ලබන වෙසක් දිනයකදී දකින බුදුන්

මැයි 24, 2024

වෙසක් සිරින් ඇළලී යන මේ සතියේ අපේ සිත කය වචනය ඉතා හික්මීමෙන් යුතුව පවත්වා ගැනීමට අපි උනන්දු වෙමු. එසේම ශාස්තෘන්වහන්සේ දෙසූ බණ ඇසීමට රුචිය වඩාත් වඩවා ගන්නෙමු. එහෙයින් මේ දිනවල වඩාත් ප්‍රචලිත නව මාධ්‍ය පීරමින් මුනිඳුන්ගේ දේශනාවලින් අප මෙතෙක් නෑසූ යමක් හෝ නොදුටු සිතුවමක් දකින්නට උත්සාහ කරමු. එසේ යන ඔබට නියත වශයෙන්ම කෘත්‍රිම බුද්ධියෙන් තැනූ බව කියන සිදුහත් බෝසතාණන්ගේ මෙන්ම බුදු හිමියන්ගේ රූප දැකිය හැකි වනු ඇත. ඒවා වේගවත්ව ලෝකවාසී බෞද්ධ පින්වතුන් අතර සැරිසරන බව ද වටහා ගන්නට හැකි වනු ඇත.

බුදු රජාණන්වහන්සේගේ රූපය කෙබඳුද කියා නොදන්නා අපට එය මහත් අසිරිමත් දසුනක් වනවාට සැකයක් නැත. කවියන් කී අයුරින් ඉහළ නිල්වන් අහස විනිවිද නැඟෙන යෝධ බුදු බඳ දකින විට දැනෙනවාට වඩා හුරු පුරුදු සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක් ගෙනෙන මේ චරිත අපට වැඩි සමීපතාවක් දක්වනු නියතය. ගල්වඩුවන් නෙළූ අසූ රියන් පිළිමවහන්සේලාට වඩා අපගේ උස මහතටම පෙනෙන බෝසතාණන් අපට අසමසම ගුණයක් ගෙන නොදීම ගැටලුවක් ලෙස නොපෙනෙනු ඇත. එහෙත් ඒ කවියා මෙන්ම ගල්වඩුවා උත්සාහ කළේ රූප කාය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයකට වඩා සම්බුද්ධත්වය හා බැඳුණු බුද්ධිය ඉදිරියේ පුහුදුන් මිනිසුන් වන අපේ කුදු බව පසක් කිරීමට බව අපට අමතකව යනු ඇත.

තවම අප දකින්නේ බුදු හිමියන්ගේ රුව පමණි. එහෙත් නුදුරු දිනකදීම උන්වහන්සේගේ හඬ ද මේ තාක්ෂණයෙන් අපට ගෙන එනවාට සැකයක් නැත. එවිට සැදැහවත් බෞද්ධ පින්වතුන් සියලු දෙනා කිසිදු විමසීමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ නැඟෙන බුදු හඬට සවන් දීමට සැදී පැහැදෙන බව සක්සුදක් සේ පැහැදිලිය. මෙහිදී විද්‍යාඥයන් පවසන අන්දමට අප සියලු දෙනාගේ කටහඬවල් මේ විශ්වයේ කොතැනක හෝ පවතින බැවින් යම් දිනෙක අපට ඒ හඬවලට සවන් දීමට හැකි වන බැවින් මේ සංසිද්ධිය ද එවැනි විද්‍යාත්මක සොයා ගැනීමක් වනු ඇත.

එහෙත් එය හොඳ හිතකින් හොඳ අතකින් සද්භාවයෙන් සිදු වුවහොත් පමණි බෞද්ධයන් හට සැනසීමක් ගෙන දෙනු ඇත්තේ. එසේ නොවී තාක්ෂණය මඟින් සියල්ල විහිළුවට ලක් කරන අතකට මේ සියල්ල හිමි වුවහොත් කුමක් සිදු වේවිද යන්න පිළිබඳ මුළු ලෝක සත්ත්වයාම අවධානය යොමු කළ යුතුව ඇත. එයට හේතුව බුදු හිමියන් පිළිබඳ පළමුව කතා කළ ද එය කිතුහිමියන් මෙන්ම අනෙක් ඕනෑම ශාස්තෘවරයකු අරභයා සිදු විය හැකි දෙයක් බැවිනි.

බුද්ධ දේශනා තුන් ලොවටම ඇසෙන තරම් හඬකින් යුතු වූ අවස්ථා පිළිබඳ අපි අසා ඇත්තෙමු. එසේම මේ තාක්ෂණය ඔස්සේ ද මුළු විශ්වය පුරා තමන් කැමැති ශබ්දයක් ප්‍රචාරය කළ හැකිය. බුද්ධ දේශනාව ලෙස තමන් කැමැති දෙයක් බුදුන්ගේ රුවින් හඬ කවා ප්‍රචාරය කළ හැකිය. දෙදහ වසරේ මුල් භාගයේ කාන්තා යට ඇඳුම් ආදියට බුද්ධ රූප යෙදූ අයුරු, සෙරෙප්පු, වැසිකිළි ආවරණ ආදියට ඒ රූපය යොදා කළ නිර්මාණ පිළිබඳ මතකය අවධි වන්නේ මෙවැනි දේ සිහිපත් වන විටය. එසේම ක්‍රිස්තුන්වහන්සේ දුම්බොන අයුරු චිත්‍රයට ඇඳී රුවක් නිසා ඇති වූ අලකලංචියක් ද සිහියට නැඟේ. එහෙත් ඒවා අද තරම් වේගයෙන් ප්‍රචාරය නොවුණේ සමාජ මාධ්‍යවල වේගවත්බව එදා මෙතරම් තියුණුව නොතිබුණු නිසාය.

ධර්මය පිළිබඳ විවිධ මතවාද පැතිරවීමට උත්සාහ කරන චීවරධාරීන් වෙසෙන යුගයක, මූලධර්මවාදී මතිමතාන්තර වෙනුවෙන් දිවි පුදන්නට සැරසී සිටින පුද්ගලයන් සිටින යුගයක, මේ ශාස්තෘවරුන්ගේ කෘත්‍රිම රූපවලට යෙදූ විවිධ දහම් ප්‍රචාරය නොකෙරෙතැයි විශ්වාස කළ හැක්කේ කෙලෙසද යන්න මහත් විසල් පැනයකි. දහම ලෙසින්ම තාර්කිකව අධර්මය ප්‍රචාරය කිරීමට හැකිවා මෙන්ම එය මහත් පහසුවෙන් පුහුදුන් මිනිසාට අවබෝධ වන බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.

මේ සියල්ලට පිළිතුර ඇත්තේ ද බුදු දහමේමය. එනම් සම්මුති සත්‍යය සහ පරමත්ත සත්‍යය අතර වෙනස වටහා ගැනීමට අපේ සිත පුරුදු කර ගැනීමය. මේ යුගය අයත් වන ස්වභාවය මත අප බොහෝ විට පරම සත්‍ය වෙනුවට විශ්වාසයට ගන්නේ අපට පෙනෙන දෙයයි. සමාජ මාධ්‍ය හා තාක්ෂණය ඔස්සේ විචක්ෂණශීලීත්වය වේගයෙන් අහිමි කරගෙන සිටින පිරිස් තමන් දකින තොරතුරු කිසිදු නිරීක්ෂණයකින් තොරව අනෙකාට දැක්වීමට උත්සුක වෙයි. එබැවින් සත්‍යයට වඩා අසත්‍යය නිරන්තර රජ කරන බව පෙනෙයි. එසේ පෙනුණ ද නොදුටු ඇස් ඇතිව නෑසූ කන් ඇතිව සිටින්නට පුරුදු වූ අර්ධ මිනිසුන්ගෙන් සමාජය පිරෙමින් පවතී.

තවමත් මිනිසත් භවයේ වටිනාකම දන්නා සුළු පිරිසක් ඉතිරිව ඇති බැවින් ඔවුන්ගේ යුතුකම වන්නෙ සත්‍ය ධර්මය නිවැරැදි ලෙස අවබෝධ කරවීමට සහාය දීමය. වෙසක් සමය එය ඇරැඹීමට සුදුසුම කාලයයි. එසේ නොවුණ හොත් මීළඟ වෙසක් උත්සවයකදී අපට දක්නට ලැබෙනු ඇත්තේ කෘත්‍රිම බුදුවරයකුගේ කෘත්‍රිම හඬින් දෙසන විකෘති බණක් විය හැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.