ලස්සන වන්න සුබ නැකතකින් ඖෂධ ආලේප කරන්න

මාර්තු 8, 2024

දේශීය ශාක සාර උපයෝගී කරගෙන රුව වඩවන විවිධ ක්‍රම රාශියක්ම අප අතර තිබේ. පැරණි කාන්තාවන් එවැනි ඖෂධවලින් තමාගේ රුව තව තවත් ඔප් නංවාගන්නා ලදී. එවැනි දේශීය ශාක සාර සිරුරට කිසිසේත්ම අහිතකර නොවේ. ඖෂධීය ගසක මුළු පංචාංගයම (මුල්, පොතු, ගෙඩි, කොළ, මල්) උපයෝගී කරගෙන රුව වඩන ආලේපන වර්ග සාදා ගන්නා ලදී.

සැවැන්දනා, ඉරිවේරිය, කලාඳුරුඅල, නාමල් රේණු, නෙළුම් රේණු, දිවිපහුරු, අගිල්, සක්නැබ, තුවරලා, ඉඟුරුපියලිය, සමවගෙන අඹරා එළකිරි, මී පැණි සහ දෙහි ඇඹුල් මිශ්‍රකර මේ ඖෂධීය කල්කය උදය කාලයේ සිරුරේ ආලේප කර පැය තුනක් ගත වූ පසු ඇල් දියෙන් ස්නානය කළ යුතු වේ. දින 5 ක් එක දිගට කළවිට සිරුර මනාව පැහැපත් වේ. ඡවි කල්‍යාණය ඔපවත් වේ.

ගුගුල්, ඉරිවේරිය, වම්මුතු, වක්නිය ජටාමාංශ, කර්කටක, ශ්‍රීංග,ි ඊතණ, සුදු හඳුන්, රත්හඳුන්, රත්මල් කැකුළු එකට අඹරා එළකිරි මිශ්‍රකර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ දිනෙන් දින ලස්සන වේ. ලප කැළැල් ආදිය නැතිවේ. සබන් නොගෑයුතුයි.

කොකුම්පොතු, සුදු හඳුන්, රත් හඳුන්, කුරුඳු පොතු, මුරුංගා දලු, විෂ්ණුක්‍රාන්ති, සමන් පිච්ච, කැකුළු සේපාලිකා මල් එක පමණ ගෙන එළකිරිවලින් අඹරා දෙහි ඇඹුල් බින්දු 3ක් දමා මුහුණේ ආලේප කරන්න. මුහුණ ලස්සන වේ. ඇස් වටේ කළු පැහැය නැතිවේ. බිබිළි නැති වේ. අලුහම් නැතිවේ. මුහුණ ලස්සන වේ.

කොට්ටං, කුරුඳු පොතු, නාමල් රේණු, අමුක්කරා, කිරිබදු අල, වදකහ, ලුනුවිල, ඉරිවේරිය, මූනමල්, කොල්ලන්කොළ එකට අඹරා එළකිරි මිශ්‍රකර පියයුරුවල ආලේප කිරීමෙන් නොවැඩෙනකම වැඩේ. කුඩාම වූ පියයුරු වර්ධනය වේ. පපු පෙදෙස ආකර්ෂණය වේ.

කුරුඳු පොතු, සැවැන්දනා, සුදුහඳුන්, අඹරා කස්තුරි ගෝරෝචන මිශ්‍රකර ඇස්වටේ ආලේප කරන්න. ලස්සනම නෙත්් දෙකක් ඇතිවේ. සම පැහැපත් වේ.

කප්පරවල්ලිය, බූහැටි, හල් දුම්මල වක්නිය, ගුගුල්, තුවරලා, කුරුඳු පොතු මේ ඖෂධීය සුවඳ දුම් සිරුරට ඇල්ලීමෙන් සිරුර ලස්සන වේ.

සියඹලා ඇටයක් ගලගා කුරුලෑව වටේ ගාන්න. පීය ගැලවී කුරුලෑව සුවවේ. මුහුණ ඔපවැටේ. කෘත්‍රිම ආලේපන වර්ග පාවිච්චි නොකරන්න. දේශීය ශාක සාර ඖෂධ පාවිච්චි කිරීමෙන් ඔබේ සිරුර පැහැපත් වේ. දිනෙන් දිනම ලස්සන වේ. සමාජයේ කැපී පෙනෙන රූමතියක්වීමට ඔබට වාසනාව ලැබේ. ඉපැරණි පත්ඉරුවකින් උපුටාගෙන අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බැවින් මේ ඖෂධ වර්ග ඉතාම සුබ නැකතින් ආලේප කිරීමෙන් ඔබේ ජන්ම නැකතට (සම්පත් ක්ෂේම, මෛත්‍රී, පරම මෛත්‍රී) නැකත් තෝරා ගැනීම වඩාත් යහපත්ය. පුර සඳුගේ කාලයත් අතිශයින්ම සුබය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.