උක් දණ්ඩක් වැනි වූ විශ්වාසය

ජූලි 26, 2024

අනියම් ලෙස හෝ නියම ලෙස හෝ රහසින් හෝ ඔබ පෙම් කර තිබෙනවාද? හෘද සාක්ෂියට එකඟව කිසිවකුට එය නැතැයි කිව නොහැකිය. ප්‍රේමය යනු හුදෙක් ගැහැනු පිරිමි අතර ඇති වන හැඟීමක් පමණක් නොවන බැවිනි. මවට, පියාට, දුවට, පුතාට, ඥාතීන්ට, මිතුරන්ට ආදි වශයෙන් ප්‍රේමය කොටස් කර දැක්විය හැකිය. ඒ කුමන කොටසට වුවත් පදනම වන්නේ කුමක්දැයි යමෙකු විමසුව හොත් ඇති එකම පිළිතුර විශ්වාසයයි. විශ්වාසා පරමා ඥාතී යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කොට වදාළේ ද එබැවිනි. ලෝකයේ පැවැත්මට හෝ විනාශයට මූලික වන එකම පදනම වනනේ ද විශ්වාසයයි.

මිනිසුන් මිනිසුන් අතර හෝ නොමිනිසුන් නොමිනිසුන් අතර හෝ මිනිසුන් නොමිනිසුන් අතර හෝ ඇති වන විශ්වාසය මත අපි ජීවත් වන්නෙමු. ඒ කවුරුන් අතර හෝ වේවා විශ්වාසය ගොඩනඟා ගැනීම යනු අතිමහත් දුෂ්කර වූ කාර්යයකි. එයට හේතුව විචිකිච්ඡාව හෙවත් සැකය නිරන්තර විශ්වාසයේ සෙවණැල්ල මෙන් සිටගනිමින් එය බිඳ හෙළීමට සමත් කඩුතුඩුවලින් මනසත් හදවතත් පාරමින් සිටීමයි. උක් දණ්ඩක රස බාහිරින් නොපෙනෙන්නා සේම පොතු හැර රස බැලීමට මහත් වෙහෙසක් ගතයුතු වන අයුරින්ම ගොඩනඟා ගැනීමට මහත් පරිශ්‍රමයක් යොදමින් බොහෝ කල් ගත විය හැකි වුව ද විශ්වාසය බිඳ හෙළීමට අසුරු සැණක් ප්‍රමාණවත්ය.

ඔබේ විවාහය, රැකියාව, ගමනාගමන ක්‍රම, අනෙකුත් බැඳීම්, ආගම දහම වැනි ඕනෑම දෙයක් ගෙන බැලුව හොත් ඒ සියල්ලට මුල් වී ඇත්තේ විශ්වාසයම බව ඔබට විශ්වාස කරන්නට සිදු වනු නියතය. ඇසළ සමයේ ඒ පිළිබඳ ඕනෑ තරම් නිදසුන් ගත හැකිය. දෙවියන් කෙරෙහි විශ්වාස කරන ඔබ කතරගම බලා යන්නේ විශ්වාසයන් කීයක් සිත් හි රඳවාගෙනද? පළමුවැන්න දෙවියන් පිළිබඳ ඇති වන අතිමහත් භක්තිය මුසු විශ්වාසයයි. දෙවැන්න මහමඟ අනතුරක් නැතිව ගොස් නැවත නිවෙසට ආ හැකි බවට ඇති විශ්වාසයයි. කතරගම ගිය පසු දකින ගණදෙවි, ලක්ෂ්මී, විෂ්ණු, පත්තිනි, සෙනසුරු, හනුමාන්, ලාෆිං බුද්ධා වැනි ඕනෑම දෙයක් වෙත ඇති වන බැතිබර සිත මෙන්ම පුද පූජා පැවැත්වීමට පෙලඹීමට මූලික වන්නේද, භජන් වැනි ගීත ගයමින් දෙවියන් පසසන්නේද ඔබේ විශ්වාසය වෙත දැනවීමටත් දෙවියන්ගේ විශ්වාසය ඔබ කෙරෙහි ලබා ගැනීමටත් අපේක්ෂාවෙනි. පාද යාත්‍රාවල පාද ගෙවෙනතුරු සෑම වසරකම සැතපුම් සිය ගණන් ගෙවා මිනිසුන් දෙවියන් දකින්න එන්නේ ද දෙවියන් කෙරෙහි නොබිඳුණු විශ්වාසයෙනි. තමන්ට ලැබෙන බොහෝ දේවල් දෙවියන් දුන්නා යැයි සිතන්නට මිනිස්සු පෙලැඹී සිටිති. ඒ අප බොහෝ විට තමන්ට වඩා ඉහළින් සිටින යම් බලවේගයක් කෙරෙහි ඇති කරගන්නා විශ්වාසය නිසාය.

ඒක දේවවාදී හෝ බහුදේවවාදී වේවා කුමන ඇදහීමක වුව පසුබිම ද එයම බව අපි දනිමු. එහෙත් දේව නියෝජිතයන් බොහෝ විට පූජා වට්ටියේ තරම අනුව දෙවියන්ගේ විශ්වාසය මිනිසුන් වෙත ලබා දීමට සමත් වන බවද දැනගෙන සිටීම වැඩි වාසියක් අත්කර ගැනීමට හේතුවක් වනු ඇත. දෙවියන් කෙරෙහි පමණක් නොව සතුන් කෙරෙහි වුව අපට ඇත්තේ විශ්වාසයකි. ඇස්වහ කටවහ දෝෂ නසා වාසනාව ළඟා කරගැනීමට අලියකුගේ බඩ යටින් රිංගීම වැනි අවදානමක් ගන්නේද විශ්වාසය මත පදනම්වමය. යම් හෙයකින් අලියා නොරිස්සුම් සහගත හැඟීමක සිටියහොත් ඇස්වහ කටවහ පලදීම මෙන්ම වාසනාවේ තරම එතැනදීම බලාගත හැකි වනු ඇත.

බලිතොවිල්, යාග හෝම මේ සියල්ල පසුපස ඇත්තේ විශ්වාසයයි. අප නොපෙනෙන බලවේග වෙත ඇද දමන්නේ අපට පෙනෙන බලවේග කෙරෙහි අපේ විශ්වාසය අඩුවන විටය. තමන් වෙසෙන පරිසරයේ අවිනිශ්චිතතාව වැඩිවන තරමට වෙනත් අදෘශ්‍යමාන බලවේග කෙරෙහි ඇතිවන විශ්වාසය වැඩි වන්නේ නිතැතිනි.

එහෙත් කුමන අවිනිශ්චිත පසුබිමක වුව තමන්ට තමන් කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩනඟාගත හැකි නම් අන් සියලු බලවේගයන් අභිබවා නැඟී සිටිය හැකි බව ශාස්තෘවරුන් පෙන්වා දී ඇත. තමන්ගේ පරම ඥාතියා බවට තම හදවත පත්වන පළමුවන මොහොතේ සිට දැඩි අධිෂ්ඨානශීලී මනසක් මිනිසකු සතු වන්නේය. එය අලි ඇතුන් දහසක් ලවාවත් ඇදිය නොහැකි තරම් ශක්තිමත් වූ විට තමන් වෙත එන අභියෝගවලට සැහැල්ලුවෙන් මුහුණ දීමට හැකියාව ලැබේ. එවිට දස මර සේනා පරදා සසර දිනීමට තරම් ශක්තියක් ලැබෙන බව ප්‍රායෝගිකව සිදුහත් තවුසාණන් ඔප්පු කර ඇත. එය උක්ගසක රසබැලීමට දරන උත්සාහය මෙන් සරල නැත. එනිසා තමන් කෙරෙහිම එවැනි විශ්වාසයක් ගොඩනඟා ගැනීමට තරම් සිත ශක්තිමත් වන තුරු කුමක් හෝ කෙරෙහි විශ්වාසය තබා ලෞකික දියුණුව සලසා ගැනීම වරදක් නොවන බව විශ්වාස කිරීමෙන් ලොව පැවැත්මට ඔබට අත්‍යවශ්‍ය වන විශ්වාසය තහවුරු වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.