මවුකිරි වඩන මුං ඇට ‘මස් කරිය’

මාර්තු 15, 2024

මුං ඇටවල ඖෂධීය ගුණ මෙන්ම එහි ආයුර්වේදීය විද්‍යාත්මක පසුබිම පිළිබඳව ඔබට පසු පිටුවෙන් දැනුම්වත් විය හැකිය. හැමදාමත් තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස ආහාරයට එක් කර ගත් මුං ඇටවලින් සකසාගත හැකි වෙනස්ම විදියේ රසවත් ආහාරයක් ඔබ වෙත මෙලෙස ගෙන එන්නෙමු. ඒ මුං ඇට මස් කරියක් ලෙසට රසවත්ව පිසගන්නා ආකාරයයි.

ඖෂධීය වටිනාකම

මෙය සැකසීම සඳහා යොදා ගන්නේ එක රැයක් පෙඟෙන්නට දමා ගත් මුං ඇටයි. මුං ඇට පැළ වූ විට හෝ පැළවලින් සෑදූ විට පිෂ්ඨය අඩු වේ. එය සෞඛ්‍යයට ගුණදායකය. මුං ඇට ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ බොහෝ රෝග සුව කිරීමට ඉවහල්වේ. මුං ඇට යනු ප්‍රෝටීන්, විටමින්, කාබෝහයිඩ්‍රේට්, සින්ක්, සෙලේනියම්, මැග්නීසියම්, යකඩ, තන්තු, ඇමයිනෝ අම්ල, ෆ්ලෙවනයිඩ්, කැෆේන් අම්ලය, ෆිනෝලික් අම්ලය, බියුටයිඩ් ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගු ඖෂධ ගබඩාවකි.

රෝග සමනය කිරීම

උන්මාදය, විශාදය ආදී මානසික රෝග තත්ත්වයන් සුව කිරීම සඳහා භාවිත කළ හැකි ගුණදායක ආහාරයක් ලෙස මුංඇට හැඳීන්විය හැකිය. කෘශ ශරීර ඇති පුද්ගලයින්ට මෙන්ම නිර්මාංශ ආහාර ලබාගන්නා පුද්ගලයන්ට ශරීර ශක්තිය වර්ධනය කරගැනීමට මෙන්ම ශරීරය පුෂ්ටිමත් කර ගැනීමට උපකාරීවේ.

මව්කිරි අවම වීමෙන් පීඩාවට පත්වන මවුවරුනට දිව්‍යමය ඖෂධයකි. මුත්‍රා ගල් මෙන්ම වකුගඩු ආශ්‍රිතව ඇතිවන රෝග සඳහා සුවය ලබාගත හැකිය. පියයුරු පිළිකා, සම ආශ්‍රිත පිළිකා ඇති රෝගීන්ට මුං ඇට කැඳ හෝ කිරිබත් ආහාරයට ලබාදීම ගුණදායකවේ. මළබද්දය ඇතිවීම වලක්වනු ලබයි. එමෙන්ම බඩවැල්වල නිරෝගීභාවයටද මුං ඇට ආහාරයට ගැනීම ගුණදායකය. පැළ මුංවල ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සහ දියවැඩියා පාලන ගුණය ඉහළම පවතින නිසා දියවැඩියාවට ද මුං ඇට ආහාරයට ගැනීම ගුණදායකය. කොලෙස්ටරෝල් පාලනයට, ශරීරයේ විෂ ඉවත් කිරීමට, අම්ල පිත්ත රෝගය සමනයට, රුධිර ගමනාගමනය ක්‍රමවත් කිරීමට, හෘද රෝග ඇතිවීම පාලනයට, ශරීර සිසිල් කිරීමට, සරම්ප, පැපොල, අතීසාරයට ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කිරීමට, ඔසප් වේදනාව සමනය කිරීමට, රූපලාවණ්‍ය කටයුතුවලට ඖෂධයක් ලෙස මුං ඇට වටිනා ආහාරයකි.

මුං මස් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය-

මුං ඇට කෝප්පයක්

කහ කුඩු ස්වල්පයක්

බැදපු කරි කුඩු මේස හැදි 2ක්

කරපිංචා ඉති 4ක්

අබ ඇට තේ හැදි 1/4 ක්

කුඩා ඉඟුරු කැබැල්ලක් හෝ

අරත්ත අල කැබැල්ලක්

අමු මිරිස් කරල් 2ක්

තලාගත් සුදුළූණු බික් 3ක්

කරාබුනැටි 2ක්

රතු ළූණු ගෙඩි 5ක්

රම්පා කෑල්ලක්

පොල් කිරි කෝප්ප 1ක්

පොල් තෙල් හැදි 2ක්

ලුණු අවශ්‍ය පමණ

ගොරකා හෝ සියඹලා රස අනුව

සාදන ආකාරය:

හොඳීන් සෝදාගත් මුං ඇට පැය 6ක් පමණ පොඟවා ගත යුතුය. (සාමාන්‍යයෙන් එක රැයක්) එවිට එය මොටෙයියන් ඇද තිබෙන අයුරු ඔබට දැක ගත හැකිය. මෙය බ්ලෙන්ඩරයක දමා කැබලි සිටින සේ හොඳීන් අඹරා ගන්න. පසෙකින් තබන්න. සුදුළූණු, ඉඟුරු හෝ අරත්ත යොදා, කරපිංචා, කරාබුනැටි 2 ක ද හොඳීන් අඹරන්න. දැන් මෙයට මුං ඇට මිශ්‍රණය එකතු කරගන්න. අවශ්‍ය පමණ ලුණු යොදන්න. ඉන්පසු මෙම මිග්‍රණය කුඩා ගුළි ලෙස හෝ කැබලි කැපිය හැකිවන සේ කෙසෙල් කොළයක් හෝ කැන්දකොළයක් හෝ බේකින් කඩදාසියක් මත අතුරා විනාඩි 20ක් 30ක් පමණ කාලයක් හුමාලයෙන් තම්බා ගන්න.

ඉන්පසු තැම්බුණු මිශ්‍රණය කෑලි කපා ගන්න.

මීළඟට මැටි භාජනයකට පොල්තෙල් ටිකක් දමා එයට අබ, කපාගත් කරපිංචා, රම්ප, රතුළූණු දමා සුවඳ එනතුරු තෙම්පරාදුව සකසා ගන්න. සුවඳ එන විට, තලාගත් සුදුළූණු, ඉඟුරු හෝ අරත්ත, කරපිංචා, බැදපු තුනපහකුඩු, මිරස්කුඩු, මිරිස් , ලූණු සහ කහ එකතු කරන්න.

දැන් පොල් කිරි, සියඹලා හෝ ගොරකා ලුණු රස අනුව එකතු කර මද ගින්දරේ පිසගන්න. සහ එය උතුරන විට මුං කැබලි එකතු කරන්න. ලිප නිවා දමන්න. ඉන්පසු පැය කිහිපයක් තබා ආහාරයට එකතු කර ගන්න. මීට අමතරව පැළ මුංවලින් කැඳ, හොදි ව්‍යාංජන, මැල්ලුම්, මුං ඇට වඩේ, පැළ මුං සළාදය, අග්ගලා වැනි දේශිය කෑම වර්ග සකසා ගත හැකිය. සෙම සහිත අය මුං ඇට තම්බා ආහාරයට ගැනීමේදී ලුණු මිරිස් ආහාරයට ගැනීමත් ව්‍යංජන සඳහා තුනපහ ස්වල්පයක් එකතු කිරීමත් මුං ඇට පිසීමට පෙර කබලේ බැද වතුරේ දමා පොඟවා පිසීමට ගැනීමෙන් සෙම සමනය වේ.

උපදෙස්-

යුරෝපයේ පුහුණුව ලද

ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.