. සඳ රේඛා, ආදර රේඛා, නළලත රේඛා, රන් රේඛා වැනි දේ අතරින් අපේ දෛවය තීරණය වන්නේ හස්ත රේඛාවලිනි.

උපදින්නට පෙර සිටම උරුම කරගෙන එන පෙර භවයන්හි කර්ම විපාක දැක්වෙන භෞතිකව දැකිය හැකි සාධකය වන්නේ මිනිසකුගේ අත්ලේ රේඛාය. ඒ රේඛා ඒක මාණික වුවද එහි දිග, පළල මෙන්ම ගැඹුර යන ත්‍රිමාණය අදාළ පුද්ගලයාගේ දෛවයේ සියලු මානයන් ගෙන හැර දක්වන බව සාමුද්‍රිකා ශාස්ත්‍රයට අයත් හස්ත රේඛා ශාස්ත්‍රයෙන් දැනගත හැකි වනු ඇති බව විශ්වාසයයි.

අප රේඛාවලින් දකින ලෝකය මෙන්ම හස්ත රේඛාවලින් දකින ලෝකයද මිනිසකුගේ ගැඹුරු ජීවන පැතිකඩ පෙන්වාලීමට යොදා ගත හැකි වුවත් පුද්ගලයකුගේ විවිධ අවස්ථාවන්හිදී ඒ රේඛාවල වෙනස් වීම් දැකිය හැකි වෙයි. එය ගොඩනැඟිල්ලක් දකින රේඛා ඒ ගොඩනැඟිල්ලේ වෙනස්කම් සිදුවන විට වෙනස ද පෙන්වන්නාක් මෙනි. එසේම හොඳ කාලයට හොඳ රේඛා මතුවන්නටත්, නරක කාලයට නරක රේඛා මතුවන්නටත් හැකියාව පවතින ආකාරයටම අපගේ සිතිවිලි රේඛා තදින් ක්‍රියාත්මක කළ හැකි නම් ඒ අනුව හස්ත රේඛා වෙනස් කිරීමටද මිනිසකුට හැකියාව පවතී.

ඇතැමුන් තමන්ගේ දෛවය වෙනස් කරගන්නේ හස්ත රේඛා පෑන්තුඩකින් ඇඳීමෙන් බව අසන්නට ලැබීම එයට හොඳම උදාහරණයයි. එහිදී සිදුවන්නේ ඒ රේඛාව අඳීන වාරයක් පාසා තම සිත අදාළ කාරණය වෙත දැහැන්ගත වීමයි. ඒ මානසික යොමුව පුද්ගලයාගේ අධිෂ්ඨානයට හේතු වෙයි. ඔහු හෝ ඇය නිරන්තර තම අරමුණ වෙත යොමු වීමෙන් එය උඩුසිතට මෙන්ම යටි සිතට කා වැදුණු අවශ්‍යතාවක් බවට පත් වී විශ්වයට තම මනස සම්බන්ධ කරන රිදී රේඛාව ඔස්සේ පණිවිඩ ගමන් කරයි. එවිට අත්ලෙහි අලුත් රේඛාව ඇඳෙන අතරම තමන්ගේ දෛවයද ඒ අනුව වෙනස් වෙයි. මෙය සරලව අකුරු හා වචනවලට ගැළපුවද එතරම් සරල ක්‍රියාවක් නොවන බව ද කිව යුතුය. මේ සඳහා තමන්ගේ කුසල් අකුසල් ආදිය ද බලපාන බව අප අවබෝධ කරගත යුතුව ඇත.

ඒ කෙසේ වෙතත් පවතින දෛවය වෙනස් කිරීමට හැකි දෛවයක් කෙනකු ලබන්නේ ද දෛවයේම අවශ්‍යතාව මතය. ඒ වෙනසට මුල පිරිය යුත්තේ තමන්මය. එය ග්‍රහයන්ගේ බලපෑම, හස්තරේඛා වෙනස් කිරීම, වාස්තු දෝෂ ඉවත් කිරීම හෝ මොනයම් ආකාරයකින් හෝ හැඳීන්විය හැකිය. එහෙත් ඒ වෙනස් කිරීම හෝ නොකිරීමේ අයිතිය මෙන්ම හැකියාව අත්තේ තමන්ටමය. ඡ්‍යොතිෂවේදීන් වැනි අන් කවරකුට හෝ කළ හැක්කේ ඒ පිළිබඳ පුරෝකථන හා පිළියම් පැවසීම පමණි. ඒ තමන්ගේ ජීවිතයේ අයිතිකරු මෙන්ම දෛවයේ අයිතිකරු වන්නේ ද තමන්ම බැවිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.