වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අඳුරෙන් එළියට
අඳුරේ සිටින විට අපේ දෙනෙත් අඳුරට හුරු වෙයි. අපැහැදිලි වුවත් නිවැරැදි යැයි හැඟෙන මං පෙත් ඔස්සේ ඉදිරියට යමින් මේ කඨෝර ගමන නිමා කිරීම අරමුණු කරගන්නේ එබැවිනි. එහෙත් යම් හෙයකින් සහන් එළියක් හෝ තිබුණේ නම් ගල් මුල්වල පය නොපැකිළී, වළවල් කලින්ම දැක එහි නොවැටී යා හැකිව තිබුණි. එසේම මඟ දෙපස සුන්දරත්වය විඳීමින් ගමන වඩා රසවත් කර ගන්නට ද හැකියාව ලැබෙනු ඇත.
ඡ්‍යොතිෂය යනු ආලෝකයයි. සංසාර කතරේ අනන්ත අප්‍රමාණ වූ භවයන්හි අප කළ යහපත් අයහපත් කර්මයන් අනුව මේ භවයේ අපට උරුම වූ අම්බලම කෙබඳු එකක් දැයි හඳුනා ගන්නට යොදා ගත හැකි සහන් එළියයි. කෙනෙකු ධනවත් වන්නේත් තව කෙනකු මහමඟ යදින්නේත්, කෙනකු ලෝකප්‍රකට වන විට දක්ෂතාවන් තිබියදී තවෙකෙකු කැලේටම පර වී යන්නෙත් විශ්වය විසින් අප එකිනෙකාගේ ලාභ අලාභ ගිනුම තුලනය කර දෙන ආකාරය නිසාය. ඒ ගිණුමේ පිළිබිඹුව අප මෙලොවට බිහිවන විට ඉර හඳ තාරකා ඇසුරෙන් සකස් කරගත හැක්කේ ජ්‍යෝතිෂය නමැති විස්මිත ගණිත ක්‍රමයෙනි. ඒ ගණනය කිරීම්වල ප්‍රතිඵල සටහන් කර ඇති පත් ඉරුව ලෙස අපේ හස්ත රේඛා හැඳීන්විය හැකිය. අංක විද්‍යාවෙන් එය පැහැදිලි කර ගැනීමට යළිත් ගණිත ඥානය ඉවහල් වේ. ඒ ක්‍රම සියල්ලෙන් හඳුනා ගත හැකි ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස යන පංචමහා භූතයන්ගෙන් තැනුණු භෞතිකයේ මෙන්ම සසර පුරා නොකැඩී ගෙන යන විඥානය හා බැඳුණු ආධ්‍යාත්මයේ විසමතා ඇති කරන වා, පිත්, සෙම් සමනය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදය ආයුර්වේදයයි. ඇතැම් විට මේ සියල්ල ප්‍රශස්තව තිබියදී අප වෙසෙන කුටිය තුළ ඇති ශබ්ද, වර්ණ, හැඩතල හෝ මුහුණ ලා සිටින දිශාව, භාවිත කරන භාණ්ඩ වැනි අමතර බාහිර සාධකයක් නිසා අපේ ශක්ති ශරීරයේ හෙවත් ඕරාවේ ඇතිවන වෙනස්කම් යථාවත් කිරීමට වාස්තු විද්‍යාව යොදා ගත හැකිය. අපේ ශරීරයේ අංශුවල කම්පන වාර ගණනට සීහුම් නොවන තරංග නිසා ඇතිවන බාධාවන් දුරු කරගැනීමට සෙත් කවි, මන්ත්‍ර ස්තෝත්‍ර, ගණ මාත්‍රා, සංගීතය වැනි විවිධ සුවවේද ක්‍රම යොදා ගැනීමටද අවශ්‍ය වන්නේ ඒවා යොදාගත යුතු ආකාරය පිළිබඳ නිවැරැදි අවබෝධයයි.
බුදු දහමේ තිරශ්චීන ධර්මයන් ලෙස මේවා බැහැර කළේ බස් පෙරළුම් කර කියන තිරිසන් බවක් නිසා නොව, උත්පාද ස්ථිති භංග යන සත්‍යයට මුහුණ දිය යුතු සත්ත්වයාට දුකින් මිදීමේ මඟ විඳ ගැනීමට වඩා ලෞකික සැපතේ ස්ථිරසාරභාවයක හැඟීම ඇති කරන ක්‍රමවේද ලෙස සලකන බැවිනි. එය නිවැරැදිව ප්‍රත්‍යක්ෂ කොටගත් බටහිර බුද්ධිමතුන් පෙරදිග ඥානයෙන් උපරිම ප්‍රයෝජන ගෙන දියුණුවේ හිනි පෙත්තට යන බව නොරහසකි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා, හිපොක්‍රටීස් ජ්‍යෝතිෂය නොදන්නා වෛද්‍යවරයා මීමෙකු මෙනැයි කීවේ රෝගාබාධ හඳුනා ගැනීමට මේ ගණනය කිරීම් යොදාගත් නිසා විය හැකිය. එයට පූර්විකාවක් වශයෙන් විය හැකිය. පෙරදිග දැනුම් සම්භාරයේ අරමුණ මානව වර්ගයාට පමණක් නොව උප නූපන් සියලු සත්ත්වයාටද, ගහකොළ මෙන්ම ඇලදොළට ද සෙත සලසමින් සුබවාදී වටපිටාවක පැවතීමට ඉඩහසර සැලසීමයි. සුබ සලසන්නේ ඡ්‍යොතිෂය ප්‍රමුඛ විද්‍යාවන්ගෙන් නම් සෙත සැලසෙන්නේ ආයුර්වේදය ඇතුළු අනෙකුත් සුවවේද ඇසුරිනි.
වසර 54ක් පුරා සුබසෙත පුවත්පත මෙරට මෙන්ම නොරට වෙසෙන සහෘද පාඨකයන් වෙනුවෙන් අඛණ්ඩව ලබා දුන්නේ අඳුරට හුරු වූ දෑස් සනහන ඒ සහන් එළියයි. ලොවටම බලපෑ කොරෝනා වසංගත සමයේ ඇති වූ විවිධ තත්ත්වයන් හමුවේ වසර දෙකකට ආසන්න කාලයක් මුද්‍රණය ඇණ හිටිය ද නවීන සන්නිවේදන මං ඔස්සේ ඔබේ ඇඟිලි තුඩගින් මෙහෙයවා පහසුවෙන් කියවිය හැකි ඊ පුවත්පතක් ලෙස ඒ දැනුම බෙදා ගැනීමට සුබසෙත සමත් විය.
මුද්‍රණයෙන් නැවතත් සුපුරුදු පරිදි ඔබ වෙත එන සුබසෙත පසුවන්නේ අත්දැකීම් බහුල පුද්ගලයකුගේ වයසේය. අපේ සම්ප්‍රදායික ඥානයත්, විශ්වය සොයා යන නූතන දැනුමත් එක් කොට නැවුම් ආරකින් යුතුව විදු නැණින් පෙරා අපටම ආවේණික වූ අස්පර්ශී සංස්කෘතික උරුමයන් ඔබගේ විමසුම් ඇසට යොමු කිරීම සුබසෙත අරමුණයි. විචාර බුද්ධියෙන් අනූන වත්මන් පරපුරේ දක්ෂයන්ගේ දෑස් හුරු වී ඇති අඳුරට එළියක් වී මේ විස්මිත ගණිත ක්‍රම යොදාගෙන නව නිපැයුම් ඔස්සේ අපේ ශාස්ත්‍රයන්හි සුබවාදී පලප්‍රයෝජන ගත හැකි සෙත පිරි අනාගතයක් නිර්මාණය කරනු දැකීම සුබසෙත අපේක්ෂාවයි.