වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සඳුටත් ඔරලෝසුවක්
පැරැණියන් කාලය රන් සේ සමානයි කීවේ නිකම්ම නොවේ. අප අද වන විට එය අධික වටිනාකමකින් යුතු බවට අර්ථකථනය කරගත්තද ඔවුන් එය සාපේක්ෂව රන්වල අගය වෙනස්වන ආකාරය හඳුනාගෙන පැවසූ බව දැන් දැන් හැඟේ. එයට හේතුව කාලයේ වටිනාකම ද සාපේක්ෂව වෙනස් වීගෙන ඒමයි.
මෙහිදී ඡ්‍යොතිෂ කරුණු කතා කිරීමට වඩා තාරකාවිද්‍යාත්මක යැයි ද බටහිර ලෝකයට අයත්ද වන නිරිතදිග එංගලන්තයේ ‘හිරුගල්‘ මඟින් කාලය මැන්න යුගය පිළිබඳ මුලින්ම සඳහන් කිරීම විද්‍යාත්මක දේ නිවැරැදි යැයි සිතන්නන්ට සහනයක් වනු ඇත. රවුමක් තුළ වූ අශ්ව ලාඩමක ස්වරූපය ගත් මේ හිරුගල්වල සෙවණැල්ලේ දිගින් වේලාව මැනගත් අතර ඒ කාලයේ දින දහයේ සති තුනකින් මාසයක් සම්පූර්ණ වීම මෙන්ම දින තුන්සිය හැටපහ පුරවා ගැනීමට තවත් දින පහකුත් සිව්වසරකට පසු එන හැටහය වැනි දිනය සොයා ගැනීමට ක්‍රමයකුත් වසර පන්දහසකට පෙර එහි තිබුණු වග ඔවුන්ගේ විශ්වාසයයි. වසන්තයේ මැද හිරු උදාවත් සිසිරයේ මැද හිරු අස්තයත් මෙයට ගෙන ඇත.
අද විද්‍යාඥයන් එසේ කීවද එයට තිබෙන්නට ඇත්තේ වෙනත් ක්‍රමවේදයක් වන්නටද පුළුවන. හේතුව මේ වන විට විද්‍යාඥයන් පවසන අන්දමට සඳ මත සිට ගණනය කරන විට පෘථිවියේ දිනයක් දල වශයෙන් තත්පර දශම 56ක් කෙටිය. මේ අසුරු සැණක කාලය දීර්ඝ වශයෙන් කරන ගණනය කිරීම්වලදී විශාල වෙනස්කම්වලට හේතුවන බව ඔවුන් දැන් සොයාගෙන ඇත. එනිසාම විද්‍යාඥයෝ මේ වන විට සඳ මත අලුතෙන් කාල කලාපයන් නිර්මාණය කිරීමට මඟක් සොයමින් සිටිති. එසේම සඳු මත ඔරලෝසු සිටවිය යුත්තේ කවදා, කුමන ස්ථානවලද යන්න පිළිබඳ මහ පොළොවේ සිටිනා ඒජන්තයෝ එකඟතාවකට එන්නටද සැලසුම් සකස් කරති.
මේ යාන්ත්‍රික ඔරලෝසු භාවිතය ලොව ප්‍රචලිත වන්නට වූයේ 14වැනි සියවසේ මුල භාගයේදී පමණය. විසිවැනි සියවසේ මුලදී තත්පර මැනීම වඩාත් සංකීර්ණ වූ අතර ඇල්බට් අයන්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට පින්සිදු වන්නට තත්පර කට්ටට සහනයක් ලැබුණි. එහෙත් ඔවුන් කිසිවකුට හසු නොවුණු රහසක් පෙරදිග ශාස්ත්‍රයක් වන ඡ්‍යොතිෂයේ තිබුණු බව තවමත් ඔවුන්ට නොදැනීම පුදුමයකි. නැතහොත් ඔවුන් එය උළුප්පා දැක්වීමට අකැමැත්තෙන් සිටිනවා විය හැකිය. ජ්‍යොතිෂයානුකූලව බලන විට විසිහතර පැයට වඩා හැටපැය දිනය අනුව කාලය ගණනය කරන අයුරු මේ විද්‍යාඥයන් අධ්‍යයනය කළා නම් ඇතැම් විට ඔවුන්ගේ මේ නොගැළපීම්වලට යම් සහනයක් උදාවන්නට වුව ඉඩකඩ තිබිය හැකිය. එහෙත් පෙරදිග දැනුම හොරාගන්නවා මිස ඒවා ප්‍රසිද්ධියේ භාවිත කිරීම මොවුන්ගේ ආධිපත්‍යයට මහත් හෑල්ලුවක් නිසා ඒවා පසෙකලා සඳුමතට ඔරලෝසු ගෙනයෑමට අර ඇඳීම ඔවුන්ගේ කාර්යයයි. කෙසේ වෙතත් සඳුගේ ගුරුත්වාකර්ෂණය සහ එයින් පෘථිවියට ඇතිවන බලපෑම් පිළිබඳ කල්පනාවෙන් සිටින ඡ්‍යොතිෂ ලැදියන් හට ඉදිරියේදී චන්ද්‍රයා මත ඉදිවන ඔරලෝසු කනුවලින් සහ ඉන් පසුකාලීනව ඉදිවන ගොඩනැඟිලිවලින් වෙනස්වන ගුරුත්වාකර්ෂණ ගුණය ගැන සිතාබලා අනාවැකි පල කිරීමට කාලයක් එළැඹෙන බවනම් කිවයුතු අනාවැකියක් බවට පත්ව තිබේ.
සියල්ල සාපේක්ෂව බැලිය යුතුබව පසක් කොටගත් ගෞතම බුදු හිමියන් පවසා වදාළ මඟ යන්නේ නම් අයන්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට හසු වන කාලයට පවා වටිනාකමක් නැතිව යනු ඇත. හේතුව නිරපේක්ෂ එකම කරුණ වන්නේ සාපේක්ෂ නොවන නිර්වාණය පමණක්ම බැවිනි. එයට මොබ්බෙහි ඇති සියලු විද්‍යාවන් මෙන්ම ශාස්ත්‍රයන් ද කාලයට සාපේක්ෂව වෙනස් වන බව අවබෝධ කොටගෙන කුමන විද්‍යාවක් හෝ ශාස්ත්‍රයක් උපයෝගී කරගනිමින් හෝ සාපේක්ෂව වඩා යහපත් ජීවිතයක් ගත කිරීම නිරපේක්ෂ අවසානයට සුදුසුම මඟ වනු ඇත.