ගැහැනු පිරිමි හැමට වටින හිස කෙස්

මාර්තු 8, 2024

 

ලස්සන දිදුලන හා පෝෂණීය හිසකෙස්, පැහැදිලි, පැහැපත් සමක්, ලස්සන නිය හා දත් පෙළක් හිමිවීම පමණක් නොව තාරුණ පෙනුම මෙන්ම මනා පෞරුෂයකින් යුක්තව ලස්සනට නීරෝගීව ජීවත්වීමට නම් අපි රූපලාවණ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

නීරෝගිව හැඩට ජීවත්වීමට පුළුල් පරාසයක් තුළ නිවැරැදි ස්වභාවික ප්‍රතිකාර ක්‍රම, විවිධ ඖෂධ වර්ග හා එම ඖෂධ පිළියෙළ කිරීම්, ආහාර විහරණ පැවතුම් ඉතා ක්‍රමානුකූලව විස්තරාත්මකව දක්වා තිබීමෙන් රූපලාවණ්‍යය ගැටලු ගැන කතා කිරීමේදී ආයුර්වේදීය ප්‍රතිකාර සඳහා හිමි වන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්.

හොඳින් පෝෂණය වූ ශරීරයක්, සුපැහැදිලි මනසක්, සමබර ඉන්ද්‍රියන් හා සන්සුන් ආත්මයක් පැවතීම නීරෝගි පුද්ගලයකු එනම් ස්වස්ථ පුද්ගලයකුගේ ලක්ෂණ විදියට ආයුර්වේදයේ දක්වයි. මෙම වෛද්‍ය ක්‍රම තුළ වූ මූලික සංකල්ප ඉගැන්වීමක් වන වාත, පිත්ත, කඵ ලෙස හඳුන්වන ත්‍රිදෝෂයන් හා සප්ත ධාතු සමතුලිතව සංයෝජනය වීමෙන් පුද්ගලයා නිර්මාණය වන අතර, යම් යම් හේතු කාරණා හේතුවෙන් ශරීරය තුළ මෙම දෝෂ හා ධාතුවල සිදුවන අසමතුලිතතාවන් නිසා විවිධ වූ රෝග හට ගැනීමත් සිදුවේ.

එබැවින් පුද්ගලයාගෙන් පුද්ගලයාට දෝෂ සංයෝජනය වෙනස් බැවින් පවතින ගැටලුවලට ප්‍රතිකාර කිරීමේදී පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුබන්ධ වූ විශේෂ ක්‍රම අප විසින් භාවිත කරනවා. ආයුර්වේද රූපලාවණ්‍ය ප්‍රතිකාරවලදී පංච කල්‍යාණයේම නීරෝගි බව සැලකීමට ගනී. මේ සඳහා සුවිශේෂී ප්‍රතිකාර වන විවිධ ඖෂධීය තෙල් වර්ග ඇඟ ගැල්වීම, ස්වේද ක්‍රම, විවිධ වූ ආලේප වර්ග භාවිතය, පංච කර්ම ප්‍රතිකාර ක්‍රම හා රසායන එනම්(anti aging treatments) ප්‍රතිකාර ක්‍රම සුවිශේෂී වෙනවා.

බොහොමයක් යුවතියන්ට මෙන්ම පිරිමි පාර්ශ්වයටත් පවතින සුලබ රූපලාවණ්‍ය ගැටලු කිහිපයක් ගැන අද අපි කතා කරමු.

 

හිසකෙස් ආශි‍්‍රත ගැටලු

 

හිසකෙස් දුර්වර්ණ වීම, හිසකෙස්වල සිදුරු සහිත බව හා ඝනත්වය අඩු වීම අකලට හිසකෙස් වැටීම හා පැසීම, ඉස්හොරි ඇතිවීම උකුණන් බෝවීම, හිසේ හා හිසකෙස්වල වියළි බව හිසකෙස් කැඩෙනසුලු බව දකින්නට තිබෙන රූපලාවණ්‍ය ගැටලු වේ. මේ එක් එක් ගැටලු සඳහා විවිධ ශිරෝ ලේප එනම් ඖෂධීය ආලේප වර්ග, ශිරෝධාරා එනම් ඖෂධීය තෙල් වර්ග හිසට එක් කිරීම්, නස්‍ය කර්ම, ශිරෝ අභ්‍යංග එනම් හිසේ තෙල් ගැල්වීම, සම්බාහන ක්‍රම, දුම් ප්‍රතිකාර එක් එක් පුද්ගලානුබද්ධ ලෙස දක්වයි. එමෙන්ම ලස්සන පිරිපුන් දිගු කෙස් කලඹක් පවත්වාගෙන යාමටත් ආයුර්වේදයේ වටිනා උපදෙස් රැසක් දී තිබේ.

හිසකෙස් හා හිස්කබල හොඳින් සතියකට දෙතුන් වරක් ඖෂධීය ද්‍රව්‍ය තැම්බූ ජලයෙන් සෝදන්න. හිස සේදීම සඳහා ඉතා උණුසුම් හෝ ශීත ජලය භාවිත නොකරන්න. ඖෂධීය තෙල් වර්ගයක් යොදා හිස් කබල හිසකෙස් හොඳින් සම්බාහනය කිරීමෙන් රුධිර සැපයුම වැඩිකිරීම මඟින් අවශ්‍ය පෝෂක කොටස් හිසට ලබා ගත හැකිය. තෙල් ගැල්වීම තුළින් හිස කෙස් වියළීම, පැළීම, අකලට හිසකෙස් පැසීම හා වැටීමද, ඉස්හොරි ඇතිවීමද වළක්වා ගත හැකිය. හිසකෙස් සෝදා හැරීම සඳහා ෂැම්පු වර්ග දිනපතා භාවිත කිරීමෙන් වැළකීම හා රූපලාවණ්‍ය අලංකරණ සඳහා උණුසුම භාවිත කරන සැකසුම් නිතර භාවිතයෙන් වැළකීම, දූවිලි ආශි‍්‍රත පරිසරවලදී හිස ආවරණය කරගෙන සිටීමෙන් හිස කෙස් වියළීම හා දුර්වර්ණ වීමෙන් ආරක්ෂා කර ගත හැකිය.

භෘංගමාලක, ත්‍රිපලා, නිර්ගුණ්ඩයාදී තෙල්, හිසට ඉතාමත් හොඳ තෛල වර්ග වේ. අකලට හිස කෙස් ගැලවී යාම සඳහා මෙන්ම ඉස් හොරි වර්ධනය වළක්වා ගැනීමට බිත්තර සුදු මදය, නෙල්ලි කුඩු, අශ්වගන්ධ කුඩු, කෝමාරිකා මද, උළුහාල් යොදා ගැනීමෙන් hair pack  එකක් ලෙස සාදා හිසේ ආලේප කරන්න. අලිපේර, ලෙමන්, කෙසෙල්, ඕට්ස්, පොල්තෙල්, බිත්තර සුදු මදය, නෙල්ලි, කෝමාරිකා , වැල්මී, ගොඩපර මේ දේවල් හිස කෙස් වර්ධනයට ඉතාමත් උපකාරි වේ. මේවායින් hair pack mack  සාදා සතියකට වරක් භාවිත කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය.

ඊට අමතරව හොඳ නින්දක් ලබා ගැනීම, පුද්ගල පිරිසුදු බව රැක ගැනීම, පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම, යෝග අභ්‍යාසවල යෙදීම තුළින් ද හිස කෙස් පිරිපුන්ව හා ලස්සනට පවත්වාගත හැකිය.

 

උපදෙස් :–

කොළඹ විශ්වවිද්‍යාලයේ

දේශීය වෛද්‍ය පීඨයේ

ආයුර්වේද වෛද්‍ය

සිත්මිණි අනුසරා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.