ආකල්පමය වෙනසකට අත්වැල් බැඳ ගනිමු

දෙසැම්බර් 20, 2019

අප සමාජයට අවශ්‍ය වන්නේ නීතිය දැඩිවීමට වඩා ආදර්ශමත් පරිපාලනයක් තුළ ආකල්පමය වෙනසක් සිදුවීම බව බොහෝ දෙනා දන්නා කාරණාවකි. අද එය ඇස් පනා පිටම ඔප්පු වී තිබේ. ඒ ආකල්පමය වෙනසට සැබවින්ම හරි දැක්මකින් යුතු නිවැරදි සෘජු පාලනයක් හේතු වී ඇති බවද අපට පෙනෙන්නට තිබේ. වසර ගණනාවක් කුණු කන්දක් වී තිබූ ශ්‍රී ලංකා මාතෘ භූමිය අද ඒ අපවිත්‍ර තාවයෙන් මිදී සුපිරිසුදු පුණ්‍ය භූමියක් වී තිබෙන බවද රහසක් නොවේ.මා මී පෙර අවස්ථා කීපයකම පුවත්පත් කීපයකටද සම්පාදනය කළ ලිපි අතර ඒ අපිරිසුදු කුණු කන්දල් පිළිබඳව විටින් විට සඳහන් කළද එහි ප්‍රතිඵලයක් නොවුණි. එහෙත් අද නිරායාසයෙන්ම ඒ සිහිනය සැබෑ වී තිබීම සතුටට කරුණකි.

අප සංස්කෘතික ආගමික හා සාමාජීය වශයෙන් ඉතා ඉහළ මට්ටමේ යහපත් ආකල්ප තිබෙන පිරිසක් වුවද මුදල මත පදනම් වූ සමාජීය දේශපාලනික රටාවකට හුරු වී සිටි පිරිසක් ලෙස අගතියෙන් මිදෙන්නට සුදුසු පාලන රටාවක් තිබුණේද යන්න සැක සහිත විය. ඒ අනුව අප විහාරස්ථානයකට ගියත් කිනම් හෝ පොදු ස්ථානයකට ගියත් සිය පෞද්ගලිකත්වය මිස අනෙක් කෙනා ගැන අපේ යයි කියන දේ පිළිබඳව නොසිතන පිරිසක් වූහ. බොහෝ විට සුවිශේෂී ආගමික ස්ථානයකට ගොඩවන අය පවා එම පුණ්‍ය භූමිය අපවිත්‍රකොට යන සේයාවක් දකින්නට තිබුණි. බොහෝ විට අනුරාධපුර පුද බිමට ගියත් වෙනත් එබඳුම පුණ්‍ය ස්ථානයකට ගියත් අවසානයේ ලොරි ගණන් කුණු ඇදීමට නගර සභාවට සිදුවන අවස්ථා මීට පෙර බොහෝ තැන්වල දැක ඇතත් මෙවර පසුගිය පුන්පොහෝදින මා ඇසදුටු ශාක්ෂි අනුව දවස ආරම්භයේ පටන් අවසානය දක්වාම සුපිරිසුදුතාවය ආරක්ෂාවනු දකින්නට තිබුණි. කුමක්ද මේ අරුමය.

සැබවින්ම යහපත් පාලන රටාවක් සමග මිනිසුන් තුළ පැළපදියම් වූ ආකල්පමය වෙනස නොවේද? මීට පෙර අනුරාධපුර පුණ්‍ය භූමියේ පොහොයක් අවසානයේ ගඳ ගසන කුණු කන්දල් එකතු කරගෙන යාමට කුණු ලොරි හත අටක් එන බව දැක ඇතත් මෙවර මා එම පුණ්‍ය භූමියේදී දුටුවේ සුදුවතින් සැරසුණ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් අතර කිසිඳු කෙනෙකු අපවිත්‍ර යමක් ඉවත නොදමන බවයි. ඒ නිසා දවස පුරාම එතුළින් පවිත්‍රව තිබූ ඒ සොඳුරු දසුන අපිට තව බොහෝ සුබවාදී අනාගතයකට ආරම්භයක් වනු ඇත. කෙනෙකු පන්සලකට, පල්ලියකට, දේවස්ථානයකට යන්නේ සිය ආගමික කටයුත්ත සිදුකිරීමට වුවද යන්නන් වාලේ ගොස් එම පවිත්‍රබිම අසෝබන කළ පිරිස යන්නේ කොයිබට ද යන්න අපට නොහැඟු ණත් මතු පරපුර යහපතින් යහපතට පියවර තබන තැන ඒ අයගේ අනාගතය කිනම් ඉසව්වකදැයි අපට හොඳින් වැටහෙනු ඇත.

වැඩිහිටියන් හැටියට අපට යුතුකමක්ව ඇත්තේ අප බාල පරපුර මේ මාවතට පිවිසවීමටය. අතීතයේ තිබූ කුණු කන්දල් ඒ අයට නොපෙනෙනසේ සඟවාගෙන අනාගතයේ ඉදිවෙමින් පවතින සොඳුරු බර පරිසරය ඒ අයගේ ජීවිතය බඳු යයි ඒ අයට වටහා දීමට අපට යුතුකමක් වෙයි. ලෝකෙන් උතුම් රට ලංකාවයි යන කියමන සනාථ කෙරෙන මේ සුපින්බර මාතෘ භූමියට ඇලුම් කරන විදේශිකයෝ කොපමණක් නම් අප රටට පැමිණෙනවාද එවන් උදාරතර රටක් පිළිබඳව අප තුළ තිබිය යුත්තේ කෙතෙක් නම් ජාතිකාලයක්ද ඒ ජාතිකත්වය ආගමිකත්වය සිත දරා ඉදිරියට යන පිරිසක් ලෙස ගම රට පමණක් නොව ලෝකය ජය ගන්නට අපට හැකිවනු නොඅනුමානයි. ඔබට සුබ අනාගතයක්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.