වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සුබසෙත 50 වැනි ස්වර්ණ ජයන්ති උපහාර උළෙලේ විසිතුරු
සුබසෙත පුවත්පතට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් පැවැති ස්වර්ණ ජයන්ති උපහාර උළෙල 2019.10.21 දින සවස 2.00 සිට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඉතා උත්කර්ශවත් අන්දමින් සිදු කෙරිනි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා ස්ථවිර අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ හා ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්යාධිකාරවරුන් හා ප්‍රධාන කර්තෘවරුන් හා ප්‍රධාන කළමනාකාර මහත්ම මහත්මීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උළෙල බොහෝ දෙනෙකුගේ ප්‍රසංසාවට හා විශේෂ ඇගයීමට ලක්විණි.
විශේෂයෙන් දිවයිනේ විසිරී පැතිරී සිටින ඡ්‍යොතිෂ, හස්තරේඛා, ගුප්ත විද්‍යා, හා ආයුර්වේද වෛද්‍ය අංශ කිහිපයේම 165 ක් පමණ විද්වත් පිරිසක් ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදුවිය.
දේශීයත්වයට හා ඡ්‍යොතිෂ ආයුර්වේද ගුප්ත විද්‍යා යන අංශවලට මෙන්ම ශාන්තිකර්ම අංශයටම ගැළපෙන අන්දමට ගොක් සැරසිලි, කෙසෙල් පතුරු විසිතුරුවලින් අලංකෘත වී තිබූ වේදිකාව බොහෝ දෙනාගේ අමන්දානන්දයට හේතුවිය. පුහු ආටෝප විච්චූරණ වලින් තොරව ඉතා චාම් අන්දමට දේශීය නැටුම් සම්ප්‍රදායට ආලෝකය සපයමින් තෙල්මේ නර්ථනය, සළු පාලිය හා වෙස් නැටුම් සම්ප්‍රදායට ද මුල් තැන දී තිබීම උත්සවයේ අලංකාරය තව තවත් මතුකරලීමට සමත් විය. සාම්ප්‍රදායික පොල්තෙල් පහන වෙනුවට වේදිකාව මත තනා තිබූ ශාන්ති කර්ම
ක්ෂේත්රයට ආවේනික මල් යහනාවේ පහන් දල්වමින් ආරම්භ වූ උත්සවය ආරම්භයේ පටන් කිසිදු අනවශ්‍ය කාලය කා දැමීමකින් තොරව එක දිගට ගලාගිය සම්මාන ප්රදානය විවිධ විශේෂාංග ඉදිරිපත් කරමින් ප්‍රාසාංගික ස්වරූපයෙන් ඉදිරිපත් කොට තිබීම කාගේත් පැසසුමට ලක්විය. මෙහිදී විවිධ කතාවලට සීමා නොවී ප්‍රධාන ආරාධිත දේශනය සිදුකළ සම්මානිත මහාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති බෞද්ධ මනෝචිකිත්සා අධ්‍යයන පීඨය බොල්ලෑගල නාගානන්ද ජාත්‍යන්තර අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මැතිදුන් සිදුකළ දේශනය පැමිණ සිටි ඡ්‍යොතිෂ ආයුර්වේද හස්තරේඛා ගුප්ත විද්‍යා අංශවල ප්‍රවීන විද්වතුන්ගේ පවා පැසසුමට ලක්විය. එය කාලෝචිත වැදගත් දේශනාවක් බව අපට ලැබුණු ප්‍රතිචාර අතර අසන්නට ලැබුණු විශේෂ පණිවුඩයකි. මේ අයුරින් දිවයිනේ විසිරී පැතිරී සිටින ඉතා දුෂ්කර පළාත්වලින් පවා පැමිණ සිටි පිරිස බොහෝ සතුටට පත් වූ උළෙලක් වීම මෙහි ඇති විශේෂත්වයයි. ලේක්හවුස් සුබසෙත හිටපු කර්තෘවරුන්, වරියන් හා සුබසෙත සායන සඳහා සහභාගි වන විද්වතුන් ඇතුළු විශේෂ සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් 165 දෙනෙකු මෙහිදී විවිධ නම්බු නාම වලින් පිදුම් ලැබූහ. උත්සවය සාර්ථක කර ගැනීමට නන් අයුරින් අපට උපකාර කළ සැමට පැසසුම්.