අභියෝග සහ ඡ්‍යොතිෂය

අගෝස්තු 2, 2024

උපතක් ලද මොහොතේ සිට සෑම ජීවියකුම මුහුණ දෙන්නේ අභියෝගවලටය. ඒ සැමෙකකටම ප්‍රධාන වන්නේ ජීවිතය රැක ගැනීමේ පදනම සකසා ගැනීමයි. මිනිසුන්ට පමණක් නොව සතුන්ට හා ගහ කොළ වැනි ප්‍රාණයක් සහිත සියලු දේට මෙන්ම හොඳීන් සිතා බැලුව හොත් අප්‍රාණික දේහි පැවැත්ම ද මේ විශ්වය තුළ අභියෝගයට ලක්වන බව පැහැදිලි වනු ඇත.

එහෙත් මේ සියල්ල අභියෝග ලෙස නොදැනෙන්නේ පොදුවේ සියලු දෙනා ආහාර, ඇඳුම් පැලඳුම්, අධ්‍යාපනය, නිවාස, රැකියාව, ආදර සම්බන්ධතා, රෝග පීඩා ආදිය වෙනුවෙන් වෙහෙසෙන බැවිනි. සියලු දෙනා එකම දෙයකට එකම ආකාරයකට මුහුණ දෙන විට එය පොදු අත්දැකීමක් නිසා ස්වභාවය යැයි සිතනවා මිස අභියෝගයක් ලෙස සැලකීමට කිසිවකු සිතන්නේ නැත. සමාජ, ආර්ථික, සංස්කෘතික කරුණු ලෙස සලකා මුහුණ දෙන ඒ කරුණුම වඩාත් වෙනස් ආකාරයකින් තමන් වෙත එල්ල වන විට කෙනකුට එය අභියෝගයක් ලෙස දැනෙන්නට පටන් ගනී.

නිදසුනක් ලෙස අන් අයට වඩා ලස්සන විශාල නිවෙසක් ඉදි කිරීමට පටන්ගත් මොහොතේ සිට එය අභියෝගයක් වනවා සේම අන් අයට වඩා මිල අධික වාහනයක්, උසස් රැකියාවක්, වැඩි අධ්‍යාපනයක් පවා අභියෝගයකි. එසේම හොඳ විවාහයක්, යහපත් පෙම්වතෙක්, රූපත් ගුණවත් පෙම්වතියක් සොයා ගැනීමද අභියෝගයක්මය.

සතුන් මෙන් ආහාර පාන ආදිය වෙනුවෙන් එළිපිට පොර නොකෑව ද මිනිසුන් මුදල් යොදමින් කරන්නේ ද ඒ ආකාරයේම පොරයකි. ඒ අභියෝගයෙන් දිනන්නේ ඇති හැකි අයය. අලි ඇතුන් හෝ වෙනත් මෘගයන් මෙන් පිරිමි සතාගේ ශක්තිය අභියෝගයට ලක් කර ගැහැනු සතකු සමඟ එක් වීමට අවස්ථාව සලසා ගැනීමට මිනිසුන් එළිපිට ඉදිරිපත් නොවුණ ද තම ධනය, බලය හා කීර්තිය යොදා ගනිමින් ඒ අභියෝගයට මිනිසුන් මුහුණ දෙන්නේ වෙනස් ආකාරයකටය.

රෝග පීඩා ආදියේදී ද සතුන්ගේ චාරය වෙනස් වුවද මිනිසුන් කරන්නේ වැඩි මිලක් දී හෝ තමාගේ රෝගයට වඩාත් ගුණාත්මක බෙහෙත් වර්ග අයිති කර ගැනීමට හැකි වන ආකාරයෙන් මුදල් වියදම් කිරීමට උත්සාහ කිරීමක් බව කීවොත් අකැමැත්තෙන් හෝ පිළිගන්නට සිදු වනු ඇත. අධ්‍යාපනය සම්බන්ධයෙන් වුව ද තමන්ගේ දරුවාට වඩාත් හොඳ පාසලක්, පිටරට අධ්‍යාපනයක්, වැඩි පඩි ලැබෙන රැකියාවක් සොයා ගැනීම තරගයක් සේම අභියෝගයකි.

මේ සියල්ල පොදුවේ සියලු දෙනාම පාහේ කරන බැවින් අභියෝග දැයි සිතන්නටවත් හැල්මේ දුවන මිනිසුන්ට වේලාවක් නැත.

එහෙත් තනි තනි මිනිසුන් ගත් කල තමන්ට අවශ්‍ය දෙයක් ලබා ගැනීමට ශක්තිය නැති බව දැනෙන විට එය අභියෝගයක් ලෙස සැලකීම දැකිය හැකිය. පොදුවේ පාසල් අධ්‍යාපනය නතර වූ විට අභියෝගයක් සේ නොසලකන මවුපියන්ට, තම දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වන පෙනුමක් ඇත්නම් එය අභියෝගයකි. එනිසා දරුවාට යම් අපල උපද්‍රවයක් ඇත්දැයි දැන ගැනීමට උනන්දුව ඇති වෙයි. ඔවුන්ට ඡ්‍යොතිෂය හෝ ගුප්ත විද්‍යාව හෝ වෙන යම් ඕනෑම ප්‍රතිකර්මයක් අවශ්‍ය වන්නේ එවිටය. ඡ්‍යොතිෂවේදීන් බොරු කරන්නන් යැයි ද ගුප්තවේදීන් හොරුන් යැයි ද පවසන ඔවුන් වාස්තු විද්‍යාත්මකව නිවෙස සැලසුම් කිරීමටත්, යන්ත්‍රයක් දරුවාගේ කර පැලඳවීමටත්, කේන්දරයෙන් කියන අපල සඳහා පිළියම් කිරීමටත් නොපැකිළ ඉදිරිපත් වෙනු පෙනේ.

එයට කම් නැත. එහෙත් අභියෝග යනු කුමක්ද යන්න පැහැදිලිව හඳුනා ගන්නේ නම් ඊට වඩා යහපත් ලෝකයක් ගොඩ නැඟීමට අප සියලු දෙනාට එක් විය හැකි වනු ඇත. යමක් අභියෝගයක් ලෙස අප දකින්නේ එය අප ඇඟට ගන්නා විදිය අනුව යැයි කීවොත් නිවැරැදිය. කෙනකුට අභියෝගයක් වන දෙයක් තවත් කෙනකුට සාමාන්‍ය වන්නේ එනිසාය. අල්පේච්ඡතාව පිළිබඳ දේශනා කළ මනා දහමක් පිළිපදින අපට ලෞකික වශයෙන් එන අභියෝගවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ ඒ දහමෙන්ම අවබෝධ කරගත හැකිය. ප්‍රශ්නය තමාගේ කර නොගෙන ප්‍රශ්නයෙන් පිට සිට සිතන විට ද පිළිතුරු රැසක් ලැබෙන බව පැහැදිලිය. එනිසා තනි තනිව මුහුණ දෙන අභියෝග මෙන්ම පොදුවේ මුහුණ දෙන අභියෝග වෙනුවෙන් ද අප සුබවාදී තරංගයක් විශ්වයට මුදා හරිමින් එකම සිතුවිල්ලකින් යමක් පතන්නේ නම් එය අපට ඉටු කරගැනීමට ඇති හැකියාව වැඩිය. එනිසා පෞද්ගලික අභියෝග මෙන්ම පොදු අභියෝග වෙනුවෙන් ඡ්‍යොතිෂය වැනි ශාස්ත්‍රවලින් කියැවෙන සුබවාදී ක්‍රම යොදා ගන්නේ නම් රටක් හැටියට අපට ඉදිරියට යෑමට පහසුවක් එයින් ලැබෙනු නියතය. එවිට රටේ වෙසෙන මිනිසුන්, සතුන් මෙන්ම ගහකොළ ආදි සියල්ලට සැනසීමෙන් ජීවිතයට මුහුණ දිය හැකි වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.