වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
හැඳී මිටේ මොළය සහ ඡ්‍යොතිෂය
මේ ලොව පැවැත්මට හේතු වන්නේ ස්ත්‍රී පුරුෂ බැඳීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. මිනිසුන් හෝ වේවා සතුන් හෝ වේවා ගස්වැල් හෝ වේවා බොහෝ ජීවීන්ගේ වර්ගයා බෝ වීම මත ලෝකයේ ජෛව විවිධත්වය පරම්පරාගත වේ. එහෙත් ලොව කුමන මිනිස් ප්‍රජාවක වුවත් සංස්කෘතිය ප්‍රදර්ශනය වන්නේ බොහෝ විට කාන්තාවන්ගෙනි. එනිසා සංස්කෘතියේ වාහකයා බවට පත් වන්නේ වනිතාවය. ඇයගේ ඇඳුම පැලඳුම, සිරිත් විරිත් පිළිබඳ ඇති ළැදියාව ආදිය මත කාන්තාවට මේ විශේෂ ගුණාංගය උරුම වී තිබේ.
එමෙන්ම පවුලේ යහපත වෙනුවෙන් බොහෝ දේ සොයා බැලීමට යුහුසුළු වන්නී ගෘහණියයි. එනිසාම ඡ්‍යොතිෂය වැනි විෂයයන් පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කරන්නේ ඇයමය. එයට අනාගතයේ විය හැකි යමක් පිළිබඳ දැනෙන්නට ඇය සතු නිසග ඉව වැදගත් වෙයි.
ගැහැනුන්ට ඇත්තේ හැඳී මිටක තරම් මොළයක් යැයි කියන්නේ පිරිමින්ය. ඒ කියන පිරිමින්ට හැඳී මිටක තරම්වත් මොළයක් තිබේද යන්න පිළිබඳ ඇතැම් බුද්ධිමත් ගැහැනු විමසති. එසේ වන්නේ පවුලේ ඇතැම් ගැටලු සමනය කිරීමේදී මව අනුගමනය කරන ක්‍රමවේද ඇතැම් විට පිරිමින්ට අවබෝධ නොවන නිසා විය හැකිය. මෙහිදී පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ දැනුම සම්බන්ධව සැසඳීමට වඩා වෙනත් මානයකට ඇස යොමු කිරීම වටී.
එනම් පිරිමි පාර්ශ්වයේ බොහෝ දෙනා බොහෝ විට අවධානය යොමු කරන්නේ ලෝකයේ ඇති පොදු ගැටලු විසඳීම, දේශපාලන මතවාද ඉදිරිපත් කිරීම වැනි මහා පරිමාණ කරුණු කාරණා වෙතය. එහෙත් පවුලේ ඇති යම් යම් ගැටලු කෙරෙහි අවධානයක් එවැනි පිරිමින්ගෙන් යොමු නොවේ. එහෙත් කාන්තාව බොහෝ විට තම පවුලේ බර සිය හිස මත පටවාගෙන ඒවා විසඳීමට විවිධ ක්‍රම සොයා යයි. එවිට ඇයට ඡ්‍යොතිෂයේ පිහිට ලබා ගැනීමට ද අවස්ථාව උදා වේ.
ආදි මානවයා සභ්‍යත්වයේ හිනි පෙත්තට පා නැඟුවේ ඡ්‍යොතිෂයේ ආලෝකයෙන් බැව් පැරැණි ශාස්ත්‍රඥයන්ගේ විශ්වාසයයි. කෘෂිකාර්මික දිවි පෙවෙතේ ඇති නිදහස්බව අනුව යමෙකුට අහස බලන්නට මෙන්ම එහි වෙනස්කම් නිරීක්ෂණය කරන්නට වෙලාව කලාව තිබිණි. එහෙත් අද තම අරමුණ හඹාගෙන හැල්මේ දුවන පිරිස අහස නොව අහක බලන්නටවත් නිමේෂයක් නැති තුරඟ තරගකරුවන් පිරිසක් මෙනි.
එසේ වුවත් ඒ සියල්ල අතර වනිතාව තම හිමිගේ මෙන්ම දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වන්නට කාලයක් සොයා ගනී. කිසිදු මුදලක් නොගෙවා අසීමිත සේවයක් ලබා ගන්නා කාන්තා ශ්‍රමය පිළිබඳ එදා මෙදාතුර නිසි ඇගයීමක් සිදු වුණා ද යන්න සැක සහිතය. එය දියණියකගේ, සොයුරියකගේ, බිරිඳකගේ, මවකගේ උරුමයක් ලෙස සිතන පිරිසක් ද සිටින අතර වත්මනේ ඒ ආකල්පය යම් වෙනසකට බඳුන් වෙමින් පවතින බවද පෙනේ.
කෙසේ වෙතත් හැඳී මිටේ මොළය ලෙස මතුපිට අර්ථයෙන් උපහාසයෙන් පැවසුව ද එහි ඇති ගැඹුරු අර්ථය වටහාගත හැක්කේ සූප ශාස්ත්‍රය පිළිබඳව දැනුමක් ඇත්තන්ට පමණි. ආහාරය යනු සියලු ජීවීන්ගේ ජීවන ශක්තිය සලසන පදාරථයි. පවුලේ පෝෂණය තහවුරු කරන්නේ ගෘහිණිය තම සැමියා ඇතුළු දූ දරුවන්ට දෙන ආහාරයේ ගුණාත්මක භාවය අනුවයි. කෙතරම් ගුණ ආහාරයක් වුවද කටේ තැබිය නොහැකි නම් එයින් පලක් නොවේ. හැඳී මිටේ එල්ලී එන හොදි බින්දුවේ රසයෙන් එය දිව බොජුනක් කිරීමේ දැනුම ඇත්තේ අම්මාටය. ඒ දැනුම කිසිවකුටත් නිකම්ම හිඳීමෙන් ගැනීමට හැක්කක් නොවේ. හැඳීමිටේ මොළය අවශ්‍ය වන්නේ ඒ අනාගත පරපුරේ ශක්තිය තහවුරු කිරීමට බව දන්නා ඇත්තන් එය සතු ඇයට දෙවැනි බුදුන් ලෙස සලකා වඳීති.
එවැනි නිසග දැනුමක් ඇති වනිතාවන්ට ඉපැරැණි ශාස්ත්‍රයක් වූ ඡ්‍යොතිෂයේ වටිනාකම පිළිබඳ ඉව නැතැයි සිතන්නට නොහැකිය. ඇයගේ උපත, මල්වරය, විවාහය ආදි සියල්ලට බලපාන ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ කරුණු කාරණා පිළිබඳ විධිමත් හැදෑරීමක් නොකළ ද විශ්වාසයක් ඇති වන්නේ ඒ නිසාය. විශ්වයේ පැවැත්මට හේතු වන ප්‍රධාන සාධකය ලෙස මේ ලොව පමණක් නොව මුළු අභ්‍යවකාශයේම ඇති රහස් පිළිබඳ අනාහත අවබෝධයක් සතු මහිලාවන්ට ඡ්‍යොතිෂයෙන් ගතහැකි ප්‍රයෝජන අසීමිතය. ඒ බව ඔවුන් ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ දරන ආකර්ෂණයෙන්ම පැහැදිලි වේ. වර්තමානයේ සෑම විෂයයකටම මෙන්ම ඡ්‍යොතිෂයට ද කාන්තාවන් වඩාත් යොමු වන්නේ නම් මේ විෂයය තවදුරටත් සාර්ථක ඉදිරියට යෑමට මඟ පෑදෙනු ඇත.