වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දේශීයත්වයට තැන දෙමු
දේශීයත්වයට ප්‍රමුඛතාව ලැබෙන මෙම වකවානුව අපිට ඉතා ආඩම්බර සහගත සිදුවීම් සිදුවනවා දැකීම සිතට සතුට ගෙන දෙන දෙන්නකි. මුළුමනින්ම බටහිර සංස්කෘතිය මගින් වෙලාගෙන තිබෙන අපේ සංස්කෘතික සභ්‍යත්වය හා අපේ ඇවතුම් පැවතුම් යළි පිරිසුදුකොට අපේම ජන ජීවිතවලට අනුගත කර ගැනීමට අප උත්සාහ ගත යුතුව තිබේ. කිසියම් දියුණුවක කිසියම් අභිවෘද්ධියක සේයා මැවී තිබෙන අද වැනි යුගයක ඒ සඳහා ඔබ අප යොමුවීම තම තමාට පැවරෙන සුවිශේෂී වගකීමක් කොට සලකමු. ඒ අතරින් අපේ ඡ්‍යොතිෂය අපේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය මුලින්ම වැදගත් වෙයි. බුදු දහම හා බැඳුණු හෙළකමට ඉතා ගැළපෙන ජීවන රටාවක් හුවා දක්වන මෙම එකමග යන විෂයයන් දෙක අපට ඉතා සුවිශේෂී වෙයි.
ඒ අතර බටහිර පන්නයට හුරු වූ අපේ අය තමාට වැළඳුණු රෝගයක් වෙත්නම් ක්ෂණික පිළිතුරක් බලාපොරොත්තුවෙන් එය කිසියම් ඖෂධ පෙත්තකටම යොමුව ක්ෂණයෙන් ඉන් අත්මිදීමට සිතති. එහෙත් එබඳු උවදුරක් නැත්නම් රෝගයක් තමා කරා එන්නට පෙර පිළිපැදිය යුතු ක්‍රියා හා ඒවාට කරන පිළියම් අප හෙළ ආයුර්වේදයේ දක්වයි. ඒ දේවල් අනුගමනය නොකොට රෝගයක් මතුවූවාට පසුව කරන ප්‍රතිකාර තවත් උවදුරකට අතවනන්නක් හෙයින් ඔබට අපේ දේ ගැන මම යුහුසුළුව මතක් කර දෙමි. කිසියම් රෝගයක් ශරීර ගතවීමට පෙර ඉන් අත් මිදීමට හැකි ක්‍රම අත් බෙහෙත්, කෙම් ක්‍රම හා විවිධ ක්‍රියාකාරකම් අප අතර ඇතත් ඒ සියල්ල කාර්ය බහුල ජීවිත සමග වැළලී ගොස් තිබේ. එහෙත් සිංහල ආයුර්වේදයේ එන ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ඉදිරියට වන්නට තිබෙන අතුරු ආපදා සහිත උවදුරුවලින් වැළකී සිටීමට අපට හැකිවේ.
කෙනෙකුගේ නොසැලකිල්ල නිසා ලෙහෙසි පහසුව සැලකීම නිසා බොහෝ ඉහළ මුදල් වියදම් කරමින් බටහිර ප්‍රතිකාර ක්‍රම තුළ සිරවී සිටින්නට අද අපට සිදුවී තිබුණත් ඉතා අවම වියදමකින් සිය රෝග කාරකය අප තුළින් ඉවත් කිරීමට අපට කොතෙකුත් ක්‍රම නැතුවා නොවේ. සෙම්ප්‍රතික්ෂ්‍යාවට, කැස්සකට, උණ හිසරදයකට වුව කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල්බටු, වෙනිවැල්ගැට, ඉඟුරු ආදී පස්පංගුව තම්බා බීමෙන් එම රෝගය දුරුවනවා පමණක් නොව ඉන් ඉක්බිතිව වියහැකි අතුරු ආපදා නැත. ඇඟට පතට ඉන් ලබාදෙන අමුතුම ප්‍රබෝධය මතුවට වෙනත් උවදුරකට පත් නොවන්නට තරම් ප්‍රබල වෙයි. එසේ නම් අප මේ ලබා තිබෙන සමාජ රටාව තුළ සියලු දෙනා ඒ අංශ කෙරේ ද යොමුව මේ අලංකාර වෙමින් පවතින පරිසරයේ නැතොත් ගස් කොළං සිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන කටයුතු කරන මේ වර්තමානයේ විවිධ පැළ වර්ග වෙනුවට ඖෂධීය ගුණ දෙන ශාක වර්ග රෝපනය කිරීමට වගබලා ගනිමු. එවිට අප ශ්‍රී ලක් දෙරණ ඖෂධ උයනයක් නැත්නම් ලෙඩ රෝග සුව කරන මහානුභාව සම්පන්න බෙහෙත් පැළෑටි ඇති පැළ තවානක් වනු ඇත. එසේ ලබා ගන්නා ඵල ප්‍රයෝජනවලට අමතරව පිටරටට අපනයනය කිරීමට වුවද මේ ඖෂධ අපට ශක්තියක් ආර්ථික මාර්ගයක් වනු ඇත. වෙන කිසිදු රටක නැති ඖෂධ වර්ග අප රටට ආවේනිකව ඇති නිසා ඒවා වඩ වඩා වගා කිරීමට ඒවායේ වටිනාකම දන්නා එමෙන්ම එම අප නොහඳුනණ එහෙත් ඒවා හඳුනන ආයුර්වේද වෛද්‍යවරුන් උපයෝගිකරගෙන ඒවාට වඩ වඩාත් ප්‍රමුඛතාව ලබා දීමට දේශීය ආයුර්වේද වෛද්‍ය සභාවට වුවද විශාල වගකීමක් පැවරේ. කිසිවකුගේ නිවැරදි හැසිරවීම ඇත්නම් ඕනෑම අංශයක ප්‍රවීණයින් අප අතර නැතුවා නොවේ. අවශ්‍ය වන්නේ මග කියා දීමයි. එහෙම නම් තම ගෙවත්තේ මිදුලේ මල් වගා බිමේ වඩ වඩා ඖෂධ පැළෑටි රෝපනය කිරීමට අප වග බලා ගත යුතු වෙමු.