දිගු ආයුෂ වෙනුවෙන් සකස් වූ ජපන් ආහාර කලාව

ජූලි 2, 2021

ආහාර වැදගත් වන්නේ ජීවිතයේ පැවැත්මට වුණත් බොහෝ දෙනා ආහාර නිසාම ජීවිතයේ වටිනාකම අතර මඟදීම නැතිකර ගන්නවා. නමුත් ජපන් ජාතිකයන් මේ සිද්ධියේ දී බොහෝම කල්පනාවෙන් කටයුතු කරනවා. ඔවුන්ගේ ආහාර රටාව වෙන්වෙලා තිබෙන්නේ “ඇස් වලින් බලා රස විඳීන්නට මිස අපි වගේ දිව පිනවන සංස්කෘතිය”ට නොවෙයි.

 

ඔවුන් ආහාර වල අලංකාරය ගොඩ නඟන්නේ විවිධ හැඩ වලට කැපීම, හුමාලයෙන් තම්බා ගැනීම සහ තෙලෙන් බැද ගැනීම වැනි ඉවුම් පිහුම් ක්‍රමෝපායන්ගෙනි. ඒ වගේම ඔවුන් ආහාර පිළිගන්වන්න යොදා ගන්නේ අලංකාර භාජනයක්. ආහාරයේ වර්ණයට අනුව ආහාර පිරිනමන භාජනය ගළපා ගන්නත් ජපන් ජාතිකයන් ඉතාම දක්ෂයි.

 

ජපන් ජාතිකයන්ගේ සාමාන්‍ය ආහාර වේල

ජපන් ජාතිකයන් අතර “බත්” වැදගත් ආහාරයක්. සහල් පිළියෙල කර ගැනීමේ තාක්ෂණය හඳුනාගත් තැන පටන් ජපන් ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරයට විදිහට “බත්” සළකනු ලැබුවා. ඔවුන් බත් හඳුන්වන්නේ “ගොහාන්” කියන වචයෙනුයි. බත් මොන තරම් ජපානයේ ආහාර සංස්කෘතියේ වැදගත්ද කිවහොත් හැම ආහාර වේලක්ම “ගොහාන්” යන නමින් හඳුන්වනවා. බත් වගේම ජපන් ජාතිකයන් යුරෝපය, උතුරු ඇමරිකාව, ආසියාව වැනි රටවල ආහාරත් අනුගමනය කරනවා. නමුත් මොන දේ අනුගමනය කළත් එහි ගුණාත්මක බවට ජපනුන් මුල්තැන ලබා දෙනවා. ඔවුන්ගේ හැම ආහාර වේලකම මාළු, මස් වගේම එළවළු “මිසෝ” නමින් හඳුන්වන සුප් හා අච්චාරු විදිහට සකස් කරන ලද එළවළු ඇතුළත් වෙනවා. නූඩ්ල්ස්, පැස්ටා වැනි ආහාර වගේම නාගරික දරුවන් කෙටි කෑම සහ හැම්බර්ග් ආපන ශාලාවටත් පුරුදුව සිටිනවා.

ගෞරවණීය ආහාර සිරිත්

බත් පිළියෙල කරන ක්‍රමයට අනුව ඇතිවන ඇලෙනසුළු ගතිය නිසා ජපනුන් බත් කෑමේ දී චොප්ස්ටික් භාවිත කරනවා. මේවා ජපානයේ දී හඳුන්වන්නේ “හෂී” යන නමින්. මේ කලාව ජපානයට පැමිණියේ චීනයෙන්. ලී කෝටු දෙකක් වැනි උපකරණයක් ආහාර අනුභවයට යොදා ගන්නවා. ජපන් ජාතිකයන් බොහෝම විනය ගරුකයි. ආහාර අනුභව කිරීමේදීත් ඔවුන්ගේ විනය බොහෝම ඉහළයි. ආහාර අනුභවයට පෙරාතුව “ඉතදකිමසු” කියමින් මේ කෑම පිළිගන්නනවා ආහාර ගෙන අවසාන වූ විට “ගොවිතෝ සමාදෙශිතා” කියමින් ආහාර ලබා දීම වෙනුවෙන් ස්තූති කරනවා. චොප්ස්ටික් භාවිත කළත් ඒවා අනවශ්‍ය ලෙස අනිත් අය දෙසට එල්ල කිරීමක් හෝ ආහාර බඳුන මත සිරස්ව තැබීමක් සිදු නොකිරීමත් ඔවුන්ගේ සිරිතයි.

 

ජපනුන්ගේ තවත් ජනපි‍්‍රය ආහාර වර්ග කීපයක්

සෂිමි පිළියෙල කරන්නේ අමු මාළු වලින්. මාළු අධික උෂ්ණත්වය යටතේ සිසිල් කරගෙන “ශෝයු සහ “වසබි” යන ද්‍රාවණයන්හි දමා ආහාරයට ගන්නවා.

ජපන් ජාතිකයන්ගේ තවත් ආහාර,

සොබා - නූඩ්ල්ස් විශේෂයක්

කිසිමෙන් - නූඩ්ල්ස් විශේෂයක්

චිනබෙ - මද ගින්නේ තම්බන ලද මාළු

යුදොෆ් - මුදවන ලද සෝයා කිරි

යකිතොරි - අඟුරු වල තම්බන ලද මාළු

උදොන් - මද ගින්නේ තම්බන ලද එළවළු, මස් සහ මාළු එකතුවක්.

වියන් මිෂි - වාෂ්පයෙන් තම්බන ලද බිත්තර කස්ටඩ්

ඔනිගිරි - බත් වෙනුවෙන් වූ පිරවුමක්

ෂින්කෝ - විනාකිරි යෙදූ එළවළු

සුයිමොනෝ - මාළු හෝ මස් පමණක් යොදන ලද ආහාර වර්ගයක්.

නව වසරට විශේෂ වූ ආහාර.

ජපනුන් නව වසර වෙනුවෙන් පිළියෙල කරන ප්‍රධාන ආහාරය “සෝනි” යනුවෙන් හඳුන්වයි. මෙය පිළියෙල කරන ක්‍රමයේ ප්‍රාදේශීය වෙනස්කම් තිබෙනවා. “ඔසෙචිරියෝරි” යනු විවිධ එළවළු තම්බාගෙන අසුරා ගැනීමයි. මේ ආහාර අසුරා ගන්නේ “ජුබොකු” යනුවෙන් හඳුන්වන පෙට්ටියකයි. ජනවාරි පළමු වැනි දින සිට තුන්වැනි දින දක්වා පැවැත්වෙන අවුරුදු උත්සවයේදී “ඔසෙචිරියෝරි” සඳහා වැදගත්කමක් ලැබෙනවා. මේ අසුරන ලද ආහාර වෙනුවෙන් ලබාදෙන විවිධ අර්ථ තිබෙනවා. නව වසරේ වාසනාව, සතුට සහ ආර්ථික හැකියාව ප්‍රාර්ථනා කරමින් ජපන් ජාතිකයන් අලුත් අවුරුද්දේදී මේ ආහාර රස විඳීනවා.

සුෂි

7 වන සියවසේ දී පමණ චීනයෙන් ජපානයට හඳුන්වා දෙන ලද “සුෂි” සකස්කර ගන්නේ මාළු අමුවෙන් බත් හා ලුණු සමඟ පැසවාගෙනයි. මාළු යොදා ගන්නේ නැතුවත් “සුෂි” පිළියෙල කරගත හැකියි. විනාකිරි සහ මුහුදු පැළෑටි මේ සඳහා යොදා ගන්නා අතර, විනාකිරි නිසා මේ ආහාරයේ රසවත් ඇඹුල් ගතියක් ඇති වෙනවා.

 

බෙන්තෝ ආහාර සම්ප්‍රදාය

ජපන් ජාතිකයන් සමූහයක් ලෙසින් එක්ව ආහාර ගැනීම හැඳීන්වෙන්නේ “බෙන්තෝ” සම්ප්‍රදාය විදිහටයි. බෙන්‌තෝ පෙට්ටියක ඇතුළත් වෙන්නේ නිවසේ පිළියෙල කරන ලද ආහාරයි. බත් වගේම වෙනත් විශේෂ ආහාරත් එහි ඇතුළත් වෙනවා. ළදරු පාසල් යන දරුවාට අම්මා පිළියෙල කරදෙනු ලබන බෙන්තෝ ආහාර පෙට්ටිය ඉතාම විසිතුරුයි. දරුවාට එම ආහාරය දැක්ක ගමන් කන්න හිතෙන විදිහට උත්තේජනය ලබා දෙන්න අම්මාගේ හැකියාව මෙතැනදී ඉස්මතු වෙනවා. එක් එක් සෘතුව අනුව ආහාරපාන වෙනස් කරමින් ජපන් අම්මාවරු බොහෝම උනන්දුවෙන් දරුවන් වෙනුවෙන් බෙන්තෝ ආහාර පෙට්ටිය සූදානම් කරනවා. ජපානය යුරෝපා සංස්කෘතියට ඇතුළත් වුණු “මෙයිජි” යුගයේ සිට ඔවුන්ගේ ආහාර රටාව අතරට ගවමස් එකතු වුණා. “සුකියකි” කියන්නේ ගවමස් යොදාගෙන පිළියෙල කරගත් ආහාරයක්. මෙහි ප්‍රධාන අමුද්‍රව්‍යය ලෙස ගැනෙන්නේ සිහින්ව කපාගත් හරක් මස්, ඉතා මෘදු හරක් මස් මේ වෙනුවෙන් යොදා ගන්නා අතර ඒවා “ෂිමොෆ්” යන නමින් හඳුන්වනවා. ජපන් ජාතිකයන් මත්පැන් භාවිත කළත් ඒවායේ සිරුරට අහිතකර මද්‍යසාර මාත්‍රාව බොහෝමයක් අඩුයි. සහල් සෝදා ගත් නිවුඩ්ඩ සහිත ජලය “සකේ” මත්පැන් පිළියෙල කිරීමට යොදා ගන්නවා. මේවා ජපන් ජාතිකයන් හඳුන්වන්නේ “සහල් වයින්” විදිහටයි. මුල් කාලයේ දී මේ වෙනුවෙන් හාල්, වතුර සහ කෝපි යොදා ගත්තා. මෙම පාන වර්ග එතරම් සැර නැහැ. “හෙයිකන්” යුගයේ ආගමික උත්සව සහ විනෝද කී‍්‍රඩාවන්ට මෙම පාන වර්ග යොදාගෙන තිබෙනවා. සහල් පැසවා නිපදවනු ලබන මෙහි මද්‍යසාර අඩංගු වෙන්‌නේ 18% සිට 20% අතරයි. වයින් සහ බීර වලට වඩා වෙනස් මේවා පිළිගන්වන්නේ “ටොක්කුරි” නම් කුඩා මැටි බඳුනකයි.

 

තමන්‌ගේ කරගත් පෘතුගීසි - තෙම්පුරා

“තෙම්පුරා” කියන්නේ පෘතුගීසි ආභාසයෙන් ජපන් ජාතිකයන් හඳුනාගත් ආහාරයක්. එය තිරිඟු පිටි, මාළු බිත්තර, එළවළු, මාළු සහ වතුර මිශ්‍රණයෙන් සාදා තෙලෙන් බැඳගෙන පිළියෙල කරගත් ආහාරයක්. තෙම්පුරා රස විඳීන්නේ මත්පැන්, සෝස්, සීනි සහ සුප් වැනි අතිරේකයන් සමඟයි. පෘතුගීසින්ගෙන් හඳුනා ගත්තද ජපාන ජාතිකයන් එහි මුහුණුවර තමන්ට අවශ්‍ය විදිහට පිළියෙල කර ගත්තා. ඔවුන් තෙම්පුරා‌ වෙනුවෙන් සුළු මාළු යොදාගත් අතර “ට්සුයු” සෝස් සහ ලුණු කුඩු සමඟ ආහාරයට ගත්තා. ජපන් ආහාර අතර ප්‍රමුඛත්වය ලැබෙන්නේ මාළු වලටයි. “ සෂිමි” යනුවෙන් හඳුන්වන ආහාරය වෙනුවෙන් අමු මුහුදු මාළු යොදා ගන්නා අතර “වසබි” යන සෝස් අතිරේක සමඟ සෂිමි ආහාරයට ගන්නවා. සුෂි වලදී මෙන් සෂිමි පිළියෙල කරන්න බත් යොදා ගන්නේ නැහැ. සෂිමි වෙනුවෙන් යොදා ගන්නේ මින්ට් රසය ඇති “දයිකොන්” සහ “ෂිසො” ශාක පත්‍රයෙයි. සෝස් සමඟ මෙම පත්‍රද ආහාරයට ගන්නවා. තොරො, ඉක, තකු සහ මගුරො යනුවෙන් ජපානයේ ප්‍රසිද්ධ සෂිමි වර්ග කීපයක්ම තිබෙනවා. ජපන් ජාතිකයින්ගේ ආයුෂ ඉහළින්ම තිබෙන රහස ගැන දැන් අපිටත් සැක දුරු කරගත හැකියි. ඔවුන්‌ගේ ආහාර පරිභෝජනය සිරුරට අහිතකරව නොව ජීවිතයේ නිරෝගි පැවැත්ම මුල් කරගෙන ගොඩ නැඟීම ඔවුන්‌ගේ ආයුෂ දිගු වීමේ රහසයි.

 

රඹුක්කන,

කීර්ති එස්. කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.