වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අවුරුදු කෑම
අවරුදු අසිරිය රට පුරා පැතිරෙද්දී අවුරුදු කන විදිහ පිළිබඳ ඇති වූයේ මහත් උනන්දුවකි. අතීතයේ සිට පැමිණෙන සිරිතක් වූ අවුරුද්ද ළං වන බවට කොවුලා ගයන්නටත් පෙර බස්රථ ආදියේ ලිතයි පොතයි සමඟ අවුරුදු චාරිත්‍ර බෙදා හැරෙන්නේ මාස ගණනකට පෙර සිටය. එනම් අවුරුද්දට නැකැත් සැකසෙන්නේ මාස ගණනකට පෙරය. ඒ මුළු රටම එකමුතුව අවුරුදු සමරනු ඇතැයි යන බලාපොරොත්තුව පෙරදැරි කරගනිමිනි. ඒ එකමුතුබව යනු අද ඊයෙක සිට පැවතෙන සිරිතක් නොවේ. බෞද්ධ ඉගැන්වීම් අනුව සප්ත අපරිහානී ධර්මවලින් එකකි. එකට සමගිව රැස්වීම, සාකච්ඡා කිරීම සහ විසිර යෑම යන ලිච්ඡවී රජ දරුවන්ට දෙසූ දහමෙන් එදා සිට අද දක්වා අප පවත්වාගෙන එන සිරිතකි එය. ඒ අනුව සිංහල අලුත් අවුරුද්දේ අප බෙහෙවින් යොමු වන්නේ පවුලේත්, රටේත් සමගි සමාදානය හා එකමුතුබව ඇති කිරීමට හේතු වන සිරිත් ඉටු කිරීමටය. සිරිත් යනු කළ යුතු දේ බවත් විරිත් යනු නොකළ යුතු දේ බවත් දන්නා සිංහලයෝ අවුරුද්දට සිරිත් විරිත් ඉටු කරන්නේ කළ යුතු දේ කිරීමටත් නොකළ යුතු දෙයින් වැළකී සිටීමටත් ඇති අවශ්‍යතාව පරම්පරාගත කිරීමේ අභිලාෂයෙන් බව එයින්ම අවබෝධ වේ.
කෙසේ වෙතත් ඒ සඳහා නැකැත් යොදා ගන්නේ නීතියකින් කළ නොහැකි බොහෝ දේ අධ්‍යාත්මික වශයෙන් ඇති කරන හෝ සාංස්කෘතික වශයෙන් ගොනු කරන හේතු මත පිහිටා සාර්ථක කරගත හැකි වන බව ඍෂි නුවණින් දන්නා පිරිස් විසින් කී උපදෙස් අනුවය. නැකැතක් ගැනීමෙන් සියලු දෙනා පළමුව ඒ නැකැතට ම කටයුතු කිරීමට ස්ථිර අදිටනකින් කටයුතු සූදානම් කරනු ඇත. විශේෂයෙන් අවුරුදු වැනි ජාතික උත්සවයකදී සමස්ත ජාතියම එකම අරමුණක් වෙනුවෙන් පෙළ ගැස්වීමට හැකි සාර්ථකම ක්‍රමය වන්නේ ද නැකැතක් යැයි කීවත් වරදක් නැත. බලි, තරු, රාවණ යුගයේ සිට පැවැතෙන ක්‍රමය ද එය බැවින් අප සිතනවාට හෝ දන්නවාට වඩා ඈත අතීතයේ සිට මේ ක්‍රමය රට එකමුතු කිරීමට යොදා ගත්තා යැයි සිතිය හැකිය.
නැකැත් සෑදීමේදී ද එය ශාස්ත්‍රයට එකඟව මෙන්ම පිළිපදින්නන්ට පහසු වන ආකාරයෙන් තිබීම වැදගත් වන්නේ සමස්තය වෙත ඉදිරිපත් කරන යම් කටයුත්තකදී සියලු දෙනා ට එය ඉටු කිරීමේ හැකියාව පැවතීමෙන් ගැටලු පැන නැඟීම අවම වන බැවිනි. ඍෂි භාෂිතයන් උපයෝගී කරගන්නා මෙවැනි ශාස්ත්‍රවලට යම් යම් කරුණු සඳහා ව්‍යතිරේක ඉදිරිපත් කර ඇත්තේද එම පහසුව නිසාම විය යුතුය. එසේ වුවද ඇතැම් අවස්ථාවලදී ඉතාම සුදුසු කරුණ වෙනුවෙන් සියලු දෙනා යම් කැප කිරීමක් කිරීම ජාතියක් හැටියට ඉදිරිගාමී පියවරක් ලෙස සැලකිය හැකිය. අනෙක් අතට යම් සම්ප්‍රදායික කටයුත්තකදී කල් ඇතිව ඉදිරිපත් කරන කරුණක් පිළිබඳ විචාර හා විකල්ප ඉදිරිපත් කරන්නේ නම් එයද කල් ඇතිව සිදු කිරීම සියලු කටයුතු සාර්ථක කරගැනීමට හේතුභූත වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙවර අවුරුදු කෑම සම්බන්ධයෙන් ඇති වූ උභතෝකෝටිකයට ද ඇත්තේ ඉහත කියූ ආකාරයේ ක්‍රියාවලියකි. කල් ඇතිව ගත් තීරණයක් සම්බන්ධ විවේචන ද කල් ඇතිවම ඉදිරිපත් වූවා නම් එය නිවැරැදි කිරීමට ද කල් තිබෙන්නට ඇත. එහෙත් කුමක් සම්බන්ධව වුව අවසන් මොහොතේ ඇතිවන කලබලකාරී ගතිවලින් සිදු වන්නේ යම් අරමුණකට ඇති ඒකාග්‍රතාව බිඳී යෑමය. එවිට හරි හෝ වැරැදි හෝ අවසන් තීරණය වන්නේ සියල්ලන් පෙර සූදානමින් සිටි ආකාරයට කටයුතු කරගෙන යෑමට තීන්දු කිරීමය.
ආයූර්වේදය පැත්තෙන් එන ඇතැම් මතවලින් රාත්‍රියට කිරිබත් කෑම පිළිබඳ සහ එයින් වා පිත් කඵ ඇවිස්සීම පිළිබඳ කියැවෙයි. ඡ්‍යොතිෂය පැත්තෙන් හිරුගේ බල බිඳුණු රාත්‍රියේ හිරු වන්දනා කිරීම සුදුසුදැයි තවත් පිරිසක් විමසයි. ඒ සියල්ල විමසන්නට තිබුණේ අවසන් මොහොතේ ද යන්න තවත් පිරිසකගේ මතයයි.
කෙසේ වෙතත් අවසානයේ සිදුවන්නේ සංස්කෘතික, අධ්‍යාත්මික ආදී උසස් හැඟීම් පසෙක ලා බලය ක්‍රියාත්මක කිරීමට සිදුවීමය. එසේම චිරාත් කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ඒකාග්‍ර හැඟීමට රටම එකතු වෙනවා වෙනුවට විසිරුණු හැඟීම්වලට නතු වීමය. එවිට අලුත් ක්‍රමයට කියනවා නම් හොඳ දෙයක් වෙනුවෙන් ‘පොසිටිව් වයිබ්’ එකක් සියලු දෙනාගෙන්ම ඇති විය යුතු මොහොතක එය බාල වී යනු ඇත. එසේ ම අවුරුදු සිරිත් විරිත් පිළිබඳ පරපුරෙන් පරපුරට ගෙන යන සහ ගෙන යා යුතුව ඇති පැහැදීම උද්යෝගය දියාරු වී යෑමය. එය අවසානයේ අවරුදු සැමරීමක් නොව අවරුදු කෑමක් බවට පත් වී යා නොදී රැක ගැනීම මේ රටේ සෑම සියලු පුරවැසියකුගේම වගකීමක් වන්නේය. එබැවින් මින්මතුවට හෝ එකඟ විය හැකි දේ කලින්ම නිසි අයුරින්ම සකසනවා සේම විවේචන ද කලින්ම ඉදිරිපත් කිරීමත් රටක් ලෙස සිතා සියලු පාර්ශ්වයන් නිහතමානීව මැදිහත් ආකල්පයෙන් අවුරුදු සැමරීමට එක්රොක් වීමත් ජනතාවට දෙගිඩියාවෙන් තොර මහත් සැනසිල්ලෙන් යුතුව අසිරිමත් අලුත් අවුරුද්දක් උද්යෝගීමත්ව විඳීමට හේතු වාසනා වනු ඇත.