වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
පංච මහා භූතයෝ සහ පංච මහා මූලද්‍රව්‍යයෝ
නූතන විද්‍යාඥයන්ගේ අපූර්ව සොයා ගැනීමක් ලෙස පෘථිවියේ සියලු ජීවීන් මූලද්‍රව්‍ය පහක් මත යැපෙන බව මෑතකදී ප්‍රකාශ කර ඇත. ඒ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ පොස්පරස්වලිනි. එයින් කාබන් ඉතා වැදගත් වන බවත් ඔවුහු ප්‍රකාශ කරති. පෘථිවි ගෝලයේ පමණක් නොව වෙනත් ග්‍රහ ලෝකවල පවා ජීවීන් සිටින්නේද යන්න සොයා ගැනීමට මේ මූලද්‍රව්‍යවල නිසි සංයෝජනය අවශ්‍ය බව ඔවුන්ගේ නවතම සොයා ගැනීමයි. ඔක්සිජන් හයිඩ්‍රජන් සංයෝගයෙන් සැදෙන ජලය ද ද්‍රව මට්ටමේ පැවතීම එහි අත්‍යවශ්‍ය අංගයක් බව මේ අලුත් සොයාගැනීම්වලින් කියැවේ. ඒ බටහිර විද්‍යාව අනුවය.
ඊට වසර දහස් ගණනකට පෙර සියලු ජීවීන් තැනී ඇත්තේ පංච මහා භූතයන්ගෙන් බව පෙර දිග ශාස්ත්‍රයන්හි පෙන්වා දී ඇත. ආපෝ, තේජෝ, වායෝ, පඨවි සහ ආකාස යන පංචවිධයන්ගේ එකතුව ජීවියකුට ජීවය දීමට තරම් ප්‍රබලය. අජීවී වස්තූන්වල පවා ඇත්තේ එහි අනුපාතික සංයෝජනය බව පෙරදිග දර්ශනවල පැහැදිලිව දක්වයි. එසේම ජලය, ගින්දර, වායුව, දැඩි ගුණය සහ හිස් බව යන පංච ගුණයන් සමස්ත විශ්වයේම නිර්මාණයට හේතුවන බව කිසිදු දර්ශනයක් නොහැදෑරූවකුට වුව පැහැදිලිව පෙනෙනු ඇත. සොබා දහම යනු මේ සියල්ලේ එකතුවයි. ස්වාභාවිකවාදී ඇතැම් දාර්ශනිකයන් මේ පංච මහා භූතයන්ගෙන් කිහිපයක් පමණක් හඳුනාගෙන ඒවායින් මේ ලොව තැනී ඇති බව පවසා තිබිණි. ඇතැම්හු මේ පංච විධ ගුණාංගයන් සියල්ල පිළිබඳ දැන සිටියහ. කෙසේ වෙතත් නූතනයේ සොයා ගැනුණු මේ පංචවිධ මූලද්‍රව්‍යයන්ගෙන් ද පැහැදිලි වන්නේ පෙරදිග දර්ශනවාදවලින් මෙන්ම ආයුර්වේදය වැනි ශාස්ත්‍රයන්ගෙන් ද හඳුනාගෙන තිබුණු ඒ දැනුම එක්කෝ ඔවුන් වෙත ගලනය වී නැති බව හෝ ඔවුන් එය උකහා ගැනීමට පමා වී ඇති බවක්ද? නැතහොත් එය ඔවුන්ට මෙතෙක් විෂයය නොවුණේද?
හෙළ වෙදකම මෙන්ම ආයූර්වේදය ඇතුළු පෙරදිග වෛද්‍ය ක්‍රම පදනම් වන්නේ වා, පිත්, සෙම් නම් වූ සරලව තුන් දොස් ලෙස හඳුන්වන දේහ ගුණයන්ගේ සමතුලිතබව මතය. ඒවා අසමතුලිත වීම යනු රෝගී වීමකි. වාතය පිත කඵ ඇති වන්නේද පංචමහා භූතයන්ගෙන් සැදි මේ ශරීර කූඩුවේමය. එනයින් ගත් කල අලුතෙන් සොයා ගත්තේ යැයි කියන මූලද්‍රව්‍ය පහ සහ අපේ පංච මහා භූතයන් යනු දෙවිධියකින් සිතිය යුතු කරුණක් ද? නැතහොත් පෙරදිග බටහිර වෙනසක්ද යන්න සොයා බැලීම පර්යේෂකයන්ගේ වගකීමක් වනු ඇත.
ඒ කෙසේ වෙතත් බටහිරට ඇති ගැති බව නිසා බොහෝ වෙලාවට අපි අපරදිගයන්ගේ සිද්ධාන්ත හිස මුදුනින් පිළි ගැනීමට පෙලඹෙන්නේමු. එය යටත් විජිත මානසිකත්වයේ නූතන තත්ත්වය ලෙස අපේ ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ගේ දක්නට ලැබෙන පොදු කරුණකි. නිදසුනක් ලෙස බෞද්ධ ආර්ථික ක්‍රමවේදයේ ඇති සිද්ධාන්ත සුද්දාගේ කෝවෙන් අඹරා දෙන විට අපට වටී. පෙරදිග කළමනාකරණ සිද්ධාන්ත මැනේජ්මන්ට් තියරි ලෙස එන විට අපට මහමෙරක් මෙනි. අපේ ගහේ කොළේ ගුණ වනේ කොටා මිරිකා ගන්නා ක්‍රමයට වඩා ඒ යුෂම පෙත්තක් ලෙස හෝ කරලක් ලෙස එන විට අපි දෝතින් පිළිගනිමු. එහෙත් අප අමතක කර ඇත්තේ මේ සොබා දහමේ ඇති පංච මහා භූතයන්ගෙන් තැනුණු දෑවලින්ම මිස වෙනත් ඕපපාතික ක්‍රමයකට ඒ බටහිර පෙති කරල් තැනිය නොහැකි බවය.
එහෙත් අප එයින් ගත යුතු දෙයක් ද වෙයි. එනම්, මෙතෙක් අප වනේ කොටමින් ගලේ අඹරමින් කළ බෙහෙත පෙත්තක් හෝ කරලක් ලෙස ගත හැකි වීමේ පහසුවයි. හැල්මේ දුවන තරගකාරී සමාජයේ නර සතුන්ට ඇත්තේ ඉතා කෙටි කාලයකි. එනිසා එදා මෙන් කල් මරමින් බේත් හේත් කිරීමට වඩා පෙත්තක් ගිලීම පහසුය. එනිසා අප ද එයට ක්‍රමවේදයක් සකසා ගැනීම උචිතෝන්නුතියට හේතු වෙයි. මෑතක සිට එවන් පියවර ගත් පිරිසක් නැතුවා නොවේ. එහෙත් ඒ පිරිස පමණක් මේ තරගයට ප්‍රමාණවත් ද නොවේ. එනිසා පංච මහා මූලද්‍රව්‍යයන් ගැන අලුතින් කියන යුගයක එය පිළිගැනීමට සැදී පැහැදී සිටින පිරිසට ගැළපෙන පංච මහා භූතයන්ගේ ප්‍රභාව දැක්වීමට තවමත් ප්‍රමාද නැත.